ගාල්ලේ අයහපත් කාලගුණයෙන් පවුල් දහසකට වැඩි පිරිසක් අසරණ වෙයි

ගාල්ලේ දිස්ත්‍රික්කයේ බළපිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, ගෝනාපිනුවල, කරන්දෙණිය, කඩවත් සතර, ඉමදූව, හබරාදූව, අක්මීමන, ඇල්පිටිය, නියාගම හා බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු විවිධ ප්‍රදේශයන්ට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් දහසකට (1000) අධික ප්‍රමාණයක් ආපදාවට ලක්ව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

වර්ෂාවත් සමග ඇති වූ අකුණු සැර වැදීමෙන් දිස්ත්‍රික්කයේ නිවාස 23 කටද බරපතල හානි සිදුව තිබෙන අතර අඹුසැමි යුවලක් තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ රෝහල් ගතකර ඇත්තේ ඉමදූව, දඩුවන පදිංචි 48 හැවිරිදි දෙදරු මවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයාය.

තුවාල ලැබූ කාන්තාවගේ ශරීරයේ වම් පැත්තේ විශාල පිලිස්සුම් තුවාල තිබෙන බවත් ඇය කරාපිටිය රෝහලේ හදිසි හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කල බවත් ඉමදූව පොලීසිය කියයි. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේද සුළු පිලිස්සුම් හා සීරීම් තුවාල ඇති වී තිබෙන බවත් තුවාල ලැබූ කාන්තාව මුළුතැන් ගෙයි සිටියදී අකුණු සැර වැදී තිබෙන බවත් ඉමදූව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. බද්දෙගම, හිගුරගොඩදුව වත්ත  ප්‍රදේශයට එල්ල වූ අකුණු පහරින් එම ප්‍රදේශයේ නිවාස අටකට (08) පමණ දැඩි අලාභානි සිදුව ඇති බවත් අකුණු ගෙය ඇතුලේ පිපිරීම හේතුවෙන් එහි අධික ශබ්දයට නිවාස දෙකක ළමුන් දෙදෙනෙකු දැඩි කම්පනයට පත්ව ඇති බවත් බද්දේගම පොලීසිය කියයි. මෙම බොහෝ නිවාසවල තිබූ විදුලි මීටර් විනාශ වී ගොස් ඇති අතර එම අවස්ථාවේදි විදුලිය හා සම්බන්ධ කර තිබූ විදුලි උපකරණ රැසක්ම පිචිචි ගොස් ඇති බවද බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

බද්දේගම, සන්දරවල පිහිටි පෞද්ගලික දුරකතන සමාගමකට අයත් දුරකතන සම්ප්‍රේෂණ කුළුණකට ඊයේ (15) දහවල් අකුණු සැර වැදී තිබුණ අතර මේ හේතුවෙන් එහි තිබූ සැටලයිට් යන්ත්‍ර කිහිපයක්ම ක්‍රියාවිරහිත වී තිබුණි. එම සැටලයිට් යන්ත්‍ර හා ජෙනරේටර්යක් අලුත් වැඩියා කිරිමට අද (16) පැමිණි ඉංජිනේරුවරයෙකුට අසල්වැසියන් පිරිසක් විරෝධය පල කිරිමෙන් එහි අලුත්වැඩියා කටයුතු කිරිමටද නොහැකි විය. මෙම කුළුණ ආසන්නයේ පිහිටි නිවාස කිහිපයකටම අකුණු සැර වැදී තිබුණ අතර කුළුණ අළුත්වැඩියාවට පැමිණි ඉංජිනේරුවරයාට විරෝධතාවය දක්වමින් අසල්වැසියන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ නිවාස වලට අකුණු සැර වැදුනේ දුරකතන කුළුණ නිසා බවයි. එම නිසා දුරකතන කුළුණ අයත් සමාගම තමන්ගේ නිවෙස්වලට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබාදිය යුතුද ඔවුන් ප්‍රකාශ කළේය. පසුව බද්දේගම පොලීසිය මැදිහත් වී සිද්ධිය සමථයකට පත් කල බව බද්දේගම පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

වර්ෂාවත් සමග ඇති වූ අකුණු සැර වැදීමෙන් ඉමදූව නිවාස 03 ක්, හබරාදූව නිවාස 05 ක්, බද්දේගම නිවාස 09 ක්, ගෝනාපිනුවල නිවාස 03ක්, කරන්දෙණිය නිවාස 03 ක් වශයෙන් එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල නිවාස 23 කට හානි සිදුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

බළපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මාකුඹුර, පාතමුල්ල, ඹවිලාන ප්‍රදේශයේත්, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දංගෙදර, පෙට්ටිගලවත්ත, සංගමිත්තපුර, අබ්දුල් වහාබ් මාවත ආදි ප්‍රදේශයේත් හඹරාදූව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පොල්හේන, අඟුළුගහ, තිත්තගල්ල, ලියනගොඩ, හරුමල්ගොඩ. වැලිකොන්ද ඇළපහල ප්‍රදේශයේත් ඉමදුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඟුළුගහ, රංගොඩ සහ දඩුවන ප්‍රදේශයේත් නිවාස, මාර්ග සහ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවි ඇත. ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මොරගොඩ ඇල පිටාර ගැලිම හේතුවෙන් ගාල්ල කඩවත්සතර කොට්ඨාශයේ ප්‍රදේශ ජලයෙන් යට වි ඇති බවයි. මාදුගග පිටාර ගැලීමෙන් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර කොග්ගල පොල් ඔය පිටාර ගැලීමෙන් හඹරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ. මෙයට අමතරව අම්බලන්ගොඩ, බද්දේගම, වැලිවිටිය දිවිතුර, යක්කලමුල්ල, යන ප්‍රදේශවලද පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. විශේෂයෙන් ගිංගඟ දෙපස, මාදුගග දෙපස, මාදම්පාගග දෙපස සහ පහත්බිම් ප්‍රදේශ වල සිටින ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසත් එම ප්‍රදේශවල හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවත් ආපදා සහන සේවා මධ්‍යස්ථාය දැනුම් දී තිබේ. එම ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව බේරා ගැනිමට සහ සහන සැළසිම වෙනුවෙන් බෝට්ටු හා අඟුල් සූදානම් කර තිබන බවද ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගිංගගේ ජල පෝශක ප්‍රදේශ වන ලංකාගම, නෙළුව, තවලම ආදී ප්‍රදේශවලට තව දුරටත් තද වැසි ඇති විය හැකි බැවින් හදිසි ගංවතුර තත්ත්වයක් සඳහා පූර්ව සූදානමක් ලෙස ආපදා කළමනාකරණ ඒකකය මෙම පියවර ගත් බවත් තවලම ප්‍රදේශයට නාවික හමුදාව හා නෙළුව ප්‍රදේශයට යුද හමුදාව යොමු කිරීමට පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේය. ගාල්ල නගරයේ සිට කරාපිටිය රෝහල වෙත යන ප්‍රධාන පිවිසුම් මාර්ග වන හිරිඹුර හරස් මාර්ගය, බෙලිගහ හන්දිය සහ බද්දේගම මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක්ම වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන බවද ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

ගංවතුර ආපදා තත්ත්වය බල පා ඇති පහත්බිම් වලින් ඉවත්වන ලෙසත් රාත්‍රී කාලයේ ගිං ග‍ඟේ ජල මට්ටම පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද ජනතාවද දැනුම් දී තිබේ. අධික වර්ෂාවත් සමඟ  ගිංගගේ තවලම ජලමාපකයේ ජල මට්ටම අද (16) උදැසන වනවිට මිටර් 4.32 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චාමර යාපාආරච්චි මහතා ප්‍රකාශ කළේය. ජලමට්ටම වැඩිවිමත් සමඟ නෙළුව, තවලම ප්‍රදේශවල ගංවතුර  අවදානම් මට්ටම ආසන්යේම පවතින බවද ඒ මහතා සඳහන් කළේය. තවලම ජලමාපකයේ ජලමට්ටම මිටර් 4.5 ක් දක්වා වැඩිවුවහොත් ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවත් ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් සදහන් කළේය.

එයට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයද නිවේදනයක් නිකුත් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ, බද්දේගම, යක්කලමුල්ල, නෙළුව හා තවලම ප්‍රදේශවල නාය යාමේ අවදානමක් පවතින බැවින් එම ස්ථානයන්හි පදිංචි සියලුම පුද්ගලයන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙසත් දැනුම් දී තිබේ.

බළපිටිය කොට්ඨාශයේ පහත් බිම් ජලයෙන් යට වීම ආරක්ෂා කර ගැනීම සදහා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හා බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් බළපිටිය මාදුගගේ මෝය කට කැපීමත් හබරාදූව කොට්ඨාශයේ පහත් බිම් ජලයෙන් යට වීම ආරක්ෂා කර ගැනීම සදහා හබරාදූව ප්‍රාදේශීය සභාවේ හා හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් කොග්ගල පොල් ඔයේ ජලය මුහුදට ගලායෑම සඳහා එහි මෝය කට කැපීමත් රත්ගම ප්‍රාදේශීය සභාවේ හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මාදම්පාගගේ හා අකුරල කලපුවට අදාල ඇලේ ජලය මුහුදට ගලායෑම සඳහා එහි මෝය කටවල් කැපීමත්  අද (16) දිනයේදී සිදු කළේය.

මෙම නිවාස වලට සිදු වූ අලාභය මෙතෙක් ගනන් බලා නොමැති බවත් එම කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත ගුණසේකර, අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාන් ද සිල්වා, ඉමදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර, හබරාදූව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර, අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිලක යන මහත්වරුන් ඇතුළු බද්දේගම, ඇල්පිටිය, කොස්ගොඩ, හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්, නාවික හා යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු එම හමුදාවල නිලධාරීන් පිරිසක් ආපදාවට ලක් වූවන්ට සහන සැලසීමේ කටයුතු වන නිරතව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *