ජනපතිට භාරකාර ආණ්ඩු හදන්න සදාචාරාත්මක අයිතියක් නැහැ

රත්ගම එජාප ප්‍රධාන සංවිධායක සංජීව් කරුණාතිලක

ජනවාරි අට (08) වැනිදා රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිප බලය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති කොට රට පාලනය කිරීමට මිස භාරකාර ආණ්ඩු හදන්න නොවන බවත් එසේ භාරකාර ආණ්ඩු හදන්න ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් දකුණු පළාත් සභා මන්ත්‍රී රත්ගම එජාප ප්‍රධාන සංවිධායක සංජීව් කරුණාතිලක මහතා අද (11) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ රත්ගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන රැස්වීම් මාලාවට එක්වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සංජීව කරුණාතිලක මහතා මෙසේද කීය.

භාරකාර ආණ්ඩු හදන්න ඕන නම් ජනවාරි 08 විප්ලවයේ තේරුමක් නෑ. අවුරුදු විස්සක්  දුක් විදපු යූඑන්පී අයට සියයට සියයක් සාධාරණය තවම ඉටු වුණේ නෑ. මහින්ද මහත්තයා බලයට ගන්න දගලපු අය එතුමගේ පරාජයෙන් පස්සෙ අපි හදපු ජනාධිපතිගේ කරේ එල්ලිලා වරදාන වරප්‍රසාද  භුක්ති විඳිමින් ජනතා අපේක්ෂාවන්  බිල්ලට දුන්නා. අද අපේ ආණ්ඩුවක් නෑ වගේ වෙලා.

සභාග ආණ්ඩු භාරකාර ආණ්ඩු අපිට අවශ්‍ය නැහැ. ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා හදපු යහපාලන ආණ්ඩුවට රට පාලනය කරන්න ජනතාව අවුරුදු පහක් බලය දීලා තියෙන්නේ. කුමනත්‍රණ වලින් ආණ්ඩු පෙරළන්න දවල් හීන දකින්න එපා. ලෝකයේ භාරකාර ආණ්ඩු හැදුනෙ ඒ රටවල් යටත් විජිත වශයෙන් සිටියදී. එහෙම නැත්නම් හමුදා පාලනයකින් බලය ඇල්ලුවහම. එහෙමත් නැතිනම් පාලනය කර ගත නොහැකි මහජන කැළඹිල ඇති උනහම. එහෙම නැතුව හිතෙන හිතෙන වෙලාවට භාර කාර ආණ්ඩු හදන්න බැහැ. ඒ කතාව හොදයි දේශපාලන ජෝකර්ලට. එහෙම කුමන්ත්‍රණයකට දැගළුවොත් අපි තනි යූඑන් පී ආණ්ඩුවක් හදනව, හදනවමයි. කන්න ඕන වුණහම කබරා ගොයා තලගොයා කරන්න හදන  බලකොලොත් දේශපාලනඥයන්ගෙන් රට මුදා ගත යුතුයි.

ප්‍රපත්තිගරුක මහත්මා දේශපාලනයක්  තුළින් අවශ්‍ය නම් 2020 දි  මහ මැතිවරණයකින් බලය ලබා ගන්න ඕන කෙනෙකුට අවස්ථාව තිබෙනවා. ඒකට අවශ්‍ය ජාත්‍යන්තරවාදි වට පිටාව අපි නිර්මාණය කරල ඉවරයි.

මේ අවස්ථාවට රත්ගම ප්‍රාදේශීය සභාවේ සහ හික්කඩුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *