මහර සිදුවීමට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තුවේ වගකිව යුත්තෙක් නැතිවෙයි

මහර බන්ධනාගරයේ මතු වී ඇති කැරලිකාරී තත්වයක් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන ලදැයි පැවසෙන වෙඩිතැබීම් හේතුවෙන් සිරකරුවන් ගණනාවක් ඝාතනය වීමේ හා තුවාල ලැබීමේ සිදුවීම ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

ඊයේ (29) දින මහර බන්ධනාගරයේ මතු වී ඇති කැරලිකාරී තත්වයක් මැඩලීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන ලදැයි පැවසෙන වෙඩිතැබීම් හේතුවෙන් සිරකරුවන් 10කට ආසන්න පිරිසක් ඝාතනය වී ඇති බවටත් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවටත් වාර්තා වෙනවා. එසේම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාමේ ඉඩකඩක් ඇති බවටත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සිදුවීම බන්ධනාගාරයේ දොරටුව බිඳ පලා යාමට කරන ලද උත්සාහයකදී ඇති වූ සිද්ධියක් ලෙස ඇතැම් වාර්තා පළ වූවද මෙම කරුණේ සත්‍ය අසත්‍යතාව නිසි පරීක්ෂාවකින් තොරව පැවසිය නොහැකියි.

පසුගිය කාලය පුරාම සිරකරුවන් අතර ආතතිකාරී තත්වයක් ඇතිවී වී තිබුණා. ඒ, බන්ධනාගාරවල කොවිඩ් – 19 රෝගී තත්වය ව්‍යාප්ත වීමත් සමගයි. මේ වනවිට බන්ධනාගාර කොවිඩ් පොකුර 1000 ඉක්මවනවා. 2020 අගෝස්තු වනවිට ආණ්ඩුවේම සංඛ්‍යාලේඛන අනුව බන්ධනාගාරවල සිරකරුවන්ගේ තදබදය 250%ට ආසන්නයි. බන්ධනාගාරවල සිරකරුවන් 11,762ක් සිටිය යුතු වුවත් දැනට ඒවායේ 28,750ක පිරිසක් රඳවනු ලැබ තිබෙනවා. මෙයින් 20,000ක් පමණ පිරිසක් රිමාන්ඞ් සිරකරුවන් බවද පැවසෙනවා.

කොවිඩ් – 19 රෝගී තත්වය ව්‍යාප්ත වන ප‍්‍රධාන ආකාරයක් වන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කිරීමයි. ඒ අනුව බලන විට 250%ක් තදබද වීම විසින් බන්ධනාගාරයන්හි කොවිඩ් තත්වය තුළ පවත්වා ගත යුතු දුරස්ථභාවය අර්ථ විරහිත වන බව පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ අනුව එක් රැඳවියෙක් සඳහා අවම වශයෙන් වර්ග මීටර් 02ක ඉඩ පහසුකමක් අවශ්‍ය වනවා. නමුත් පවතින ඉලක්කම් අපට පෙන්වා දෙන්නේ, කොවිඩ් වැනි රෝගී තත්වයක් පවතිද්දී පමණක් නොව සාමාන්‍ය තත්වයට පවා සිරකරුවන්ට අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීමට පවතින බන්ධනාගාර පද්ධතිය අසමත් බවයි.

එම ඍජු බලපෑමට අමතරව කොවිඩ් තත්වය විසින් රිමාන්ඩ් සිරකරුවන්ගේ නඩු කටයුතු ප‍්‍රමාද කරවා තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ වී අමතර කාලයක් බන්ධනාගාර ගතව සිටීමට සිදුව තිබෙනවා. මෙයද රිමාන්ඩ් සිරකරුවන් අතර බරපතළ අසහනකාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා.

1875 බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදි කරන ලද මහර බන්ධනාගාරයද වර්තමාන සිරකරු සංඛ්‍යාවට ප‍්‍රමාණවත් නොවන බවට සැකයක් නැහැ. බන්ධනාගාර තුළින් කොවිඩ් රෝගීන් වාර්තා වන්නට පටන් ගැනීමත් සමග මහර බන්ධනාගාරයෙන්ද රෝගීන් වාර්තා වූ අතර එක් රැඳවියෙක් පසුගිය 22වැනිදා රෝගී තත්වය හේතුවෙන් මරණයටද පත් වුණා. 200ක් 300ක් පමණ පිරිසකට එක ශාලාවක තදබදව සිටීමට බලකෙරී ඇති තත්වයක් තුළ සහ පොදු වැසිකිළි පාවිච්චි කිරීමට සිදුව ඇති තත්වයක් තුළ කොවිඩ් වැනි රෝගයක් පහසුවෙන් ව්‍යාප්ත වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

පසුගිය 29 වැනි දින සිරකරුවන් 183දෙනෙක් ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා ලැබීමත් සමග බන්ධනාගාරය තුළ බලවත් කැලඹිලිකාරී ස්වභාවයක් ඇති වූ බවත් රැඳවියන්ගේ නිවෙස්වලින් පිරිස්ද විශාල ලෙස එහි පැමිණි බවත් වාර්තා වුණා. මේ අනුව තමන්ගේද PCR පරීක්ෂණ සිදුකරන ලෙසට හා රෝගයෙන් බේරී සිටීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට සිරකරුවන්ගෙන් බලවත් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් මෙම තත්වයට නිසි විසඳුම් නොලැබීම යම් කලහකාරිත්වයකට මුල පුරන්නට ඇති බවට සැක කළ හැකියි. මෙවැනි තත්වයකදී රජයේ ආරක්ෂාව භාරයේ සිටින සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කර විසඳුම් සෙවීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්වයක් ඇති කරනවා.

මේ තත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. සිරකරුවන් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරනු ලබන්නේද? එහි ප‍්‍රතිඵල මෙම සභාව හමුවේ තබන්නේද?

02. සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහාත් ගනු ලැබ ඇති පියවර කවරේද?

03. මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී සිදුවීමට බලපෑ කරුණු ආණ්ඩුව විසින් හඳුනාගනු ලැබ තිබේද? ඒවා මොනවාද?

04. එම සිදුවීම්වලට තුඩු දුන් හේතුවලට විසඳුම් ලබාදීමට අනුගමනය කරන කරන ක‍්‍රමවේදය කුමක්ද?

05. සිරකරුවන්ගේ PCR පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමට අදාළ ක‍්‍රමවේදය කුමක්ද?

06. බන්ධනාගාර තුළ කොවිඩ් – 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීමට අදාළ වැඩපිළිවෙළ කුමක්ද?

07. බන්ධනාගාර තදබදය වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද? ඒ සඳහා වන කාලරාමුව කුමක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *