ගුවන්සේවයට සුදුසුකම් නැති ඥාතීන් දමලා // ජනාධිපති පරීක්ෂණ කොමිසම

ගුවන් නියමු කපිතාන් රුවන් විතානගේ මහතා සාක්ෂි දෙමින් 

ව්‍යාපාර ඥානය කළමනාකරණය විනයානුකූල පරිපාලනය ගුවන් සේවාවේ උන්නතිය සඳහා බෙහෙවින් අවශ්‍ය වුවද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ තනතුරුවලට පත් කළේ ගුවන්සේවා පිළිබඳ දැනුමක් නොමැති පවුලේ ඥාතීන් බව ගුවන් නියමු සංසදයේ සභාපති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමු කපිතාන් රුවන් විතානගේ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙරේදා (13) සාක්ෂි දෙමින් පැවසීය.

ගුවන් සේවාවේ සභාපතිවරයා ලෙස වසර 2008 – 2015 දක්වා ජනාධිපති රාජපක්ෂ මහතාගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා පත් කර තිබුණ බව පැවසූ සාක්ෂිකරු සෙසු ඉහළ තනතුරුවලටත් ඤාතීන් හිතවතුන් පත්කළ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ හැරී ජයවර්ධන මහතා විධායක සභාපති ධුරය දැරූ කාලවකවානුව බව පැවසූ සාක්ෂිකරු මෑතකදී පත්වුන වර්තමාන සභාපති රන්ජිත් ප්‍රනාන්දු මහතා ඉතා හොඳ දැක්මකින් ගුවන් සේවයේ උන්නතිය උදෙසා ක්‍රියාකරගෙන යනබව පෙනීයන්නේ යැයිද කොමිසම ඉදිරියේ තවදුරටත් සාක්කි දෙමින් පැවසීය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු මෙසේ ප්‍රකාශ කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ විමසීම් හමුවේ තවදුරටත් සාක්ෂි දෙමින් සාක්ෂිකරු මෙසේ පැවසීය. පවුලේ ඤාතීන්ට හිතවතුන්ට මිතුරන්ට තනතුරු ලබාදී ගුවන්සේවය පවත්වා‍ෙගන යාමට නොහැකියි. ගුවන් නියමුවකු වුවත් සුරේන් රත්වත්ත මහතා ප්‍රධාන විධායක නිලධාරී ධුරයට නොගැලපෙයි. ශ්‍රී ලංකන් ගුවන්සේවය එය එයාර්ලංකා ලෙස ආරම්භ කරමින් කපිතාන් රකිත වික්‍රමනායක මහතා ඉතා හොඳ පදනමක් ගුවන්සේවයට ලබා දුන්නා. අදටත් ගුවන්සේවය පවතින්නේ ඔහු එදා ඇරඹූ සාර්ථක පදනම යටතේයි ධනාත්මක පදනමකින් ඔහු කටයුතු කළා.

පාඩු ලබා තිබෙන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ උන්නතිය උදෙසා වර්තමානයේ ජාත්‍යන්තර නයිරාස් සංවිධානයේ සහාය ලබා‍ෙගන තිබෙනවා.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරන විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ.ජී. ආර්. අමරසේකර, හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එච්.ඩී.ඒ. හැරල්ඩ් මහත්වරු සහ විගණන ප්‍රධාන සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. ජී.කේ. ගීගනගේ මෙනවියගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂිකරු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *