වැඩකරන ජනතාව මැතිවරණයෙදී ආණ්ඩුවට රතු එළිය දෙන්න සුදානම්

වැඩ කරන ජනතාව තම ඡන්දය හරහා මෙවර සටනක් දිය යුතුයි බවත් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයින් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට වැඩකරණ ජනතාව කටයුතු කළ යුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්‍ෂක කණ්ඩායම් නායක ලාල්කාන්ත මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසූවේ අද (07) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති මධ්‍ය හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා…

“අගෝස්තු 05වැනිදා ඡන්දය තිබ්බට ඊට කලින් ඡන්දය දෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ තමයි රාජ්‍ය සේවකයෝ. ඒ තැපැල් ඡන්දය දෙන රාජ්‍ය අංශයේ සේවකයන්ට පණිවුඩයක් දෙන්න එක්ක තමයි ජාතික ජන බලවේගය හැටියට අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ.

අවසාන වරට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිද්ධ වුණේ 2016 ජනවාරිවල. අපි ඊට කලින් සිට රු. 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලලා අරගලයක් කළා. එතැනදී අපේ සටන් පාඨ වුණේ, ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක්, දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීමත් යන්නයි. එදා අපි කළ අරගලයේ බලපෑම නිසා රාජපක්‍ෂ ආණ්ඩුවට සිද්ධ වුණා 2015 ජනාධිපතිවරණයට කලින් රු. 3,000ක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න. ඊළඟට බලයට ආ එජාප ආණ්ඩුවට අර 10,000 ඉතිරිය කොටස් වශයෙන් දෙන්න සිද්ධ වුණා. මේවා අපේ අරගලයේ බලපෑම මත සිදුවූ දේවල්. එදා සිට මේ දක්වා කිසිදු වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. මේක බරපතළ ප්‍රශ්නයක්. ගෝඨාභයලාගේ භාරකාර ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩු 26කට දැන් බදු ගහලා. මේ බදු නිසා ජීවන වියදම වැඩිවෙනවා. ඒක තදින්ම බලපාන්නේ මේ රටේ ස්ථාවර වැටුපක් ගන්න වැඩ කරන ජනතාවට. ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස කිසි දිනක ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැහැ.

2018දී වැඩ කරන ජනතාව දියත් කළ වැටුප් සටන්වල ප්‍රතිඵලයක් ලෙස රනුක්ගේ කමිටුව පත්කළා. ඒ කමිටුව 2020 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. කැබිනට් එක එය අනුමත කළා. භාණ්ඩාගාරයත් එය අනුමත කළා. ගෝඨාභයලා බලයට ආපු ගමන් එය අත්හිටෙව්වා. මේක රාජ්‍ය සේවකයාට බරපතළ ලෙස බලපාන දෙයක්. ඒනිසා අපි දැන් වැඩ කරන පංතියට කියනවා, මේ කප්පාදුවට එරෙහිව අරගල භූමියට ඒම අත්‍යවශ්‍යයි කියලා.

ඒ වගේම මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හෙද විදුහල් ශිෂ්‍යයන්ට එතෙක් ලබාදුන් දීමනාව අත්හිටෙව්වා. දැන් මාස තුනක් තිස්සේ එය ලැබෙන්නේ නැහැ.

විදුලි බිල කලින් කිව්වා පෙබරවාරි බිල මාර්තුවලට ගෙවන්න කියලා. ඡන්දය වරින් වර කල් ගිය නිසා මෙය අවුල් වෙලා දැන් පාරිභෝගිකයාට දරාගන්න බැරි තරමේ විදුලි බිලක් එන්න පටන් අරන්. විදුලි බිල් ගෙවන කාර්යාලවල හැමදාම ජනතාව පෝලිම්වල පොරකකා රණ්ඩු කරනවා, ඒව නිවැරදි කර ගන්න. මේ විදිහට මේ ආණ්ඩුව හැම තැනම නිර්මාණය කරලා තියෙන්නේ අවුල්ම තමයි. කිව්වේ නම් ගෝඨාභයගේ වැඩ නීට්, වැඬේ හරියට කරයි, රට ටොප් එකට නග්ගල ගනියි කියලා. දැන් පේනව නේ ගෝඨාභයලාගේ ‘ටොප්’ වැඩවල තරම.

2020 සිට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමත් මේ ආණ්ඩුව අත්හිටුවලා. මේ සියලු කප්පාදු අස්සේ 2/3ක බලයකුත් ඉල්ලනවා. වැඩ කරන ජනතාවට වීදි බැහැලා අරගල කරන්න තරම් සෞඛ්‍යාරක්‍ෂිත තත්වයක් තවම රටේ නැහැ. ඒ නිසා වැඩ කරන ජනතාව තම ඡන්දය හරහා මෙවර සටනක් දිය යුතුයි. ඡන්දය ඒ සඳහා යොදාගත යුතුයි. ඊට අවශ්‍ය මැදිහත්වීම හැකි උපරිමයෙන් කරන්න කියන ඉල්ලීම අපි කරන ගමන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ හැකි තරම් පාර්ලිමේන්තුවට යවා වැඩ කරන ජනතා සටන තව තවත් ශක්තිමත් කරන ලෙස මෙම ඡන්දයේදී අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අර්බුදයෙන් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි
මහින්ද රත්නායක මහතා – ලංකා කම්කරු සම්මේලනය

“කොරෝනා වසංගතය අස්සේ කම්කරු අමාත්‍යාංශය වෘත්තීය සමිති සාකච්ඡාවක් කැඳෙව්වා. ඒකේදී අවධාරණය කළේ කම්කරුවන්ට වැටුප් ගෙවන්න තියෙන අසීරුතාවය. ඊට පස්සේ ඒකට උත්තර හොයන්න කාර්ය සාධක බලකායක් හැදුවා. සමිති හතරක් පමණයි ඒකට තෝරා ගත්තේ. එතැනදී කම්කරුවන්ට විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන්ට මූලික වැටුපෙන් 50%ක් ගෙවන්න තීන්දු කළා. ඒකට අපේ සංගමයත් අන්තර් සමාගම් සේවක සංගමයත් ලංකා බැංකු සේවක සංගමයත් විරුද්ධ වුණා. අනෙක් සමිති කැමති වුණා. දැන් මාස හතරක් තිස්සේ ඒ කම්කරුවන්ට ගෙවන්නේ පඩි බාගයයි. කාර්යසාධක බලකායත් දැන් අක්‍රීයයි. ඒ කම්කරුවෝ දැන් ඉන්නේ දැඩි අසීරුතාවයේ.

කම්කරුවන්ගේ වැටුප් කපන්න නීතියක් නැහැ. එහෙම කරන්න බැහැ. ඇත්තටම ගත්තාම කොරෝනා වසංගතය වෙනුවෙන් කම්කරුවන්ගේ පැත්තෙන් කැපකිරීම කරලා හමාරයි.

පෞද්ගලික අංශය තමයි විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නේ. රටක වැඩ කරන ජනතාවගේ ආර්ථික තත්වය උසස් නොකර ඒ සඳහා ක්‍රියාමාර්ග නොගෙන වැටිච්ච ආර්ථිකයක් ගොඩගන්න බැහැ.

අර කාර්යසාධක බලකාය හැදුවේ 98%ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයෝ නියෝජනය කරන සමිති රාශියක් අත්හැරලා ආණ්ඩුවට කරදරයක් නොකරන සමිති හතරක් එකතු කරගෙන. ඒක අපිට ප්‍රශ්නයක්.

දැන් සේවකයෝ අයින් කරන්න ක්‍රියාමාර්ග අරගෙන. දැන් ඔවුන්ට පඩියත් නැහැ, රැකියාවත් නැහැ. වෙන රටවල නම් මේ කාලයේ ඒ රටවල ආණ්ඩු මැදිහත් වෙලා සේවක වැටුප් ගෙවනවා. ආයතනය යථා තත්වයට පත්වූ පසු නැවත ගෙවීමේ කොන්දේසිය යටතේ. ඒ මුදල් ගෙවිය යුත්තේ ආයතනය විසිනුයි.

බැංකුවලට ගිහිල්ලා තග දැම්ම පලියට ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. ජාවාරම්කාරයෝ වටකරගෙන ජාතික ආර්ථිකය ගොඩගන්න බැහැ. මේ වන විට මැද පෙරදිග සේවය කළ අපේ රටේ සේවකයන් ලක්‍ෂ 5කය රැකියා අහිමි වෙලා. වෙළඳ කලාපයේ ලක්‍ෂ 3කට රැකියා අහිමි වෙලා. සියල්ල පවතින්නේ ගරා වැටෙන තත්වයක. මෙයින් ගොඩ ඒමට නම් කම්කරුවන් නව මාවතක් තෝරා ගත යුතුමයි. ඒ සඳහා තියෙන එකම මාවත මාලිමාව යටතේ තරඟ වදින ජාතික ජන බලවේගය බව අපි දැඩිව ප්‍රකාශ කර සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *