රටගිය අම්මා හා එලොවගිය තාත්තා එනතුරු බලා සිටින කුමාරයාගේ කතාන්දරය.

රට ගිය අම්මා ගැන තොරතුරක් නෑ,අනේ මගේ අම්මව ගෙන්නලා දෙන්න

සංකල්ප දිවවිත් අහස දෙස බලා සිටියි. එක්වරම නිල් අහස පුරාවටම ශබ්ධ නංවමින් අහස් යානාවන් ඒ මේ අත ඇදෙයි. අම්මා අහස් යානාවෙන් එන තුරු සංකල්ප බලා සිටියි.තාත්තා දිවිය ලොව ගොස්ය අම්මා එතෙර රට රස්සාවේ ගොස්ය. ආතම්මා සමඟින්  කටු මැටි නිවසේ වෙසෙන සංකල්ප රට ගිය අම්මා එනතුරු අහස දෙස බලා සිටියි. පරලොව ගිය තාත්තා එන තුරු කඩුල්ල මැදින් ඈතට දිවෙන සුදු වැලි සහිත මාර්ගය දෙස බලා සිටියි. සංකල්පට සිහිනයක් ඇත. ඒ අම්මා එතෙරගිය අම්මා එන තුරුය. තවත් අහිංසක සංකල්පයක් මේ සංකල්ප පුතුට ඇත. ඒ එලොව ගිය තාත්තා එන තෙක්ය. සිදුව ඇත්තේ කුමක්ද? අපේ මේ අහිංසක කතාන්දරයේ කතා නායකයා වන  වෙසක් කුමාරයා නැතහොත් අවුරුදු කුමාරයා එසේ නැතිනම් ආදිත්‍ය (අවුරුදු කුමාරයාට කියන නමක්) සිය අම්මා තාත්තා මේ ආත්මයේ දී හමුවිය හැකි ද?

රට ගිය අම්මා ගැන තොරතුරක් නෑතාත්තා මාව දාලා දිව්‍ය ලෝකේ ගියා අනේ මගේ අම්මව ගෙන්නලා දෙන්න  යැයි, මව් පිය සෙනෙහස අහිමි වූ පුංචි පුතෙකු හැඩූ කඳුලින් යුතුව ඉල්ලා සින අනුවේදනීය පුවතක් ගාල්ල ඇල්පිටියෙන් අසන්නට ලැබේ.

තමන් ජීවත් වන කටු මැටි ගෙපැල වෙනුවට පුංචි ගෙයක් ඉදිකර ගැනීමේ අපේක්ෂාවෙන් 2016-10-26 වන දින ඌරගස්මංහන්දිය මීගස්පිටිය ගල්කඩොල්ල පදිංචි ටී.එස්. සුජීවා මහත්මිය සෞදි අරාබි රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගියාය.

ඇය විදේශගත වූයේ වයස අවුරුදු පහක් වන ඉමාෂ සංකල්ප පතිරණ පුතා කුලී වැඩ කර ජීවත්වන ගීත් ප්‍රියංකර පතිරණ සැමියාට භාරදීමෙන් පසුවය. ආච්චි අම්මා ද ඉඳහිට ඔවුන් ගැන සොයා බැලුවාය. සුජීවා විදේශගතවී සති දෙකකින් පමණ නිවසට දුරකථන ඇමතුමක් දී ඇයට වධ හිංසා පමුණුවන බවත් ප්‍රමාණවත් පරිදි ආහාර නොදෙන බවත් දැනුම්දී ඇත.

ඇය එසේ දෙතුන් වතාවක් දැනුම් දුන් පසු ඇයගේ සැමියා වන ගීත් ප්‍රියන්කර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් 2016-12-20 දින සී.ඩී./263/1612අංකය  යටතේ පැමිණිල්ලකි ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු කරමින් සිටියදී 2017 01-01 දින හදිසියේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ගීත් ප්‍රියංකර මිය යාමත් සමඟ පුංචි ඉමාෂ සංකල්ප දරුවාට මව්පිය සෙනෙහස අහිමි විය. ඉන් පසු ඉමාෂ සංකල්ප දරුවාගේ වගකීම ආච්චි අම්මා බාර ගත්තාය. එහෙත් ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ආච්චි අම්මාට ද ඉමාෂ සංකල්ප දරුවා රැක බලා ගැනීම ගැටලුවක්ව පවතී.

විදේශ ගමන් බලපත්‍ර අංක එන්.6249829 යටතේ සෞදි අරාබි රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් වධ හිංසනයට ලක්ව ඇති ටී.එස්. සුජීවා මහත්මිය විදේශ ගතවී වසර දෙකකට ආසන්න වුවද වැටුප් ලැබී ඇත්තේ මාස කිහිපයක පමණි. මේ වන විට ඇයගෙන් මාස ගණනකින් තොරතුරක් නොමැති බවද ඥාතීහු කියති.

මේ වන විට ඉමාෂ සංකල්ප පුතුට වයස අවුරුදු හතක් වන අතර ඔහු ගා/ ඌරගහ මහා විද්‍යාගයේ පළමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දරුවාගේ රැකවරණය සැපයීම අසනිපව සිටින ආච්චි අම්මාට කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවෙයි.

සෞදි රාජ්‍යයේ සේවයට ගොස් තොරතුරක් නොමැති වධ හිංසනයට ලක්ව සිටින ටී.එස්. සුජීවා මව ලංකාවට ගෙන්වා දෙන ලෙස පුංචි පුතු ඉමාෂ සංකල්ප ඇතුලු ඥාතීහු ඉල්ලා සිටිති.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළ විට එහි නිලධාරියෙකු මෙසේ පැවසීය. 

විදේශගතව සිටින අයගේ බාරකරු මිය ගොස් සිටියද ඒ වෙනුවට පවුලේ වෙනත් ඥාතියෙකු වන අයෙකුට අපගේ කාර්යාංශයට පැමිණ ඉදිරිපත්වී විදේශගතව සිටින අය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවස්ථාව පවතිනවා. ඉක්මනින්  ඇයගේ ඥාතියෙකු පැමිණ අවශ්‍ය සහාය ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *