අයහපත් කාලගුණය තව දින කිහිපයක්

මුහුදු රළ මීටර් 02 ත් 03 ත් අතර ප්‍රමාණයකට ඉහළට

ඊයේ (21) දින රාත්‍රියේ සිට හෙට (23) දින දක්වා බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය තරමක් රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළබඩ ජනතාව මේ සම්බන්ධ‍යෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලමින් ඊයේ (21) දහවල් 12.00 ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම තත්ත්වය අනිද්දා (24) දින දක්වා පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22) අළුයම 5.30 ට නිකුත් කරන ලද නිවේදනයේ සදහන් වේ.

මෙම නිවේදනයන්ට අනුව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 02 ත් 03 ත් අතර ප්‍රමාණයකට ඉහළයා හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩි දුරටත් සදහන් කළේය.

මෙම කාලවකවානුව තුල කන්කසන්තුරයේ සිට පුත්තලම හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුලං ගිණිකොන දෙසින් හමන බවද සුලගේ වේගය පැයට කිලෝමීටර් 20 – 30 අතර වියහැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ අනිද්දා (24) පෙ.ව 8.00 දක්වා කාලයේදී මුහුදු රළ මීටර් 2.5 ත් 3.5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට ගලා ඒමේ හැකියාවක් තිබෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (21) ප.ව 2.00 ට නිකුත් කරන ලද නිවේදනයේ සදහන් වේ. දිවයිනට බස්නාහිර, ගිණිකොන හා දකුණ දෙසින් වෙරළට ඹබ්බෙන් වන මුහුදු ප්‍රදේශයන්හි ධීවර හා වෙරළබඩ ජනතාව අවධානයෙන් සිටින ලෙසද එම නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *