ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් සහ නිලධාරීන් 239 ගේ PCR පරීක්ෂණ වාර්තා ගැටළුවක් නැහැ

කොරෝනා ආසාධිතයෙකුද යන්න දැන ගැනීම සදහා පී සී ආර් පරීක්ෂණයට භාජනය කරන ලද ගාල්ල බන්ධනාගාරයේ රැදවියන්ට හා නිලධාරීන්ට වෛරසය වැලදී නැති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කාර්යාලය කියයි.

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 207 දෙනෙකු සහ නිලධාරීන් 32 දෙදෙනෙක් පසුගිය 26 සහ 27 දෙදින තුල පී සී ආර් පරීක්ෂණයට භාජනය කර තිබේ. ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත ඇති වූ සැකය හේතුවෙන් ඒ බැව් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ කාර්යාලයට දන්වා මෙම පිරිස පී සී ආර් පරීක්ෂණයට භාජනය කිරීමට කටයුතු කරන ලද බව ගාල්ල බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු සදහන් කළේය.

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් සහ නිලධාරීන් 239 දෙනාගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ඊයේ (28) දිනයේදී නිකුත් කරන ලද බවත් ඔවුන් 239 දෙනාගෙන් කිසිවෙකුටත් වෛරසය වැලදී නොතිබූ බවත්  ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා සදහන් කළේය.

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් 107 දෙනෙක්ද ඊයේ (28) දින පී සී ආර් පරීක්ෂණයට භාජනය කල බවත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා හෙට (30) දිනයේදී නිකුත් කිරීමට නියමිත බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. වෙනත් බන්ධනාගාර වලින් රැදවියන් පසුගිය සතිය මුළුල්ලේ බූස්ස බන්ධනාගාරයට රැගෙන විත් තිබෙන බැවින් සෞඛ්‍යය ආරක්ෂිත පියවරක් ලෙස මෙසේ බූස්ස බන්ධනාගාරයේ පිරිසක් පී සී ආර් පරීක්ෂණයට භාජනය කරන ලද බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටියදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලද රැදවියා මේ වන විට මාදුරුඔය නිරෝධායන මධ්‍යස්ථානයට මාරුකර යැවීමටද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ කාර්යාලය කටයුතු කර තිබේ.

කාලගුණික තත්ත්වය හා සෘතු වෙනස් වීම කොරෝනා වෛරසයට බල නොපාන බැවින් තව දුරටත් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසද ලෝක සෞඛ්‍යය සංවිධානය උපදෙස් ලබා දී තිබේ. කාලගුණික තත්ත්වය හා සෘතු වෙනස් වීම උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වලට බලපාන නමුත් කොරෝනා වෛරසයට එය බල නොපාන බවද ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිකුත් කරන ලද උපදෙස් වල වැඩි දුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *