මෙරට ප්‍රමුඛ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දස දෙනෙකු බූස්ස බන්ධනගරට දමයි

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

මහා පරිමාණයේ මත් දව්‍ය ජාවාරමේ යෙදී සිටියදී නීතියේ රැහැනට කොටු වී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින දිවයිනේ ප්‍රමුඛ පෙළේ මත් දව්‍ය ජාවාරම් කරුවන් 10 දෙනෙකු පසුගිය දින කිහිපය තුල ගාල්ල, බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මහ නුවර පල්ලේකැලේ බන්ධනාගාරයේ රදවා සිටි චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රොටුඹ රසික හා කුඩු තිලාන්, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි ශානුක මධුෂාන් (24) නොහොත් ඕලුමරා, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි ගගන හා චුට්ටා සමන්ත, කළුතර බන්ධනාගාරයේ රදවා සිටි මැක්ස් මංජු, කොළඔ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි සම්පත් චාමර ෆොන්සේකා නොහොත් ආමි සම්පත් හා මහර බන්ධනාගාරයේ රදවා සිටි ගොත අසංක හා ලලිත් පිංතු යන ජාවාරම් කරුවන් මෙසේ බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා තිබේ.

මෙරට ප්‍රධානතම මත්දව්‍ය ජවාරම් කරුවන් වන මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් ඛන්ජිපාන ඉම්රාන් (34), ගම්පොළ විදානගේ සමන්ත කුමාර (37) නොහොත් වෙලේ සුදා මෙන්ම දරුණු ගණයේ අපරාධකරුවෙකු මෙන්ම මත්දව්‍ය ජාවාරම් කරුවෙකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු අපරාධකරුවන් 17 දෙනෙකු මීට පෙර බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා තිබුණි. ඒ අනුව මේ වන විට මහ පරිමාණ මත් දව්‍ය ජවාරම් කරුවන් 27 දෙනෙකු බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින බව බූස්ස බන්ධනාගාරයේ ප්‍රකාශයෙකු සදහන් කළේය.

පාතාල නායක සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් (45) සමග ඩුබායිහිදී පැවති උපන්දින සාදයක සිටියදී ඩුබායි පොලීසිය විසින් 2019.02.05 දින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් ඛන්ජිපාන ඉම්රාන් (34) අත් අඩංගුවට ගෙන තිබුණි. ඩුබායි පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී සන්තකයේ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක්ද සොයා ගෙන තිබූ අතර ඩුබායි පොලිස් පරීක්ෂණ අවසානයේ 2019.03.28 දින කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළේය. එදිනම ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාලව මරණ දඩුවම නියම වූ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද වැලිකඩ බන්ධනාගාරයේ සිට 2016 සැප්තැම්බර් 09 දින ආරක්ෂක හේතූන් මත පල්ලේකැලේ බන්ධනාගාරයට මාරුකර යවා තිබුණි. පාතාල නායකයෙකු ලෙස නම්දරා සිටි සම්පත් චාමර ෆොන්සේකා නොහොත් ආමි සම්පත් නැමැති අය 2016 මැයි 31 දින කොම්පඥඥවීදියේදී පොලිස් විශේෂ කාරයය බලකායේ අත් අඩංගුවට පත් විය. සංඛ ශිරන්ත නොහොත් බ්ලුමැන්ඩල් සංඛ සමග 2015 මහ මැතිවරණයේදී රවී කරුණානායක මහතාගේ ආධාර කරුවන් පිරිසකට වෙඩිතබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙසද ආමි සම්පත්ට චෝදනා එල්ල විය.

හෙරොයින් ග්‍රෑම් 12 ක් සමග ශානුක මධුෂාන් (24) නොහොත් ඕලුමරා වෙන්නපුව, සිරිගම්පල ප්‍රදේශයේදී පොලිස් අත් අඩංගුවට පත් විය. හෙරොයින් ජාවාරමට අමතරව ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබා ගැනීම ආදී චෝදනා රැසක්ම ඔහුව එරෙහිව පවරා ඇති නඩුවල චෝදනාවන් අතර වේ.  ගම්පොළ විදානගේ සමන්ත කුමාර (37) නොහොත් වෙලේ සුදා 2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05 ක ප්‍රමාණයක් සමග පොලිස් අත් අඩංගුවට පත් වූ අතර දීර්ඝ නඩු විභාගයකින් පසු 2015 දී ඔහුට මරණ දඩුවම නියම කෙරුණි.

කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරක එරෙහිව අපරාධ චෝදනා රැසක්ම එල්ල වී තිබේ. 2017 නොවැම්බර් 29 දින ඌරගස්මන්හන්දිය, බොරළුකැටියේ පදිංචිව සිටි ජගමුණි මහින්ද රාජා ද සොයිසා (54), ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සිව් (04) දෙනෙකු ඝාතනය කිරීම මෙන්ම 2018 ජුනි 27 දින පොලිස් නිලධාරියෙකු ඝාතනය කර මාතර නිලේඛා ජුවලරි ආයතනය කොල්ල කෑම ඇතුළු චෝදනා රැසක්ම ඔහුට එරෙහිව එල්ල වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *