ඇල්පිටිය පිටිගලදී බලපත්‍ර නොමැති විදේශීය රටවල නිෂ්පාදිත ගිණි අවි දෙකක් සොයාගනී

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ඇල්පිටියේ, පිටිගල පොලිස් වසමට අයත් හොරන්ගල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව විදේශීය රටවල නිශ්පාදිත බොර – 12 වර්ගයේ ගිනිඅවි 02 ක් හා එම වර්ගයේ උණ්ඩ 06 ක් සගවාගෙන සිටි සැකකරුවෙකු ඇල්පිටිය කොට්ඨාශ දූෂණ මර්ධන අංශය මගින් ඊයේ (28) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශණ හා ඉදිරි නීතිමය කටයුතු සදහා ඊයේ (28) රාත්‍රී පිටිගල පොලීසියට බාර දී තිබෙන අතර අද (29) ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ ගෙදර, හොරන්ගල්ල, තල්ගස්වල ලිපිනයේ පදිංචි අත්තමුල්ල කංකානම්ගේ මහේෂ් ප්‍රදීප් කුමාර (35) නැමැති අයයි.

ඇල්පිටිය කොට්ඨාෂ දුෂණ මර්ධන අංශයට සිය පෞද්ගලික ඔත්තු කරුවෙකුගෙන් ලැබුණ බුද්ධි තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු සමග බොර – 12 ගිනි අවි 02 සහ බොර – 12 උණ්ඩ 06 අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැමිණෙන විට සැකකරු එක් බොර – 12 තුවක්කුවක් අළුත්වැඩියා හා පිරිසිදු කරමින් සිට ඇති අතර එය සහ සැකකරු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ හෙළිවුණ තොරතුරු මත අනෙක් බොර – 12 තුවක්කුව සහ උණ්ඩ 06 සොයා ගෙන තිබේ.

පසුව සොයා ගන්නා ලද බොර – 12 තුවක්කුව සහ උණ්ඩ 06 සැකකරුගේ නිදන කාමරයේ මෙට්ටය යට සගවා තිබූ බව ඇල්පිටිය කොට්ඨාෂ දුෂණ මර්ධන අංශය කියයි. මෙම තුවක්කු දෙකම විදේශීය රටක නිශ්පාදය කරන ලද ඒවා බවත් එය බොහෝ විට ස්පාඥය වියහැකි බවත් ඇල්පිටිය කොට්ඨාෂ දුෂණ මර්ධන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සැකකරු මෙම ගිනිඅවි ලග තබා ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරන බවත් සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා නොවන බවත් පිටිගල පොලීසිය කියයි. සැකකරුට මෙම ගිනිඅවි සහ උණ්ඩ ලැබුණේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන් හෝ සැකකරු ගිනිඅවි මිළ දී ගත්තේ නම් ඒ කාගෙන්න යන්න සම්බන්ධයෙන් පිටිගල පොලීසියේ අවධානය යොමු වී තිබෙන බවද පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සතුන් දඩයම් කිරීම සදහා ගිනිඅවි සහ උණ්ඩ සන්තකයේ තබා ගත්තේ යැයි සැකකරු කරන ප්‍රකාශය සම්බන්ධයෙන්ද විමර්ශණ සිදුකරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

ඇල්පිටිය කොට්ඨාෂ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගරතිලක, පොලිස් සැරයන්වරුන් වන මනෝජ් ක්‍රිෂාන්ත (5462) සහ ජයලාල් (58409), පොලිස් කොස්තාපල් සමරනායක (69184), පොලිස් කොස්තාපල් රියදුරු වික්‍රමසිංහ (12743), සිවිල් ආරක්ෂක නිලධාරී අජිත් (010864) යන නිලධාරීන් වැටලීම සිදුකර ගිනිඅවි සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙන අතර පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඇල්පිටිය පොලිස් අධිකාරි සතිෂ් ගමගේ, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි – 01 මහේෂ් කුමාරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම හා අධීක්ෂණය මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත් අඩංගුවට ගන්නා ලද බොර – 12 තුවක්කු දෙක සහ උණ්ඩ 06 සහ එය රජයේ රස පරීක්ෂක වරයා වෙත යැවීමට සූදානම් කර තිබූ අයුරු ඉහත ඡායාරූප වල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *