තිස්ස අත්තනායකගේ අලුත් පක්ෂය මතුවෙයි ද?

පක්ෂය ගොඩ නැගීම සදහා වෘතිකයන් හා ව්‍යාපාරිකයන්

ජනතා බලය ජනතාව වෙනුවෙන් ගොඩ නැගිමේ ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් සමාජය ඉටුකල යුතු කාර්යය භාරය හා වගකිම පිලිබදව නව ප්‍රවේශයක් වෙනුවෙන් කථිකාවක් ආරම්භ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සදහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, තිස්ස අත්තනායක මහතා විසින් පිහිටුවීමට නියමිත නව දේශපාලන පක්ෂය පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද යොදමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ. නව දේශපාලන පක්ෂය ගොඩ නැගීම සදහා වෘතිකයන් හා ව්‍යාපාරිකයන් එක්ව මහරගමදි පවත්වන ලද සාකව්ඡාව පිළිබදව තිස්ස අත්තනායක මහතා විසින් එම සටහන යොදා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද සහභාගී වී තිබෙන බව තිස්ස අත්තනායක මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායකයා ලෙස පත් කරන ලද චන්දිම නයනජිත් සහ ධම්මික චන්ද්‍රරත්න යන නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු පිරිසක් මෙසේ තිස්ස අත්තනායක මහතා සමග සාකච්ඡාවට සහභාගි වී තිබෙන බවද දැන ගන්නට තිබේ. කෝට්ටේ නගර සභාව හා නගර සභා බල ප්‍රදේශය අයත් කෝට්ටේ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.

පසුගිය සිකුරාදා (05) දින මහරගමදී පවත්වන ලද මෙම සාකව්ඡාවට අදාල තිස්ස අත්තනායක මහතාගේ ෆේස්බුක් සටහනේ මෙසේද සදහන් වේ.

අප රට ගොඩ නැගිම සදහා සැබෑ උවමනාවක් ඇති පුරවැසියන් එකට එකතු කරමින් දේශියත්වය හා අපේ කම් රකිමින් ජාත්‍යන්තරය සමග ඉදිරියට යන නව ආර්ථික වැඩ පිළිවෙලක් අපට අවශ්‍යයි. ජාතියට බත සපයන ගොවියා, වෘතිකයෙක් කිරිම අපේ අරමුණයි. මේ වෙනුවෙන් අප ඇරඹු වෘතිකයන් හා ව්‍යාපාරික හමුවක් පසුගියදා මහරගමදි පැවැත්වුණි. මේ සදහා එක්වු හැම දෙනාම අපගේ නව වැඩ පිළිවෙලට උපරිම සහය වන්නටද කැමැත්ත ප්‍රකාශ කලහ.

නව දේශපාලන පක්ෂය සදහා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගත යුතු ආකාරය පිළිබදව මෙහිදී සාකච්ඡා කළ බව එම සාකව්ඡාවට සහභාගී වූ තිස්ස අත්තනායක මහතාගේ සමීපතමයෙක් ප්‍රකාශ කළේය.

තිස්ස අත්තනායක මහතා, කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස කේන්ද්‍රයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම්වරයෙකු වන බී සිරිසේන කුරේ මහතා සමගද පසුගිය සැප්තැම්බර් 11 දින කරන ලද සාකව්ඡාවේදීද නව දේශපාලන පක්ෂයට පූර්ණ සහය ලබා දීමට ඒ මහතාද කැමැත්ත පල කර තිබේ. තිස්ස අත්තනායක මහතාගේ නව දේශපාලන පක්ෂයට සිය අත් දැකීම් අනුව අවශ්‍ය උපදෙස් ලබා දෙමින් එම දේශපාලන ව්‍යාපාරය සංවිධානය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන බවද සිරිසේන කුරේ මහතා එහිදී ප්‍රකාශ කර තිබුණි.

නව ජාතික සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය බරපතළ ලෙස රට හමුවේ මතුව තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබෙන දේශපාලන ඉරණම පිළිබදව තමා බෙහෙවින් කණගාටු වන බවත් සිරිසේන කුරේ මහතා එහිදී පෙන්වා දී තිබුණි.

තිස්ස අත්තනායක මහතා එම හමුවට දින කීපයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක මහතා ද හමු වී අදහස් හුවමාරු කරගෙන තිබිණි. රුක්මන් සේනානායක මහතාද තිස්ස අත්තනායක මහතාගේ නව දේශපාලන පක්ෂයට පූර්ණ සහය පලකර ඇති අතර ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන්නටද එකගතාවය පලකර තිබේ.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්ද සංගරී මහතා සමගද තිස්ස අත්තනායක මහතා පසුගිය සැප්තැම්බර් 10 දින කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ආනන්ද සංගරී මහතා තමා නායකත්වය දරණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මෙන්ම තමා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණේ සහයද නව දේශපාලන ව්‍යාපාරයට ලබා දීමට එකගතාව පලකර තිබුණි. වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන ද්‍රවිඩ දේශපාලන නායකයෙකු වන එස් සතාසිවම් මහතා ද තිස්ස අත්තනායක මහතා හමු වී වතුකරයේ ද්‍රවිඩ ජනතාගේ සහයෝගය සහ තමන්ගේ සහය නව දේශපාලන පක්ෂයට ලබා දෙන බවට තිස්ස අත්තනායක මහතාට පොරෝන්දු වී තිබූ බව තිස්ස අත්තනායක මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

නව දේශපාලන පක්ෂය ගොඩ නැගීම සදහා වෘතිකයන් හා ව්‍යාපාරිකයන් එක්ව මහරගමදි පවත්වන ලද සාකව්ඡාවේ ඡායාරූපයක් මෙහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *