එළවලු වෙළෙන්දා පිහියෙන් ගසා පුද්ගලයෙකු ඝාතනය කරලා

ඌරගස්මන්හන්දිය, මහවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් බෙල්ලට පහර දී ඊයේ (13) සවස ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ මහවිල, ඌරස්මන්හන්දිය ලිපිනයේ පදිංචි දෙමලටියු සරත් නොහොත් සරදියෙල් නැමැති 47 වියැති අවිවාහක අයෙකි.

තියුණු ආයුධයෙන් පහර කෑමට ලක් වූ අය බරපතල තුවාල සහිතව බෙන්තොට රෝහලට ගෙන යමින් සිටියදී මියගොස් තිබෙන අතර ඔහුගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

ඊයේ (13) සවස 6.30 ට පමණ ඌරගස්මන්හන්දිය, මහවිල ප්‍රදේශයේ එළවළු කඩයක් අසලට ඝාතනයට ලක් වූ අය පැමිණ ඇති බවත් එම එළවළු කඩයේ වෙළෙන්දා විසින් ඝාතනයට ලක් වූ අයගේ බෙල්ලට කඩයේ තිබූ වක් පිහියකින් පහරක් එල්ල කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

සැකකරු හා ඝාතනයට ලක් වූ අය එහිදි බහින් බස් වීමක් සිදුව ඇති බවත් එහිදී මෙම පිහිපහර එල්ල කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය කියයි. සැරකරු මේ වන විට හදුනාගෙන තිබෙන බවත් ඔහු ඌරගස්මන්හන්දිය, මහවිල ප්‍රදේශයේ එලවළු කඩයක් පවත්වාගෙන යන රෝෂාන් නැමැති අයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතා විසින්  පොලිස් කණ්ඩායම් 03 ක් යොදා ඇති  බවත් ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඝාතනයට ලක් වූ අයද මීට ඉහත සිදු වූ මිනී මැරුමක සැකකරුවෙකු බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. 1993 වසරේදී ඌරගස්මන්හන්දිය, මහවිල ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකු ඝාතනයට ලක් කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

පොලිස් ස්ථානාධිපති හරිත් හල්විට, පාලන අංශයේ ස්ථානාධිති විජිත් ජයන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පොලිස් කණ්ඩායම් යොදා ඇත. පහර දීම සිදුකර තිබෙන වක් පිහිය මේ වන විට පොලීසිය විසින් සොයාගෙන තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, උ පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න, පොලිස් සැරයන් රංජිත් (7818), පොලිස් කොස්තාපල් සජිත් ද සිල්වා (2789) යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *