නිවුන් දරු දෙදෙනා ගගේ වැටී එකට නිවන් යයි සීයා සමග දියනාමින් ඉදලා

කොස්ගොඩ, දූවේමෝදර ගගේ ගිලී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සීයා ඊයේ (10) දහවල් අතුරුදන් වී තිබේ.

කොස්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් ඊයේ (10) සවස 4.00 ට පමණ ඔවුන් තිදෙනා සොයා ගනු ලැබීය. එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනාගේ නාඩි වැටෙන බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විසින් දරුවන් දෙදෙනා බළපිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට කටයුතු කළේය.

දරුවන් දෙදෙනා බළපිටිය රෝහලට ගෙන යෑමෙන් පසුව වෛද්‍යවරුන් රැසක් එකතුව ඔවුන්ට ප්‍රතිකාර කරන ලද අතර ඊයේ (10) ප.ව 6.00 ට පමණ දරුවන් දෙදෙනාද මියගොස් තිබෙන බව බළපිටිය මූලික රෝහල විසින් තහවුරු කළේය. මේ සම්බන්ධයෙන් රෝහල් අධිකාරි වෛද්‍ය චන්දන රත්නසිරි මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ රෝහලට රැගෙන එන විටත් දරුවන් දෙදෙනා මියගොස් තිබූ බවයි. දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි වෛද්‍යවරුන් එම උත්සාහය දැරූ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙසේ අතුරුදන්ව සිරුරු සොයා ගනු ලැබූයේ අගම්පොඩි ඉන්දික මෙන්ඩිස් (62) නැමිති අයගේය. සොයා ගැනීමෙන් පසු බළපිටිය මූලික රෝහල වෙත ගෙන යන ලද්දේ සසිත තත්සිදු කන්දඋඩ (06) සහ සමිත තත්සිදු කන්දඋඩ (06) යන දරුවන් දෙදෙනාය. නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන මෙම දරුවන් දෙදෙනා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ 01 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

දරුවන්ගේ මව කොස්ගොඩ, නාපේ ප්‍රදේශයේ බවත් ගාල්ල, දඩල්ලේ පදිංචිව සිටින ඔවුන් පෙරේදා (09) සිය දෙමාපියන්ගේ නිවෙස වෙත පැමිණ ඇති බවත් කොස්ගොඩ පොලීසිය කියයි. එසේ පැමිණ ඊයේ (10) පෙරවරුවේ දරුවන් දෙදෙනා සිය, සීයා (මවගේ පියා) සමග කොස්ගොඩ ගගේ දිය නෑමට ගොස් මෙම අනතුරට පත්ව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දරුවන්ගේ මව සහ මියගිය දරුවන්ගේ සීයාගේ සහෝදරයාද ගං ඉවුරේ සිට ඇති අතර ඔවුන්ද සිද්ධිය සියසින් දැක ඇත. ඔවුන් දෙදෙනාද දරුවන් බේරා ගැනීම සදහා ගගට පැන ඇති අතර තත්ත්වය අවදානම් වූ හෙයින් දෙදෙනා එකතුව නැවත ගං ඉවුරුට පැමිණ තිබේ.

සීයා මුණුපුරන් දෙදෙනාද සමග ඔරුවකින් ගගේ මදක් දුරට ගොස් ඔරුව අල්ලාගෙන දිය නාමින් සිට ඇති අතර ඔරුව පෙරලීමෙන් මෙම අනතුරු සිදුව තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. සීයා දරුවන්ට ආරක්ෂාව සලසමින් දරුවන්ට දිය නෑමට සලස්වා ඇති බවත් ඔරුව පෙරලීමෙන් පසු සීයාගේ ග්‍රහණයෙන්ද දරුවන් මිදී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුව සීයාද දරුවන් බේරා ගැනීමට දැරූ උත්සාහයේදී ඔහුද දියේ ගිලී මියගොස් තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි.  

සිය බිරිදගේ නිවස වෙත දරුවන්ගේ පියා පැමිණ නොමැති අතර සිද්ධිය සැල වීමත් සමග නො. 358/10, දඩල්ල, ගාල්ල ලිපිනයේ පදිංචි දිලිප් රොහාන් කන්දඋඩ (40) නැමැති සිය පියාද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියේය. ඔහු මිදිගම ලෝඩ්ස්ටා ආයතනයේ රැකියාවේ නිරත වෙමින් සිට ඇත. දරුවන්ගේ මව සහ පියා ඇතුළු විශාල පිරිසක් සිරුරු ගොඩ ගන්නා අවස්ථාවේ හඩා වැලපෙමින් ගං ඉවුරේ රැදී සිටියේය.

අනතුරින් මියගිය දරුවන්ගේ සහ සීයාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (10) සවස සිද්ධිය වූ ස්ථානයේදී සහ අද (11) බළපිටිය මූලික රෝහලේදී ඉදුරුව හදිසි මරණ පරීක්ෂක පරාක්‍රම අකුරැටියගම මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔහු විසින් බළපිටිය මූලික රෝහලට දැනුම් දී තිබේ. බළපිටිය මූලික රෝහලේදී එම මෘත දේහයන් සම්බන්ධයෙන් පීසිආර් පරීක්ෂණයක් සිදු කරන බවත් එයින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවත් බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අතුරුදන්වූවන් සොයා ගැනීමෙන් පසු ගං ඉවුරේම හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට කොස්ගොඩ පොලීසිය සැලසුම් කර තිබුණි. ඒ වන විටත් හදිසි මරණ පරක්ෂකවරයාද සිද්ධිය වූ ස්ථානයට පැමිණෙමින් සිට ඇත. නමුත් දරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ දරුවන් සොයා ගත් සැණින් රෝහල් ගත කළේ නම් ඔවුන් බේරා ගැනීමට හැකියාව තිබුණ බවයි. ඒ නිසාම කොස්ගොඩ පොලිසියට යම් විරෝධතාවයක්ද ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වී තිබේ. දරුවන් දියේ ගිලුණ බවට කොස්ගොඩ පොලීසියට 119 හරහා ඇමතුම ලැබී ඇත්තේ ඊයේ (10) ප.ව 1.12 ටය. දරුවන් ගොඩගනු ලැබූයේ එදින ප.ව 4.00 ටය. පැය 03 කට ආසන්න කාලයක් දියේ ගිලී සිටි අයෙකු ජීවත්ව සිටීමට හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් විමසූ විට බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල ද සොයිසා, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී කේ වීරරත්න, පොලිස් සැරයන් පියතිලක (32674) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සිද්ධිය වූ ස්ථානයේ හා සිරුරු ගොඩ ගන්නා අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *