දකුණේ පාතාල ත්‍රිකෝණය සහ අළු යට ගිණි

කොස්ගොඩින් ඌරගහ හරහා කරන්දෙණියට

කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා වෙඩිතබා ඝාතනය කරන්නේ ඉකුත් සිකුරාදා (08) රාත්‍රී 10.15 ට පමණය. උප සභාපතිවරයා ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පසුගිය පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කරන්දෙණිය ප්‍රාදේශිය සභාවට තරග කරන ඩොනල්ඩි සම්පත් රණවීර (48) මහතා, එයින් ජයග්‍රහණය කර කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඝාතනයට ලක්වන විට ඔහු එම තනතුරේ කටයුතු කරමින් සිටියේය. කරන්දෙණිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ ආධාරකරුවෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා පසුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක් විය.

උප සභාපති, ඩොනල්ඩ් සම්පත් රණවීර මහතා (48) තමාට අයත් කළුපාට හයිලූප් වර්ගයේ කැබ් රථයෙන් යටගල පන්සල පාරේ තිබූ මගුල් ගෙයකට සහභාගී වී ආපසු නිවස කරා එමින් සිටියදී රියදුරු අසුන පැත්තෙන් වෙඩි තැබීම සිදුකර තිබේ. ඒ වන විට කැබ්රථයේ රියදුරු සහ පිටුපස අසුනේ උප සභාපතිවරයාගේ යහළුවන් දෙදෙනකු සිට ඇත. උප සභාපතිවරයා සිට ඇත්තේ රියදුරු අසුනට යාබද අසුනේය. මෙම වෙඩි තැබීම ටී-56 ගිනි අවියකින් සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සිද්ධිය වූ ස්ථානයේ තිබී ටී-56 හිස් පතුරම් කොපු 15 ක් පමණ පොලීසිය සොයාගෙන තිබේ. මත්පැන් බොන අයෙකු වුවත් උප සභාපතිවරයා කුමන හේතුවක් මත මෙදින මගුල් ගෙදරින් මත්පැන් පානය කර නැත. ඔහු මගුල් ගෙදරින් පානය කර ඇත්තේ උණු වතුර වීදුරුවක් පමණක් වුවත් කැබ් රථයේ රියදුරු සහ පිටුපස අසුනේ සිටි දෙදෙනා හොදින් මත්පැන් පානය කර සිට ඇත.

අංක SP XJ – 7040 දරණ යතුරු පැදියෙන් පැමිණි ඝාතකයින් දෙදෙනා උප සභාපතිවරයා ගමන් ගත් කැබ්රථයට මග හරස් කොට නවතා පළමුව කැබ්රථයේ රියදුරු අසුන පැත්තෙන් උප සභාපතිවරයා ඉලක්ක කර වෙඩි කීපයක් තබා ඇත. එවිට රියදුරු, හිස පාත් කරගෙන තිබෙන අතර රියදුරුගේ හිසට ඉහලින් කැබ් රථයේ වීදුරුව බිදීගොස් තිබේ. එයින් පසු ගිනි අවිය රියදුරු අසුන පැත්තේ ජනේලයෙන් කැබ්රථය තුලට දමා උප සභාපතිවරයාට තවත් වෙඩි කීපයක්ම  තබා ඇත. සිය ඉලක්කය සපුරාගත් ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලා යෑමට උත්සාහ කර තිබෙන අතර හදිසිය හේතුවෙන් වෙඩි තැබීම සිදුකරන ලද අයට යතුරු පැදියට ගොඩ වීමට නොහැකි වී තිබේ. වෙඩික්කරු අදුරේම ගිනිඅවියත් සමග පලාගොස් තිබෙන අතර වෙඩිවැදුන උප සභාපතිවරයා කැබ්රථයේ සිටියදීම රියදුරු කැබ්රථය වේගයෙන් ධාවනය කර පලායන ඝාතන සහයකයාගේ යතුරු පැදියේ හප්පා ඔහු අනතුරට ලක්කර ඇත. ඝාතනය සිදුකරන ලද ස්ථානයේ සිට මීටර් 50 -100 අතර දුරකින් සිදුකර ඇති මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ඝාතන සහකරුවාට කැබ් රථයේ පිටුපස අසුනේ සිටි දෙදෙනා සහ රියදුරු විසින් පහර දී තිබේ. පසුව කිසියම් අයෙකු විසින් තුවාලකරු ඌරගස්මන්හන්දිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 

පහළවෙල, උතුරු මාගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි පත්තිනි හකුරු අසේල රණසිංහ (22) නැමැති මෙම සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සැකකරු හා ගවරා නමින් හදුන්වන සැකකරුගේ පියා වන පත්තිනිහකුරු රංජිත් රණසිංහ (49) නැමැති අයද ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධය. 2018 මැයි 13 දින ඌරගස්මන්හන්දිය, කළුවලගොඩ ප්‍රදේශයේ සූදු පොළක් වැටලීමට ගොස් පොලීසිය සමග ගැටුමක් ඇතිකර ගත් සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා වන්නේද රංජිත් රණසිංහය. පත්තිනිහකුරු රංජිත් රණසිංහය. එම සිද්ධියේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් සූදු පොළේ සිටි අයෙකුද ජීවිතක්ෂයට පත් විය.

උප සභාපතිවරයා ඝාතනය කල ස්ථානයේ තිබී සැකකරුවන්ගේ ජංගම දුරකතනයක් හා ටී-56 පතුරම් මැගසිනයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම මැගසිනයේ ටි-56 පතුරම් 05 ක් තිබී ඇත. සැකකරුගේ ගමන් මල්ලේ තිබී පතුරම් මැගසිනය සොයාගත් බව එහි පතුරම් 30 ක් තිබූ බවට පලවන වාර්තා සත්‍ය නොවේ. කැබ් රථයට වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල වී තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුව කැබ් රථය එහි රියදුරු විසින් වෙඩි වැදුන උප සභාපතිවරයාද සමග කරන්දෙණිය, බොරකන්ද රෝහල වෙත ධාවනය කර උප සභාපතිවරයා රෝහලට බාරදී රියදුරුද ප්‍රතිකාර සදහා එම රෝහලටම ඇතුලත් විය. රියදුරුගේ අතක පමණක් සුළු සීරීම් තුවාලයක් පමණක් තිබූ බවත් අනෙක් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදු වී තිබුණි.

පසුදා (09) අළුයම 2.30 ට පමණ ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය කළාය. පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ ගාල්ල, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පලා ගුණරත්න මහත්මිය විසිනි. ඒ ඉකුත් 09 දා පෙරවරුවේදීය. හිසට, මුහුණට, උදරයට හා පපු ප්‍රදේශයට වෙඩි වැදීමෙන් ඇති වූ බහුවිධ තුවාල හා අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව ඇය විසින් නිකුත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ. ශරීරයට වෙඩි උණ්ඩ 08 ක් පමණ ඇතුල් වී තිබූ බවත් හෘදය වස්තුව, අක්මාව, සුසුම්නාව හා මොළයට බරපතල හානි සිදුව තිබූ බවත් වෛද්‍ය වාර්තාවේ සදහන් විය. ශරීරයට ඇතුල් වූ වෙඩි උණ්ඩ 08 න් පහක්ම (05) ශරීරයෙන් පිටතට නොගොස් ශරීරය ඇතුලත තිබූ බවද දේහය x-කිරණ පරීක්ෂාවකට ලක්කර තහවුරු කරගෙන තිබුණි.

ඝාතනයට ලක් වූ ඩොනල්ඩ් සම්පත් රණවීර (48) නැමැති අයගේ සහෝදරයාද මීට මාස කීපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරකට අනුව කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී ගිනිඅවි 03 ක් සමග අත් අඩංගුවට ගෙන තිබුණි. ඔහු සන්තකයේ තිබී බෝර-12 ගිනිඅවි 02ක් සහ විදේශිය රටක නිශ්පාදිත පෑනක ප්‍රමාණයේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සොයාගෙන තිබුණි. කරන්දෙණිය, කැටවල පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නැමැති මොහුද මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

මෙම අයිය මලෝ දෙදෙනා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම එල් ටී ටී ඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ සමීපතමයන් බවද කියති. ඒ හරහා මොවුන්ට ගිනිඅවි ලැබී තිබෙන බවටද පොලීසිය විශ්වාස කරයි. මෙම ඝාතනයට දැනට ඩුබායිහි සැගවි සිටින දකුණේ පාතාල කල්ලි නායකයෙකු වන ජගමුණි සුජීව ද සොයිසා (28) නොහොත් කොස්ගොඩ සුජී නැමැති අයගේ සම්බන්ධයක් තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දැනට පොලිස් අත් අඩංගුවේ සිටින ඝාතන සහයකයාද කොස්ගොඩ සුජීගේ ගෝලයකු බව පොලීසිය කියයි. වෙඩි තැබීම සිදුකර තිබෙන අයද මේ වන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවද දැන ගන්නට තිබේ. ඔහු මේ වන විටත් රහසිගත ස්ථානයක සගවාගෙන පරීක්ෂණ පවත්වන බවද ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගෙන් ඝාතන රැසක තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවටද තොරතුරු ඇත. සෘජුවම කරන්දෙණිය, උප සභාපති ඝාතනයද කොස්ගොඩ සුජී නැමැති පාතාල කල්ලි නායකයාගේ මෙහෙයවීම මත කරන ලද්දක්ය යන්නද තහවුරු වෙමින් තිබෙන බවද දැන ගන්නට තිබේ.

ඝාතනයට ලක් වූ උප සභාපතිවරයා කරන්දෙණියේ ඉඩම් මිළ දී ගෙන කට්ටිකර විකිණීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් ඇත. මුලදී මේ සදහා කොස්ගොඩ සුජීගේ සහ ඔහුගේ ගෝලයන්ගේද සහය ලැබී ඇත. එකල කොස්ගොඩ සුජී සහ ඩොනල්ඩ් සම්පත් රණවීර කුළුපග මිත්‍රයන්ව සිට ඇත. ඊට පසුව උප සභාපතිවරයා ඉඩම් කට්ටි කර විකිණීමේ ව්‍යාපාරයෙන් කොස්ගොඩ සුජීගේ කණ්ඩායම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. දෙදෙනා අතර විරසකය ආරම්භ වී ඇත්තේ ඒ අනුවය.

ඩොනල්ඩ් සම්පත් රණවීර (48) නැමැති අයගේ ජීවිතයේ ආරම්භය එතඑම් යහපත් එකක් නොවේ. ඔහු බළපිටියේ මාදුගග ආශ්‍රිතව නීති විරෝධී මත්පැන් ව්‍යාපාරයේ පවා යෙදී තිබෙන බවද දැනගන්නට තිබේ. ඊට පසුව මාදුගගේ දූපතක් ආශ්‍රිතව තැබිලි බෙරේ නමින් ප්‍රචලිත ස්ථානයක විදේශිකයින් ඉලක්ක කරගත් අවන්හලක්ද පවත්වාගෙන ගොස් තිබේ. එයට බලපත්‍ර ලබාගැනීමට නොහැකි වීම මත පසුකාලීනව එය වසා දැමීමට සිදුව තිබේ. කෙසේ වෙතත් ඔහු දේශපාලනයට පිවිසීමත් සමග යහපත් පුද්ගලයෙකු ලෙස දිවි ගෙවීමට උත්සාහ දරා ඇත. කරන්දෙණියේ බොහෝ පුද්ගලයින්ට උදව් උපකාරද කර තිබේ. බොහෝ මල ගෙවල්, දානේ ගෙවල්, මගුල් ගෙවල් වලට පමණක් නොව පොදු කටයුතු වලට වෙහෙර විහාරස්ථාන වලට ඔහුගෙන් විශාල වශයෙන් මුදල් උපකාර ලැබී ඇත. දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා ශිෂ්‍යත්ව ක්‍රමයක්ද ඔහු විසින් ආරම්භ කර තිබේ.   

උප සභාපතිවරයාගේ ඝාතනයද දකුණේ කොස්ගොඩ, ඌරගස්මන්හන්දිය ප‍්‍රදේශයන් කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් අතර කලක පටන් පවතින මරාගැනීම හේතුවෙන් සිදුව තිබෙන බවටද තොරතුරු ඇත. එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ කොස්ගොඩ සුජීය. ඔහු මේ වන විට ඩුබායි රටට පැනගොස් සිටින අතර එහි සිට සිය ක‍්‍රියාකාරකම් මෙහෙයවයි. ඔහු පදිංචිව සිටියේ කොස්ගොඩ, හෑගල්ලේය. පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 දින ඌරගස්මන්හන්දිය, යුධපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජගමුණි මහින්ද පේ‍්‍රම රාජා ද සොයිසා (51) ඔහුගේ පුතුන් දෙදෙනා වන ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (22), ජගමුණි දුමිඳු විශ්මිත ද සොයිසා (13) යන එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනාත් උක්වත්ත ආරච්චිලාගේ කපිලරත්න පෙරේරා (39) නැමැති අයත් මෙසේ ඝාතනයට ලක් විය. මහින්ද රාජා මහතාද බළපිටිය ප්‍රදේශීය සභාවේ සිටි එජනිසං මන්ත්‍රීවරයෙකි. එකම පවුලේ තිදෙනා ඌරගස්මන්හන්දිය, කොස්ගොඩ පාරේ යුධපිටිය අසල පදිංචිව සිටි අතර අනෙක් අය, කොස්ගොඩ, මැණික් ගම්මානයේ පදිංචිව සිටියහ. කොස්ගොඩ, කුරුඳුගම් පියසේ පදිංචි නිලෙන්ති සුදිල සුරන්ජන ද සිල්වා (14) නැමැති අයට වෙඩි වැදීමෙන් බරපතල තුවාල සිදු වූ අතර ඔහු මේ වන විට ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා නිසවට පැමිණ සිටි. ඝාතනයට ලක් වූ දුමිඳු විශ්මිත, ඌරගස්මන්හන්දිය ගා/ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයෙන් 2014 වසරේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 182 ක් ලබා විභාගය ඉහලින්ම සමත්ව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. ඝාතනයට ලක් වූ පියා හා පුතුන් දෙදෙනා ඥාතීත්වයෙන් කොස්ගොඩ සුජීට බාප්පා හා සහෝදරයින්ය.  

කොස්ගොඩ අනෙක් පාතාල කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත්තේ සුවාරිස් රුවන් චාමර අබේසේකර (24) නොහොත් කොස්ගොඩ ලොකූ නැමැති අයයි. ඔහු 2017.05.08 දින රාත‍්‍රි කළුතර වැලිපැන්න, දියකොරඩුව ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබුණි. ඔහු පදිංචිව සිට ඇත්තේ කොස්ගොඩ, නානතොට, 2 කණුව ප‍්‍රදේශයේය. මොහු ඝාතනය කරන ලද අවස්ථාවේදී ඔහු සමග සිටි වැලිපැන්නේ අයෙක් සහ බළපිටියේ අයෙක්ද බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලටද ඇතුලත් කර තිබුණි. කොස්ගොඩ ලොකූගේ ඝාතනයෙන් පසුව එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඔහුගේ බාල සොහොයුරු සුවාරිස් දේශාන් අබේසේකර (21) නැමැති අයයි. සුවාරිස් දේශාන් අබේසේකර ඉහත කී සිව් (04) පුද්ගල ඝාතනයේ ප‍්‍රධානම සැකකරුවාද වන අතර ඔහු මේ වන විට එම ඝාතනයන්ට අදාලව කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොස්ගොඩ ලොකූ ඝාතනය කරන ලද්දේ මහින්ද රාජාගේ කොන්ත‍්‍රාත්තුවකට බවට ලොකූගේ පාර්ශවය විශ්වාස කරන අතර ඉකුත් සිකුරාදා (08) ඝාතනයට ලක් වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර නමැති අය කොස්ගොඩ ලොකූගේ කණ්ඩායම හා මිතුරුව සිටියේය යන සැකය මත මෙම ඝාතනය සිදු කළාය යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමුව තිබේ. ඩොනල්ඩ් සම්පත් රණවීර සහ මීට පෙර ඝාතනයට ලක් වූ මහින්ද රාජා එකතුව වැලි ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් තිබේ. මහින්ද රාජගේ ඝාතනයෙන් පසුව එම වැලි ව්‍යාපාරයේ මහින්ද රාජාගේ කොටස ඔහුගේ පවුලේ අයට හෝ නොලැබුණ බවත් ඒ හරහාද කොස්ගොඩ සුජී ඩොනල්ඩ් සම්පත් රණවීර සමග වෛරයෙන් පසු වූ බවද කියති.

කෙසේ වෙතත් මේ වන විට කොස්ගොඩ, ඌරගස්මන්හන්දිය ආදී ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ඝාතන රැසක්ම සිදු ව තිබේ. මොවුන් අතර දේමාපියන්ගේ පලිගැනීම් මත ඝාතනය කරන ලද හය හතර නොතේරෙන දරුවෝද බොහෝය. ඇතැම් දරුවන් බරපතල තුවාල ලබන අතර ඇතැම් දරුවන් දෙමාපියන් අහමි වීමෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටිති. මිනිස් ජීවිතයන්හි වටිනාකම් මිනිසුන්ගෙන් ගිලිහී යෑම ජාතියේ ඛේදවාචකයකි. මේ වෙනුවෙන් වූ ඵලදායී විසදුමක් ලබා දීම තව තවත් පමා නොකල යුතු බව නම් කිව යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *