හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු ගාල්ලේදී අත්අඩංගුවට

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ගාල්ල, ජාකොටුවැල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ පනහකට (50,00000/-) අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 520 ක් මිලිග්‍රෑම් 20 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගාල්ල පොලිසිය විසින් ඊයේ (08) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (09) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග මත සැකකරු ගාල්ල පොලීසිය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශණ කටයුතු කිරීමට රැදවුම් නියෝග කර තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වටරවුම්පාර, එඩේරමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි පේයාහන්දි නිශාන්ත ද සිල්වා (38) නැමැති අයයි.

සැකකරු හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි SP PSM – 4493 අංකය දරණ කහ පැහැති යතුරු පැදියද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (07) දින ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් කපිල සේනාධිපති ද සිල්වා මහතාට ලැබුණ තොරතුරකට අනුව ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබේ.

SP ABU – 0167 අංකය දරණ ත්‍රීරෝද රථයෙන් මෙසේ හෙරොයින් ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ රතුකුරුෂ නිවාස, ගොඩහේන, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි කුඩා විතානගේ සුසීමා ඉරෝෂණී (40) නැමැති කාන්තාවයි. ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 200 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙන අතර එම කාන්තාවද ඊයේ (08) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ගාල්ල පොලීසිය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීමට රැදවුම් නියෝග ලබා දි තිබේ. ත්‍රීරෝද රථය පැදවූ අයද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ත්‍රීරෝද රථයද පොලීසියේ බාරයට ගෙන තිබේ.

මෙම කාන්තාවගෙන් ලද තොරතුරු මත ඊයේ (08) ගාල්ල, ජාකොටුවැල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ පනහකට (50,00000/-) අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 520 ක් මිලිග්‍රෑම් 20 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අය අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරු හා සැකකාරිය ප්‍රබල මත් දව්‍ය ජාවාරම්කරුවන් බවත් සැකකාරිය මිට පෙර අවස්ථා කිහිපයකදිම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් ගාල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරු හා සැකකාරිය හෙරොයින් ගාල්ල මත්ස්‍ය වෙළෙද පොලේ වෙළෙන්දන් සදහා ප්‍රවාහනය කරමින් තිබූ බවද මෙතෙක් කරන ලද පොලිස් පරික්ෂණ වලදි තහවුරු වූයේ යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක එස් කපිල සේනාධිපති ද සිල්වා, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ධම්මික නානායක්කාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන චතුරංග සහ වික්‍රමනායක, පොලිස් සැරයන් වරුන් වන ලලිත් (59045), අබේතුංග (43504), තුෂාර (3392), මදනායක (14553), සිසිර (14446) පොලිස් කොස්තාපල් සුපුන් (93791) සහ කාන්තා පොලිස් කොස්තාපල් ශ්‍රියානි (1245) යන නිලධාරීන් විසින් සැකකරු හා සැකකාරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *