සෞදියේදී ගෙල වැලලාගෙන මියගිය සැමියාගේ මරණය සැකයි!! බිරිය කියයි!!

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

සවුදියේ රියාද් වල හෝටලයක සේවය කළ සිය ස්වාමිපුරුෂයා එහිදී ගෙල වැල දාගෙන මිය ගොස් තිබෙනවා යැයි කියන කතාව පිලිගත නොහැකි යැයි ඔහුගේ බිරිය වන මුතුවාහන්දි නිර්මලා දයංගනී ද සිල්වා මහත්මිය (42)  අද (20) ප්‍රකාශ කළාය.

මෙසේ මිය ගොස් ඇත්තේ බළපිටිය වැලිවතුගොඩ ශ්‍රීමත් සිරිල් ද සොයිසා නිවාස සංකීර්ණයේ පදිංචි සිව් දරු පියෙකු වන විජේමුණි නිලන්ත ද සිල්වා (48) නමැති අයයි.

මේ පිළිබඳව ඇඬූ කඳුලෙන් යුතුව තව දුරටත් අදහස් දැක් වූ මියගිය අයගේ බිරිය වන මුතුවාහන්දි නිර්මලා දයංගනී ද සිල්වා මහත්මිය (42) මෙසේ ද කීවාය.

අපි විවාහ වෙලා අවුරුදු විසි එකක් වෙනවා. අපට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 20 ක්, ලොකු පුතාට අවුරුදු 14 ක්, දෙවන පුතාට අවුරුදු 12 ක්, බාල පුතාට අවුරුදු 9 ක් වෙනවා. පුතාල තුන් දෙනාම පාසල් යනවා. මගේ මහත්තයා හෝටල් රක්ෂාව කරන්නේ. අවුරුදු දහ අට කලයේ සිටයි රැකියාව කරන්නේ. කොස්ගොඩ හෝටලයක සේවය කරල සවුදි රියාද් වල මැරියන්ට් හෝටලයේ වැඩට ගිහින් අවුරුදු අටක් විතර වෙනවා. හවුස් කීපින් දෙපාර්තමේන්තුවේ සුපර්වයිසර් කෙනෙක් හැටියටයි, සේවය කළේ. අවුරුදු දෙකෙන් එක හමාරෙන් ඇවිත් ගියා. මෙවර ඇවිත් ගිහින් මැයි විසිපස් වෙනිදාට අවුරුද්දක් වෙනවා. ගිය අවුරුද්දේ මාර්තු 31 වෙනිදා ඇවිත් මැයි 25 වෙනිදා ගියේ. තව සති දෙකකින් ලංකාවට එන්න හිටියේ.

දිනපතාම අපිත් එක්ක කතා කරනවා. ගිය 16 වෙනි සෙනසුරාදා රාත්‍රි 10.45 ට විතර කතා කළා. ෆ්ලයිට් වැඩ කරපු ගමන් සති දෙකකික් එනවා කිව්වා. ඒ ඇවිත් ගෙදර ඉඳන් මොනව හරි බිස්නස් එකක් කරනවා කියල කිව්වා. දවස් හතරකට පහකට ඉස්සර දී හති හැදිල බෙහෙත් ගත්තා කිව්වා. සනීප බවත් කිව්වා.

රන්දොඹේ පදිංචි සුසන්ත නමැති අයත් ඒ හෝටලයේ සේවය කළේ. ඔහු ලංකාව ඇවිත් හිටියේ. ඔහුට හෝටලයෙන් කතා කරල කියල තිබෙනවා මගේ මහත්තයා බෙල්ලෙ වැල දමාගෙන මිය ගිහින් කියල. බෙල්ලෙ වැල දාගන්න තරම් දෙයක් ඔහුට තිබුණේ නැහැ. තව සති දෙකකින් ලංකාවට එන්නයි හිටියේ.

මහත්තයගෙ කාමරේ හිටපු කෙනෙක් කොරෝනා හැදිල මැරුණු බවත්. මහත්තයා පී සී ආර් පරීක්ෂණයක් කරල නෙගටිව් කියල දින දෙකකට ඉස්සෙල්ලා කිව්වා. කොරෝනා වලට මිය ගියා කියල කියන්න බැහැ. එහෙමනම් ඒ බව කියනවා.

අපි ගාල්ලේ විදේශ සේවා කාර්යාලයට ගියාම බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න කිව්වා. එතැනින් කොළඹට දැනුම් දුන්නා. අපට මරණය ලංකාවට ගේන්න රුපියල් ලක්ෂ හයක් හතක් නැහැ. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වල සිරුර ලංකාවට ගෙනැවිත් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යැයි ද කීවාය.

මියගිය විජේමුණි නිලන්ත ද සිල්වා (48) නමැති අයගේ සහ ඔහුගේ බිරිය මුතුවාහන්දි නිර්මලා දයංගනී ද සිල්වා මහත්මිය (42)  හා දරුවන් ඉහත ඡායාරූප වල සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *