ඡන්දය ලැබෙයි. මනාපය (නො) ලැබෙයි

ඡන්දය ලැබෙයි. මනාපය (නො) ලැබෙයි

ගම්පහ තත්ත්ව විමසුමක්

කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යන අතරේ ඊට නොදෙවෙනි ආකාරයට මැතිවරණ උණුසුම ද ඉහළ යමින් පවතිනවා. පක්‍ෂයට ඡන්ද එකතු කිරීම මේ වනවිට එම පක්‍ෂවල නායකයින්ට පමණක් සීමාවී ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ. අපේක්‍ෂකයින් සියලු දෙනාම පාහේ ඡන්දයට වඩා මනාපය ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. මෙවන් වටපිටාවක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනස්කම් රැසක් සිදුවන තත්ත්වයකුයි මේ වනවිට නිර්මාණය වී ඇත්තේ. කෙසේ වුවද පවත්නා ක්‍රමය යටතේ ඡන්ද දායකයා මනාප ඡන්ද සලකුණු කිරීමේ අඩුවක් සිදුවිය හැකි බවට මේ වනවිට පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා.

පසුගිය දින කිහිපයේම තැපැල් ඡන්ද සළකුණු කිරීම සාර්ථකව සිදුවුණා. මේ සම්බන්ධයෙන් Lanka ABC News කළ සොයා බැලීමකදී හෙළිවූයේ සැළකිය යුතු පිරිසක් මනාප සළකුණු කර නොමැති තත්ත්වයකුයි. මෙය නිල ප්‍රකාශයක් නොවුන ද තත්ත්වය විමර්ශනය කිරීමේ දී දැකගත හැකි වන්නේ මෙවැනි වටපිටාවක්. ඊට හොඳම උදාහරණය වන්නේ මීරිගම ප්‍රදේශයේ එක්තරා පාසලක ගුරුවරුන්ගෙන් 90% ම තැපැල් ඡන්දය ප්‍රකාශ කළ ද ඒ අතුරින් 50% ට වැඩි පරිසක් මනාප සළකුණු කර නොතිබීමයි. වාර්තා වන ආකාරයට මේ සඳහා බලපා ඇත්තේ වෙනදා මෙන් අපේක්‍ෂකයින්ගේ මනාප අංක නිතර ඇස නොගැටීම හා ඇසෙන තත්ත්වයේ අඩුවක් පැවතීමයි. පවත්නා මැතිවරණ නීති ඒ කෙරෙහි තදින්ම බලපා ඇති බව කරුණු විමසීමේ දී හෙළිවනවා. අපේක්‍ෂකයින් කෙරෙහි විශ්වාසයක් නැතිකමද මනාප සළකුණු කිරීම අඩුවීමට තවත් හේතුවක් බවයි අප කළ අධ්‍යයනයේ දී පැහැදිලි වුණේ. මනාප සලකුණු කිරීම එවැනි තත්ත්වයක පවතිද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප පොරයේ අඩුවක් නම් කිසිලෙසකින්වත් දැකගත නොහැකියි.

ආණ්ඩු පිහිටුවීමට හෝ බිඳ දැමීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් පැහැදිලියි. විශේෂයෙන් වාමවාදී ආණ්ඩුවක් පිහිටුවීමට නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම කණ්ඩායම සැළකිය යුතු ප්‍රතිඵලයක් අත්කරගත යුතු වනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති පසුගිය මහ මැතිවරණ 7 තුළදීම ප්‍රධාන පක්‍ෂ දෙක ගම්පහ දිස්ත්‍රික්කය ජය ගැනීමට දරණ උත්සාහයෙන් ඒ බව පැහැදිලියි.

ගම්පහ ඇති ආසන 13 න් සියලු ආසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා තත්ත්වයක් මේ වනවිට පවතිනවා. මේ ක්‍රමය යටතේ දිස්ත්‍රික්කයටම වග කියන නියෝජිතයන් පත්වුවද එහෙත් ඇතැම් ආසනවලින් පොහොට්ටුවට මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට හැකිවේද යන්න සැක සහිතයි. ඒ ඒ ආසනවල මේ වනවිට පවත්නා තත්ත්වය විමර්ශනය කිරීමෙන් ඉහත කරුණ සනාථ කරගත හැකි වනවා. උදාහරණයක් ලෙස ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ පදිංචි පොහොට්ටුවේ අපේක්‍ෂකයා වන ලක්‍ෂ්මන් ගුණවර්ධන සිය ඡන්ද පදනම මෙතෙක් ගොඩනගාගෙන තිබෙන්නේ ද යන්න සැක සහිතයි. ඔහු ගම්පහ මහ නගර සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ද නගරාධිපති එරංග සේනානායකටත් වඩා අඩු මනාප ගත් අයෙක්. පළාත් සභාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගත්තද ලක්‍ෂ්මන්ට ගම්පහ මැතිවරණ කොට්ඨාසයට දැනෙන සේවයක් කිරීමට නොහැකිවූ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 151,000 ට අධික සංඛ්‍යාවක් පැවතින අතර එයින් අති බහුතරය පොහොට්ටුවට හිමිවන බව රහසක් නොවේ. සමානුපාතික ඡන්ද ක්‍රමය පැමිණිදා සිට 1989 මහ මැතිවරණය හැර කිසිදු මහ මැතිවරණයක දී ගම්පහ ආසනය ජය ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට නොහැකිවීමෙන් ඒ බව තහවුරුයි. එමෙන්ම 2010 මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ ආසනයේ 69.56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමෙන්ම වමේ ශක්තිය පැහැදිලියි. එවැනි වාසිදායක තත්ත්වයක් ගම්පහ ආසනයේ පැවතිය ද පොහොට්ටුවේ ගම්පහ අපේක්‍ෂකයාට දියවන්නාව තරණය කළ හැකිදැයි ප්‍රබල සැකයක් පවතිනවා. මේ බව දන්නා සෙසු අපේක්‍ෂකයින් 20 දෙනාම ගම්පහට රිංගා මනාප එකතුකර ගැනීමේ සටනක නිරත වනවා. ඒ අනුව ගම්පහ ඇත්තේ මනාප වෙන්දේසියක් බව ප්‍රකාශ කළ හැකියි. ගම්පහ මැතිවරණ කොට්ඨාසයෙන් ඉදිරිපත්වන මීළඟ ප්‍රධාන අපේක්‍ෂකයා වන්නේ මෙවර දුරකතනය ලකුණෙන් සමගි ජන බලවේගයෙන් තරගයට ආ අජිත් මාන්නප්පෙරුමයි. ඔහුද පසුගිය කාලයේ පැහැදිලි මහජන සේවාවක් ඉටු නොකළ බැවින් ජනප්‍රසාදය අඩු කර ගත් අයෙක්. ඒ අනුව ඔහුගේ ජයග්‍රහණයද අභියෝගයක් වී තිබෙනවා. මෙවන් වටපිටාවක් තුළ ගම්පහ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකෙන්ම මහජන නියෝජිතයෙකු පත්වීම සිහිනයක් වෙමින් පවතිනවා. එය ගම්පහට මහත් ගැටලුවක් විය හැකියි.

ඡන්ද එක්ලක්ෂ තිස්පන්දහස් හයසිය දහඅටක් තිබෙන අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහිවූ දිනයේ සිටම වාමාංශික බලකොටුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහ මැතිවරණ හතේදීම අත්තනගල්ල ජයග්‍රහණය කළේ මෙම වාමාංශික කදවුරයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාසයකින් යම් පක්ෂයක් ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ නම් ඒ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයෙන්. එකී වාර්තාව බිහිවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය 70.15% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් 2010 මහ මැතිවරණයයි. මෙවර ඡන්ද සටනට පොහොට්ටුවෙන් අත්තනගල්ලේ නියෝජිතයන් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා. එම දෙදෙනාම දිස්ත්‍රික්කය පුරා ඡන්ද පවතින ප්‍රබල චරිත නොවන බැවින් ඔවුන්ට ජයග්‍රහණය ප්‍රබල අභියෝගයක්. දුරකතනයෙන් හෝ අලියා ලකුණින් අත්තනගල්ලේ ප්‍රබලයන් කිසිවෙකුත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව නැති බැවින් ගම්පහ මැතිවරණ කොට්ඨාසයට අත්වන ඉරනමම අත්තනගල්ලට ද අත් වන තත්ත්වයකුයි පවතින්නේ.

අපගේ විමර්ශනයට ලක්වන මීළග මැතිවරණ කොට්ඨාසය වන්නේ දොම්පේ. ඡන්ද එක්ලක්ෂ දාහත්දහසකට අධික සංඛ්‍යාවක් තිබෙන දොම්පේ පදිංචි තුන්දෙනෙකු පොහොට්ටුවෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. ඒ අතුරින් ඩුලිප් විජේසේකරට පමණක් යම් ඡන්ද පදනමක් පවතින බව පැහැදිලියි. මිලාන් ජයතිලක හා වර්නන් ගුණරත්න සෙසු දෙදෙනායි. දොම්පේ පදිංචිව සිටියද බියගම සංවිධායකවරයා වන බැවින් ඩුලිප්ට ආසන දෙකක වාසිය හිමිවනවා. එම වාසිය තුළින්ම මහ මැතිවරණය ජය ගැනීම ඔහුට පහසුයි. ඩුලිප් ජයග්‍රහණය කළද ඔහු නියෝජනය කරන්නේ බියගම වන බැවින් දොම්පෙට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු පත්විය හැකිදැයි සැකයක් පවතිනවා. කෙසේවුවද දොම්පේ පාරම්පරික දේශපාලනයෙන් පැවත එන, මෙවර දුරකතනයෙන් තරගවදින හර්ෂණ රාජකරුණාට දියවන්නාව තරණය කිරීම සදහා අවස්ථාවක් හිමි විය හැකියි. ඊට හේතුව වන්නේ ඔහුගේ පාරම්පරික දේශපාලනය පමණක් නොව පසුගිය යහපාලන කාලයේදී දොම්පෙට කළ සේවාව හේතුවෙනුයි. තරුණයෙකු ලෙස රන්ජන් රාමනායකට අමතරව ගම්පහ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හර්ෂණ රාජකරුණා මේ වන විට සමත්ව සිටිනවා. අත්තනගල්ලට මෙන්ම දොම්පෙට ද මහජන නියෝජිතයන් තම ගම් ප්‍රදේශයෙන් බිහි කර ගැනීමට අපහසුවන තවත් හේතුවක් වන්නේ භූගෝලීය පිහිටීමයි. මෙම ආසන දෙකම එක් පැත්තකින් කෑගල්ල දිස්ත්‍රික්කයට මායිම් වනවා. ඒ නිසාම මෙම මැතිවරණ කොට්ඨාසවලින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට තම ප්‍රදේශයේ එක් පැත්තක් මුළුමනින්ම අමතක කර දැමීමටයි සිදුව තිබෙන්නේ. මේවායින් ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රබල චරිත නොවන බැවින් මෙකී භූගෝලීය සාධකය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රබල ලෙස බලපානු ඇති.

තමන්ගේ දුකට සැපට සිටින මහජන නියෝජිතයෙකු තමා උපන් ගම්ප්‍රදේශයෙන් පත්කර ගැනීමට නොහැකිවන තවත් පිරිසක් සිටින්නේ මීරිගම මැතිවරණ කොට්ඨාසයේයි. කරූ ජයසූරිය මහතාගෙන් පසුව මීරිගමට මහජන නියෝජිතයෙකු අහිමි වුණා. වසන්ත සේනානායක මීරිගම අත්හැර ගියා. ගම්පහ මෙන්ම මීරිගම ද මනාප වෙන්දේසියක් පවතිනවා. ඉන්දික අනුරුද්ධ/ නිමල් ලාන්සා/ ප්‍රසන්න රණවීර/ යන බොහෝ දෙනා මීරිගමට රිංගා ගනිමින් තම මනාප ගොඩ වැඩිකර ගැනීමේ තියුණු සටනක මේ වන විට නිරත වනවා. මීට අමතරව අසළ මැතිවරණ කොට්ඨාසවලින් මීරිගමට පැමිණෙන අපේක්ෂකයන් පිරිස ද දිනෙන්දින ඉහළ යමින් පවතිනවා.

මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප සටනේ පෙරමුණේම සිටින්නේ කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග බව කිසිවෙකුටත් රහසක් නොවේ. ඔහු ගියවර ලබා ගත් මනාප තුන්ලක්ෂ අසූහතර දහස් හාරසිය හතලිස් අට ඉක්මවා යමින් මෙවර ජයග්‍රහණයක් වාර්තාකරනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ගම්පහ මෙම මනාප සටනේ වඩාත්ම වාසිදායක අපේක්ෂකයා වන්නේ නිමල් ලාන්සායි. මීගමුවේ සිට වත්තල දක්වා මැතිවරණ කොට්ඨාස 4ක පැහැදිලි වාසිය ඔහු සතුව පවතිනවා. එමෙන්ම ප්‍රසන්න රණවීරට ද දිස්ත්‍රික්කය පුරා මනාප පවතින බැවින් ඔහුට ද විශාල වාසියක් පවතිනවා. එමෙන්ම බොහෝ දිලිදු පවුල්වල ආකර්ණය දිනා ගැනීමට ඔහු මේ වන විටත් සමත්. ඉන්දික අනුරුද්ධ ද මෙවර මහමැතිවරණයේ පෙරමුණට ආ තරුණ අපේක්ෂකයෙක්. ඔහුට ද දිස්ත්‍රික්කය තුළ හොද අවස්ථාවක් පවතිනවා. විශේෂයෙන් දිවුලපිටිය, කටාන හා මීරිගම ඔහුට වාසිදායක තත්ත්වයකුයි පවතින්නේ.

මෙවර කතෝලික කලාපයේ පොහොට්ටුවේ ප්‍රමුඛයා කවුද මේ සදහා නිමල් ලාන්සා ඉහලින්ම සුදුසුකම් සපුරා ඇත ඒ ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිටි ස්ථාවරය නිසාය එදා පාර්ලිමේන්තුවේ දැඩිව සටන් කල මන්ත්‍රීවරයා නිමල් ලාන්සා ඔහු ගම්පහ කතෝලික කලාපයේ ජනතා ප්‍රසාදය ඉහලින් තබා ගැනීමට සමත්ව ඇත අනෙකුත් සියලු අපේක්ෂකයන් අභිබවා නිමල් ලාන්සා පෙරමුණ ගැනීම අරම්බහයෙදී මන්දගාමී වුවද මැතිවරණයේ අවසන් සති දෙක තුල නිමල් ලන්සා හොද ජවයකින් තරගයේ පෙරමුණ ගෙන ඇත මේ සියලු කරනා ගෙන බැලීමේදී නිමල් ලාන්ස කතෝලික කලාපයෙන් ලබාගන්නා ඉහල මනාපයේ අවසන් ප්‍රථිපලය තුල ගම්පහ පොහොට්ටුවේ දෙවැනි ස්ථානය වෙත පියනැගීම අපහසුවකින් තොරව සිදුකර ගත හැකිය.මීගමුව සහ වත්තල ආසන දෙකම එක ලෙස මෙහෙයවන ලන්සා තරගයේ වාසිය හරවා ගෙන ඇත

දුරකතනයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් අතුරින් රන්ජන් රාමනායක මෙවරද ඉදිරියෙන් සිටින තත්ත්වයකුයි මැතිවරණ සටන ආරම්භයේදී පෙන්නුම් කෙරුණේ. ඔහුට හොද සටනක් දීමට හර්ෂණ රාජකරුණා හා එච්වඩ් ගුණසේකර සමත්ව සිටිනවා. මේ අනුව ගම්පහ දුරකතනයේ මනාප ලැයිස්තුවේ මුල් අපේක්ෂකයන් හතර පස් දෙනා අතර පවතින්නේ ඉතා සියුම් වෙනසක් බවයි තත්ත්වය විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ.

මෙවන් දේශපාලන වටපිටාවක් තුළ තුනෙන් දෙකේ බහුතර බලයක් සහිත රජයක් පිහිටුවීම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගන්නා උත්සාහයට හොද සහායක් ලබා දීමට කණ්ඩායම් නායකයා ලෙස ප්‍රසන්න රණතුංග මහත් පරිශ්‍රමයක් දරනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රිධුර 18 න් 13 ක් හිමිකර ගැනීම ඔහුගේ ඉලක්කයයි. ප්‍රසන්නගේ විධිමත් මැතිවරණ මෙහෙයුම් යාන්ත්‍රණය හේතුවෙන් 13 කෙසේ වුවද ඊට ආසන්න ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකි තත්ත්වයකුයි පවතින්නේ.

     2010 මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 12 ක් ජයග්‍රහණය කළ බැවින් මෙවර ද එම ප්‍රතිඵලය ලැබුණේ යැයි අපි සිතමු. එසේ නම් ඉතිරි මන්ත්‍රී ධුර 6 බෙදී යන්නේ කෙසේදැයි ගැටලුවකි. අප කළ විමර්ශනය තුළින් ඊට පිළිතුරු ලැබුණි. ඒ අනුව දුරකතනයට මන්ත්‍රී ධුර 4 ක් අලියාට මන්ත්‍රී ධුර 1 හෝ 2 ක් මෙන්ම කොඩියට (අපේ ජන බල පක්‍ෂය) එක් මන්ත්‍රී ධුරයක් හිමිවන තත්ත්වයකුයි පවතින්නේ. ඒ බව පෙන්නුම් කෙරෙන සාධක අප සතුව පවතී.

2015 මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂෙයන් ජයග්‍රහණය කළ 9 දෙනාගෙන් 6 දෙනෙකුම මෙවර ඉදිරිපත් වන්නේ සමගි ජන බලවේගය හෙවත් දුරකතනයෙනි. එම කරුණ මත පදනම්ව බැලුව ද ඔවුන්ගෙන් මෙවර වැඩි වාසිය දුරකතනයට බව පැහැදිලිය. ගියවර එක්සත් ජාතික පක්‍ෂෙයන් වැඩිම මනාප (216,463) ලබාගත් රංජන් රාමනායක මෙවර ඉදිරිපත් වන්නේ දුරකතනයෙනි. එයද දුරකතනයට වාසියකි. මනාප 83,070 ක් 2015 දී ලබාගත් ජෝන් අමරතුංග මෙවර තරගබිමේ නොමැත. එය ද අලියාට අවාසියකි. එම මහ මැතිවරණයේ දී මනාප 165,890 ක් ලබාගත් අර්ජුණ රණතුංග හා මනාප 157,932 ක් ලබාගත් රුවන් විජේවර්ධන මෙවර ද අලියා ලකුණෙන් ඉදිරිපත්ව සිටී. එහෙත් ඔවුන්ට කෙතෙක් දුරට තමන්ගේ තැන රැක ගැනීමට හැකිවේද යන්න සැක සහිතය. එම සැකය මතු කිරීමට ආසන්නම හේතුව වන්නේ මේ දෙදෙනා අතුරින් එක් අපේක්‍ෂකයෙකු මෙවර මහ මැතිවරණය ගැන මෙවර කළ සමීක්‍ෂණයේ දී ඔවුන් දෙදෙනාම අසාර්ථක වී ඇති බව තහවුරු වීමයි. Lanka ABC News වෙත වාර්තාවන අන්දමට ගියවර මනාප 55,299 ක් ලබාගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් පාර්ලිමේන්තුවට ආ අයුරින්ම මෙම දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් මෙවර අවස්ථාව හිමිවිය හැකියි.   

2015 දී ජනතා විමුක්ති පෙරමුණ ගම්පහින් ලබාගත් මන්ත්‍රීධුරය පිළිබඳ මෙවර අභියෝගයක් පවතී. ඔවුන්ට අභීයෝගයක් වී ඇත්තේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්‍ෂයයි. එම පක්‍ෂයේ රතන හිමියන්ගේ අබිභවමින් මීරිගමින් සටනට ආ ව්‍යාපාරික කාත්නාවක වන සුනේත්‍රා සමරකෝන් පෙරමුණේ පසුවනවා. කෙසේ වුවද මේ තීන්දුව ඇත්තේ මහජනතාව සතුවයි.

කොරෝනා අතරේ වෙනදාමෙන් මෙවර ඡන්ද දායකයා ඡන්දපොළට පැමිණෙන්නේදැයි සැක සහිතයි. එසේ වුවහොත් මේ සියල්ල වෙනස්විය හැකියි. ඉදිරි වසර 5 ගැන සිතනවාට වඩා ජනතාව සිය ජීවිතය ගැන කල්පනා කරන තත්ත්වයකුයි දැන් පවතින්නේ. එහෙත් ඉදිරි වසර 5 කදී රටේම අනාගතය තීරණය කළ හැකි බැවින් මෙවර ඡන්දපොළට යාම ඡන්ද දායකයා සතු විශාල වගකීමකි. පස්සේ පසුතැවීමට වඩා අගෝස්තු 5 වනදා නිවැරදි තීන්දුව ලබාදුනහොත් තමන්ගේ පමණක් නොව තම දරුවන්ගේ ජීවිතය ද සැපවත් කරගත හැකිවනු ඇති.                 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *