ශ්‍රී ලංකාවේ ඡන්ද මැෂින්

ශ්‍රී ලංකාවේ ඡන්ද මැෂින්

මෙරට මැතිවරණ ඉතිහාසයේ ඡන්ද සටන් වලදී බොහෝ අපෙක්ෂකයන් විවිධ උපයා උපක්‍රම යොදන අයුරු ඒ ඉතිහාසය පරික්ෂා කිරීමේදී පැහැදිලිවේ. ඇතැම් උපක්‍රම බිය ජනක වන අතර ඇතැම් ඒවා හාස්‍ය මුසු වූ ඒවා වෙයි. කෙසේ වුවද ඒ උපාය උපකුම සාර්ථක වනුයේ ඔහුගේ නිර්මණශීලීත්වය හා උපායශීලීත්වය මත බව නම් පැහැදිලිය.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මහතා හා සම්බන්ධ කතාවකි මේ. එක්තරා මැතිවරණයක් අවසන් ප්‍රචාරක කටයුතු සිදුකරන දිනයේදී ඔහු පුවත්පත් දැන්වීමක් පළකර තිබේ. ඡන්දයට පැය 72කට පෙර ඡන්ද දැන්වීම් පළකිරීම නතර කළ යුතුය. එහෙත් මේ අවසන් දිනයේ ඔහු එල්ලකළ දැන්වීම වැරදිය. ප්‍රචාරක කටයුතු අවසන් වුවද පසුදින මේ දැන්වීම නිවැරදි කර ඵලකිරීමට පුවත්පත් ආයතනයට සිදුවූ බව වාර්තා වේ. එනම් එදින මෙරට පුවත්පතක පළවු එකම ඡන්ද දැන්වීම අලහප්පෙරුම මහතාගේ දැන්වීමය. මෙය වැරදුනාද / වැරැද්දුවා ද යන්න දන්නේ අලහප්පෙරුම මහතා පමණි.
මේ සිදුවීම වාර්තා වූයේ මීට වසර 10 කට පමණ පෙරය.

මතකයේ තරමට එය නැගෙනහිර පළාත් සභා මැතිවරණයයි. ඒ මැතිවරණ සටන මෙහෙයවීමට දකුණේ බොහෝ දේශපාලනඥයෝ නැගෙනහිරට ගොස් සිටියහ. අපේ කතාවට බදුන්වන දේශපාලනඥයා රත්නපුර ප්‍ර දේශයේ අයෙකි. ඔහු අද ජීවතුන් අතර නැත. ඔහුගේ හොදම මිතුරා පොළොන්නරුව ප්‍ර දේශයේ දේශපාලනඥයෙකි. ඔහුට ද පසුගිය අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි විය. දෙදෙනාටම මෙම මැතිවරණ සටනේදී පැවරුනේ මූතූර් ප්‍රදේශයයි. ඡන්දයට සතියකට පෙර ඔවුහු එම ප්‍ර දේශයට ගොස් පදිංචි වූහ. ඡන්ද දිනය උදාවිය. ඔවුන් සිතා සිටියේ බොහෝ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණෙනු ඇතැයි යනුවෙනි. හේතුව මුස්ලිම් ජාතිකයන් බහුලව ඡන්දය ප්‍රකාශ කළ හොත් සම සන්ධානයට එය අවාසියක් වන බව දන්නා නිසාය

. එහෙත් පෙරවරුවේ සිටම විශාල වශයෙන් ඡන්ද දායකයන් ඡන්දපොළට පැමිණීමට පටන් ගත්තේය. එය මේ දෙදෙනාට ඉවසුම් නොදෙන කරුණක් විය. දෙදෙනාම උදේ වේලපහින්ම තරමක් මධුවිත තොලගා ගත්තේ ‘‘ අපි දෙන්නා අතේ තමයි මූතූර්ගොඩදාන වැඩේ තියෙන්නේ.“ යනුවෙන් ප්‍රකාශ කරමිනි. ඡන්ද දායකයන් වැළ නොකැඩී ඡන්දපොලට එන බවට ඔවුන් නොසිතූ ආරංචිය ලැබීමත් සමග වෙරි සිදී ගියේය. දෙදෙනාම මෙහෙයුමට සුදානම් වූහ.

රත්නපුරයේ මන්ත්‍රිවරයා සුදු සරමක් හැද මුස්ලිම් ජාතිකයන් පළදින තොප්පියක්ද හිසේ රදවා ගත්තේය. පොළොන්නරුවේ මන්ත්‍රිවරයා ද මුස්ලිම් ජාතිකයෙකු සේ සැරසුනේය. ඔවුන්ගේ ඇමති ආරක්ෂකයන්ට උපදෙස් දුන්නේ ‘‘ උඹලා අපි ළගට එන්න එපා. ඈතින් හිටපල්ලා‘‘ යනුවෙනි. මේ දෙදෙනා ජනතාව ඡන්දපොලට එන මාර්ගයේ වංගු සහිත ස්ථානයක් මෙහෙයුම සදහා තෝරාගත්තේය. මුස්ලිම් ජාතික කාන්තාවන් පිරිසක් ඈතින් එන අයුරු දුටු දෙදෙනා සරම අතට ගත්තේ හොද පද කිහිපයක්ද ප්‍රකාශ කරමිනි. වෙරි වී රන්ඩුවන මේ දෙදෙනාගේ යට ඇදුමත් දුටු මුස්ලිම් කාන්තාවෝ ආපසු හැරී දුවන්නට පටන් ගත්හ.

කාන්තාවන් දුවන අයුරු දුටු මේ දෙදෙනා තමන්ගේ උත්සාහය සාර්ථක වීම ගැන සතුටු වූහ. ගතවූයේ පැය දෙක තුනකි. පොලු මුගුරු අතින් ගත් මුස්ලිම් තරුණයන් පිරිසක් පෙරටුකරගත් කාන්තාවන් පිරිසක් පැමිණියේ සුනාමියක් පරිද්දෙනි. ඔවුන් අත ඡන්ද කාඩ්පත් තිබුණි. මේ දෙදෙනා එක් අතකින් උස්සාගෙන සිටි සිය සරම පහතට ඇද දැමුවේ ඔවුන්ටත් නොදැනෙන අයුරිනි. බීමතින් ප්‍රකාශ කළ හරුප වැලේ හඩ බාල විය. හෙමින් සීරුවේ ආපසු හැරී තමන් නතර වී සිටි හෝටලයට ඔවුහු පැමිණියහ. එහිදී හොද හැටි සූර් වී ඇමති ආරක්ෂකයන් ද සමගින් කොළඹ පැමිණියේ තමන් මැතිවරණ ව්‍යාපාරය හරි හැටි කළ බවට තමන්ගේ ප්‍රධානියට දුරකනත ඇමතුමක් ලබා දෙමින්.

සෝමවිර චන්ද්‍රසිරි මහතාට බොරලැස්ගමුව ජන හමුවකදී ඇතිවූ සිද්ධියක් පිළිබදව ද මෙරට මැතිවරණ ඉතිහාසයේ රසබර වාර්තාවක් පවතී. ඔහු එම ජන හමුවට සහභාගී වෙමින් වේදිකාවට ගොඩවෙන විටදී රැස්ව සිටි පිරිසගෙන් එල්ලවූයේ හූ හඩකි. සෝමවීරයන් සැලුනේ නැත. ඔහු තමන්ගේ කතාවට වාරය එනතෙක් ඉවසා සිටියේය. සෝමවීරයන් කතාව ආරම්භ කළේ තමන්ට හූ කියූ අයට උපහාසයෙන් යුත් කවියක් ඉදිරිපත් කරමිනි.

මිනිහෙක් උපන්නොත් නරියෙකු හට දාව
උපතින් ඌට හිමිවනවාමය හූව
මේ ගරු සභාවෙදි දැන්මට හූ කීව
අම්මා ළගට ගොස් මකවාපන් හූව

ඔහුගේ මෙම කවිය අදට ද දේශපාලන රසබර කතා කියන පැරැණ්නන් තුළ හොදින් මතකයේ පවති.
ඡන්ද ව්‍යාපාරවලදී මෙවැනි රසබර කතා බොහෝමයක් එස් බී දිසානායක මහතා වටා ද ගෙතී පවතී. මීට වසර ගණණාවකට පෙර ඔහු හැදින්වූයේ ‘‘ ඡන්ද මැෂිම“ යනුවෙනි. ඒ තරමටම ඡන්දය කඩා ගැනීමට ඔහු දක්ෂයෙකි. දැනුදු ඔහු තුළ ඒ නෂ්ඨාවශේෂ පවතී. ඡන්ද මැෂිමක වර්තමානයේ ගම්පහ ඉටු කරනුයේ ප්‍රසන්න රණතුංග හා නිමල් ලන්සාය. ප්‍රසන්නගේ ඇත්තේ හොද සැළසුම් හා පසු විපරම්ය. ලන්සගේ ඇත්තේ ස්ථිර තැන්පතුවක් තබා ගනිමින් ඉතිරි කිරීමේ ගිණුම වර්ධනය කර ගැනීම වැනි වැඩපිලිවෙලකි.

නිමල් ලන්සා පන්සලටත් යන කතෝලිකයෙකි. සනත් ජයසූරිය මෙන් ඔහුද පිරිත් නූල් මිටියකින් දකුණු අත සරසාගෙන සිටින අයෙකි. ඔහු මෙවර මහ මැතිවරණයට සූදානම් වූයේ වසර 4 කට පමණ පෙර විය යුතුය. ඒ ඔහුගේ ඡන්ද මැෂිමයි. රාජපක්ෂවරුන්ගේ හිතවතෙකු වන ලන්සා මුල් යුගයේම ඒ මතය ව්‍යාප්ත කරමින් තම මැෂිම ක්‍රියාත්මක කළේය. දෙවනුව ඔහු කතෝලික ඡන්ද ඉලක්ක කර ගනිමින් වැඩ ඇරඹුවේය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ඔහුගේ ව්‍යාපාරය දෙතුන් ගුණයකින් වාසි දායක ලෙස වර්ධනය විය මේ සිද්ධිය ගැන ඔහු නිරන්තරයෙන්ම පාර්ලිමේන්තුවේදී හඩ නැගුවේය. එය කොතෙක් වර්ධනය කළේදැයි විමසා බැලුවහොත් යහපාලන කාලයේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුවේදී කිරිහරක් පිළිබද විවාදයක් පැවතිය ද නිමල් ලන්සාගේ කතාව කිරි හරක්ගෙන් පටන්ගෙන එය අවසන් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙනි.

මේ අනුව ඔහු මීගමුවේ සිට වත්තල දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණ කතෝලික ඡන්ද ආක්‍රමණය කිරිමට සමත් විය. ඔහු මේ ඡන්ද සටන ආරම්භ කළේම ඡන්ද ලක්ෂයක පමණ ස්ථිර තැන්පතුවක් සහිතවය.
මෙවර මැතිවරණයයේ ද රසබර, උණුසුම් හා ඡන්ද මැෂින් ක්‍රියාත්මක වූ ආකාරය ගැන රසබර කතා රැසක් පවතී. එහෙත් ඒවා ගැන සවිස්තරාත්මකව විමසා බැලීමට කාලය නොවේ මෙය. හේතුව අපගේ විග්‍රහයන් ඇතැම් අපේක්ෂයන්ට අවාසියක් විය හැකි බැවිනි. ඒ තරමට කීකරු වැඩ රැසක් ද ඇතැමුන් වටා ගෙතී පවතී. ඒ පිළිබද මහා ඡන්දයෙන් පසු අපි විමසා බලමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *