වනාන්තරයක තනියම බවුන් වඩනා 80 වියැති භික්ෂුණිය // පුරා වසර 45 ක් තිස්සේ

විස්මිත ගල්ලෙනේ ගල් ඇඳවල් ගල් අසුන් 

වල යනු කැලයයි.කැලයක වසර අසුවක් පමණ වන මෙහෙනින් වහන්සේ නමක් ගල්ලෙනක වන සතුන්ගේ කිසිදු කරදරයක් නොමැතිව බවුන් වඩනුනේ ලොව්තුරා බුදු දහම තව තවත් යාවත්තාලිනව මේ ලොව ස්ථාපිත වන බව කියන බුද්ධ කියමන සිහිගන්වමිනි. මැදිම් පෙතිපාදවාටවත් සරදම් කරමින් ඉන් එහාට ගොස් අවම පමණින් දිනකට එක් ආහාරයක් හෝ සමහර දිනකට නොගන්නා මේ භික්ෂිණිය පොදු පහසුකම් වලින් ද අඩුවක් නැත.ගිනි ගහන රස්නය වන වඳුලේ  සිසිලසින් දොවනය කරයි. ශිතල වැස්ස හා මීඳුම ගිත ගත නින්නාද කරයි.පරිසරයේ රසය හැඩය සිතෙහි තැම්පත් කරගෙන බවුන් වඩනා මේ මෙහෙණිය සත්තකින්ම අගනේය. වන සතුන් විෂඝෝර සර්පයන් ඇයට කිසිදු හානියක් හෝ සිදුකරනේ නැත. ඇයගේ ආරක්ෂාව ද නිරතුරුවම සපයන්නේ ද මේ සතා සීපාවාය. එය කොතරම් සුන්දර දැයි අපට සිතේ. මේ දිනයක් පුරා ගත වු ගමනක ගල්ලෙක වසන මෙහෙනියගේ කතාන්දරය සොය ගිය ගමනක අන්දර වැටයි.

මේ අනුව, කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් මහ වන මැද ගල් ගුහාවක දුර්ලභ පිංකමක නිරත වුයේ ඉතා බාධක මැදය.

පුරා වසර 45 ක් තිස්සේ මහ වනාන්තරයේ තනිව ගල් ලෙනක් තුළ අව්වට වියලෙමින් වැස්සට තෙමෙමින් වෙසෙන වයස 80 ක මෙහෙණියක් අපට ඈතින් දැකිය හැකිය.පරිසරිය සුන්දරය. නිරතුරුවම සිලි සිලි ගා හඩින් ගස් අතු ඉති කොල බුදු ගුණ ගායනා කරන්නාක් මෙන් ඒ මේ අත මද සුළගේ සෙළවේ.

කරන්දෙණිය කැකිරිස්කන්ද මහා වනාන්තරයෙන් වටවූ ගල් ලෙනක් තුළ කිසිදු පහසුකමකින් තොරව ජීවත් වන මෙහෙණින් වහන්සේ නමක් පිළිබඳව විස්තරත්  ඇයට සෙවනක් ලබාදීමට කරන්දෙනිය ප්‍රා දේශිය ලේකම්  නිළධාරීන් කටයුතු කරන බවට  අපහට දැනගත හැකි වූයේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් අයි.එස් සමරකෝන් මහතාගෙනි. ලේකම් වරයා ප්‍රමුඛ නිලධාරින් හා  බෞද්ධ කටයුතු සමායෝජක උපුල් ධර්මවර්ධන මහතා අප සමඟ මේ ගමනට එක් වුයේ වන්දනා ගමනකට යන සාධු සිතිනි.

ඒ අනුව එම නිළධාරීන් සමඟ දුෂ්කර ගමණක් ගෙවා එහි යාමට අවස්ථාව උදා විය.  ඇත්ත වශයෙන්ම එම ස්ථානයට ගොඩ වදින  විටම ආශ්ච්‍යර්මත් බවක් පෙනෙන්නට ඇත. මෙම ගල් ලෙන තුළ මීට වසර සිය ගණනකට පෙර කේරළයේ සිට පැමිණි බික්ෂූන් වහන්සේ නමක් භාවනානුයෝගීව වාසය කල බව ගමෙහි වසන  පැරැන්නෝ පවසති. එම භික්ෂූන් වහන්සේ සැතපුනා යැයි සැලකෙන ගල් ආසනයක් එම කුටිය තුළ ඇත. එමෙන්ම යකඩයෙන් තනන ලද ඇඳක් ද ඒ අසල තැන්පත්ව ඇත. ඒ ගැන යමක් පවසන්නට  කිසිවකු නොදනී. එය සදාකාලික අබිරහසකි.

මෙම අපූරු අප්‍රසිද්ධ ගල් ගුහාව පිහිටා ඇත්තේ කරන්දෙණිය කැකිරිය හන්දියේ සිට සේනාධිගම පාරේ කි. මී. 02 ක් පමණ යන විට ගුලනුස්කන්ද ප්‍රදේශයේය. එහි සිට මඳ දුරක් ගිරි දුර්ගයක් පසු කරමින් කැළය මැදින් තරණය කරන විට මෙම ගල් පර්වතය හමුවේ. එය සුවිසල් ගල් පර්වතයකි. ඒ තුළ කිසිදු පහසුකමක් නොමැතිව තනි පංගලමේ අවුරුදු 45 ක් තිස්සේ මෙහෙනින් වහන්සේ නමක් වාසය කිරීමද දැකිය හැකි වුහ. මේ වන විට ඇයගේ වයස අවුරුදු 80 කි.

ප්‍රාදේශීය ලේකම් අයි. එස්.  සමරකෝන් සහ  සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.ටී. ආර්. චන්දිමා යන නිළධාරී මහත්ම මහත්මීන්ගේ  අනුදැනුම මත එම ස්ථානයට සංවර්ධන නිළධාරීන් ඇතුළු  නිළධාරී මහත්ම මහත්මීන් කණ්ඩායමක් සේන්දු වූයේ කාර්මික නිළධාරිණියන් තිදෙනෙකු ද සමගිනි. ඒ  හිස් අතින් නොවේ.  උදළු,අලවංගු කොහු, ඉදල්, ඇතුළු එම ස්ථානයට යමක් සිදු කරන්නට අවශ්‍ය දේ සහ උවමනාව ද සමගිනි.මහා හමුදාවක් දැයි මටසිතේ.ලොකු කුඩා කම් නැත. ඉහළ පහල තනතුරු නැත. සියල්ලෝම එකා මෙන් දුෂ්කර ගමන් මඟ පසුකරන්නේ සාමුහිකවයි.

අප  මහත් වෙහෙසක් දරා කන්ද නැඟ කුටිය තුළට ඇතුළු වන විට මෙහෙනින් වහන්සේ භාවනානුයෝගීව සිටින ආකාරයක් දක්නට ලැබිණ. කෙසේ වුවද උදය දානය හෝ වලඳපු සලකුණක් සෙයක් දැකිය හැකිව තිබුණේ නැත.

කුටිය ඉදිරිපස දිරාගිය ඉටිරෙදි කැබලි කීපයක් එල්ලා ඇත. පහල කොටසේ ඉටිදේදකින් ආවරණය වූ කුස්සියක් වැනි ආවරණයක් තුළ වලං කැබලි කිහිපයකි. එහි ලිපක් තුල දර කැබලි කිහිපයක් තිබූ අතර වැස්සට තෙමී තැන තැන විශාල වලවල් හෑරී තිබුණි. පිරිස ගිය බව දැනගත් මෙම මෙහෙණින් වහන්සේ පැමිණි කාරණය විමසුවාය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් බවත් ඉන්න හිටින්න උයා පිහ ගන්න  තාවකාලිකව හෝ සුදුසු තැනක් පිළියෙල කර දීමට හා වල්බිහිවී ඇති ආරාමය සුද්ද පවිත්‍ර කිරීමට පැමිණි බවත් ග්‍රාම සංවධන නිළධාරී සුමිත් අබේසිංහ මහතා කාරුණිකව පැවසීය.

මේ ඇත්තෝ මම නිසා මහන්සි වෙන්න උවමනා නෑ.මම බලන්න ආපු එකටනම් මම ආශිර්වාද කරනවා. කෑමට එතරම් වැඩි දෙයක් අවශ්‍ය අවශ්‍ය වන්නේ නෑ බතක් හදාගෙන පොල් ටිකක් සමඟ දානය වැළඳිය හැකි ආකාරයට යමක් ලැබුනොත් හොඳයි. මම දානයට වඩා පහසුකම්වලට වඩා ඉලක්කයක් අරමුණක් තියනවා.ඒ ගමන දකින්නට යන්නට තමයි මම මේ භාවනා කරමින් කටයුතු සිදුකරන්නේ…… මට  සැප පහසු දේ අකැප යි…. යැයි,  වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වුවද නිළධාරීන් පිරිස ඉටිරෙදි ආදිය ඉවත් කර දමා වල් බිහිවී කැලයෙන් වැසී තිබූ කුටිය ගල්ලෙන හා අවට පිරිසිදු කළේ කඩි ගුලක් මෙනි.  පසු ව ඒවා ගිනි දමා සකස් කර ඉදිරිපස කුඩා නිවස්නයක් ඉදිකිරීමට කටයුතු කළේ තම තමා දන්නා පිරිස් ද මේ සම්බන්ධයෙන් දුරකතන මගින් දැනුවත් කරමිනි.

ඒ අනුව ගෙපල සකස් කරන විටම දකුණු මාගල ශ්‍රී විජයාරාමාධිපති කරන්දෙණියේ විමලධම්ම හිමියන් ඒ ස්ථානයට පැමිණ අඩුපාඩු විමසා ඉදිකිරීම් වලට අවශ්‍ය ලී දඬු,  පරාල, රීප්ප ආදී සියල්ල ලබා දුන් අතර ජනතාව දැනුවත් කර වහල සෙවිලි කිරීමට අවශ්‍ය ටකරන් ද ලබා දුන්නේය.

ඉන් නොනැවතුන උන් වහන්සේ සියළුම දෙනාට දිවා ආහාරය අතුරුපස , තේ ඇතුළු සියල්ල රැඟෙන නැවත් පැමිණියේ බුද්ධ පුත්‍රයෙකුගේ කාර්යභාරයට නව අගයක් එක් කරමිනි.

මෙහිදී පිරිසිදු කිරීම් කිරීමට යාමේදී සංවර්ධන නිළධාරියෙකු ගල් කුලෙන් වැටීම නිසා ප්‍රතිකාර කිරීමට යැවීමට ද නිළධාරීන්ට සිදු විය.

කෙසේ වුවද පුරා දවසක් ගත වන විට ලැබුණ සම්පත් උපයෝගී කර ගනිමින් අලංකාර කුඩා නිවසක් ඉදිකර දීමට නිළධාරීන් සමත් විය. මේ සියල්ල ප්‍රවාහනය කර දීමට කාර්යාලයේ මානව සම්පත් නිළධාරී කටයුතු කිරීම මහත් සහනයක් විය. වැඩ කරගෙනයාමට ඉනිමගක් හෝ නොමැති අතර නිළධාරීන් එකා පිට එකා නැගී අපූරු ඉනිමගක් සකසා ගත්හ. ඔවුන් පැමිණියේ මුළු දවසම ඩා බිඳු හෙලා  වහල ද සෙවිලි කර වටේ ආවරණයද සකසා පරිසරය පිරිසිදුකර  කුටිය අස්පරස් කර දීමෙන් අනතුරුව කෙසේ හෝ මෙම ස්ථානය බැතිමතුන්ට වැඳ පුදා ගැනීමටත් මෙහෙනින් වහන්සේට  නිදහසේ කටයුතු කිරීමටත් සුදුසු පරිදි දානපතියන් මගින් හෝ පිළියමක් යෙදීමේ දැඩි අධිෂ්ඨානයෙනි.

ඇතැම් වෙහෙර විහාරස්ථානවලට අඩු නැතිව සියළු පහසුකම් ලැබුනද මෙවැනි දුර්ලභ තැන්වලට දානපතියන්ගේ නෙත ගැටෙනුයේ කලාතුරකිනි. මෙම ස්ථානයට අවශ්‍ය දේ බොහෝය. අවම වශයෙන් මෙහෙනින් වහන්සේට වැසිකිළි කැසිකිළි  පහසුකම් සඳහා වැසිකිළියක්වත්  හෝ නොමැති තරම්ය. එමෙන්ම කුටිය තුලද කිසිදු පහසුකමක් නැත. පැරණි බෞද්ධ පොත් පත් වේයන් කා දමා තිබිණ. මෙම සියල්ල සම්පූර්ණ කර මෙය මෙහෙනි අරණක් ලෙස පිළියෙල කර ජනතාවට වැඳුම් පිදුම් කල හැකි පරිදි සකසා දෙන්නේ නම් බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා දානපතියන් විසින් කරන පිං කටයුත්තකි. කැපී පෙනෙන්නට පිං දහම් කිරීමට වඩා මෙවැනි ස්ථානයක් ගොඩනැගීම විශාල පිංකමක් බව පැවසිය යුතුව ඇත.

කෙසේ වුවද මෙම පුවත ආවරණය කිරීමට ගිය අපහට දානපතියකු පැවසූවේ ගොඩනැගිල්ලක් සඳහා අවශ්‍ය උළුවහු, ජනෙල්, වහලට අවශ්‍ය සියළු දේ දිය හැකි බවයි. එම පුද්ගලයා ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජකගේ දුරකථන අංක 0776226587 දුරකතනයට සම්බන්ධ කර ආපසු පැමිණියෙමි.

ඒ අමතුම කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා මේ ගැන දැන ඔහුගේ අනුදැනුම මත දානපතියකු විසින් ලබාදුන් බව බව පසුව දැන ගතිමි. කෙසේ වුවද මෙම පුන්‍ය කටයුත්ත ඉටු කිරීමට අපට හැකි වුහ.

වනය වන ද වඳුල ද නිසසලය.සතර දෙසින් සතර වටින් මිහිදුම් තිරපට අහසපුරා විකසිත වේ. සාධු හඩ සමඟින් අහස ද පොළව ද ගස්වැල් සතා සී පාවා ද නිසලය.නිමේසයකින් සියලුම නොපෙනි යයි අනිත්‍ය බව සඟවමින් කෑලි කපන ඝණ අන්දකාරය වනය පුරා සිය අනසක ප්‍රකාශ කරණු  ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *