මහින්දව විපක්‍ෂනායක ධුරයෙන් ඉවත් කිරීම, ඊළාම්වාදී ෆෙඩරල් කඳවුරේ උත්සාහයක්

පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය.

එකම දේශපාලන කඳවුරකට අගමැති ධුරය, විපක්‍ෂ නායක ධුරය හා කථානායක ධුරය ලබාදිය නොහැකි බවත් රටක විපක්‍ෂය කියන්නේ මීළඟ පාලන බලය ලබාගන්නා පක්‍ෂය වන බැවින් ටී.එන්.ඒ. සංවිධානයට එවැනි බලයක් පිහිටුවීමේ හැකියාවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය.

ඇය සඳහන් කර සිටින්නේ පසුගිය කාලය පුරා එළිදැක්වූ ව්‍යවස්ථාදායක සභාව හරහා විපක්‍ෂ නායක ධුරයත් අගමැති ධුරයත් කථානායක ධුරයත් තබාගෙන ඉහළ නිලතලවලට නිලධාරීන් පත් කිරීමේ තීරක බලය ඊළාම්වාදී ෆෙඩරල්වාදී කඳවුර විසින් අතට ගැනීමේ උත්සාහයක නිරත වන බවයි.

ඊයේ (19දා) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

විපක්‍ෂ නායක ධුරයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීම සඳහා ඊළාම්වාදී ෆෙඩරල්වාදී කඳවුර බොහොම වුවමනාවෙන් වැඩ කරන බව පැහැදිලියි. ඊයේ දවසේ සුමන්දිරන් මහත්තයාට බොහොම වුවමනාවක් තිබ්බා මහින්ද රාජපක්‍ෂ මහත්තයාව විපක්‍ෂ නායක ධුරයට පත් කිරීම වළක්වන්න. ව්‍යවස්ථා සභාවේ 10ක් ඉන්නවා.

එක්කෙනෙක් කථානායක. ඊළඟ නව දෙනාගෙන් හත්දෙනෙක් පත් කරන්නේ විපක්‍ෂ නායකවරයා සහ අගමැතිවරයායි. අභියාචනාධිකරණයේ, ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම පොලිස්පති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම කෙරෙන ව්‍යවස්ථාදායක සභාවේ කොමිටියේ නව දෙනාගෙන් හත් දෙනෙක් පත් කරන්නේ අගමැති හා විපක්‍ෂ නායක දෙදෙනායි. මේ විපක්‍ෂ නායකකම ටී.එන්.ඒ. එකට ලබාදීම සඳහා පසුගිය කාලසීමාව තුළත් කටයුතු කළා. ඒ වගේම වර්තමානයේත් මහින්ද රාජපක්‍ෂ මහතාව විපක්‍ෂ නායක ධුරයෙන් ඉවත් කරන්න උත්සාහ ගන්නේ මේ රටේ ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීමේ තීරක බලය ඊළාම්වාදී ෆෙඩරල් කඳවුර ඇතුළේ තියාගන්න.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය අතහැරලා කරපු කතාවේදී කිව්වා එතුමා කිසිවිටෙක ෆෙඩරල් ව්‍යවස්ථාව මේ රටට ගේන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඔබ මවිතයට පත්වෙන්න එපා මහින්ද රාජපක්‍ෂ මහතාව විපක්‍ෂ නායක ධුරයෙන් ඉවත් කරන්න එන්.ජී.ඕ. නඩ, සිවිල් සංවිධාන යැයි කියා ගන්නා අය බටහිර තානාපතිවරු ඇතුළු බලවේග මැදිහත් නොවුණොත්.

කථානායකවරයා කියන්නෙත් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරයෙක්නේ. එහෙම නම් කථානායකවරයාට පුළුවන් කථානායක ධුරයට මුවාවෙලා සියලුම මන්ත්‍රිවරුන් මන්ත්‍රි ධුරයෙන් අයින් කරන්න. එහෙම බැරි නිසයි මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කරන්නත්, ගීතා කුමාරසිංහ මහත්මියව මන්ත්‍රි ධුරයෙන් ඉවත් කරන්නත් උසාවි ගියේ. ඒ රංගනය යළි පටන් අරන් තියෙනවා. මේ පිටුපස ඉන්නේ ඊළාම්වාදය නැත්නම් ෆෙඩරල්වාදය මේ රටට ගෙනත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න මාන බලන අයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි
දැන් තියෙන්නේ දිව දෙකේ ප්‍රජාතන්ත්‍රවාදයක්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්න කියලා විශාල මෙහෙයුමක් එන්.ජී.ඕ. නඩයක් සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් මේ රටේ ගෙන ගියා. මීට කලින් මේ රටේ පාර්ලිමේන්තුවේ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයද කියලයි දැන් මතුවෙන ප්‍රශ්නය.

රටේ ජනතාවගේ කැමැත්ත තියෙන ජනතා නායකයා විපක්‍ෂ නායක වුණාම දැන් තේරුණා අගමැතිට වඩා විපක්ෂ නායක රටේ බලවත් බව.

දැන් එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයෝ සජිත් ප්‍රේමදාස වටේ එකතු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතාව එළවන්න. මහින්ද මහත්තයාගේ සාමාජිකත්වය ගැන දැන් කතා කළාට වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පක්‍ෂ නායකකම විතරක් නොවෙයි සාමාජිකත්වයත් නැති කරන කුමන්ත්‍රණයක්. දැන් ඒක පටන් අරන්. සජිත් මහත්තයත් නායකයා වෙන්න කැමැතියි. එතුමා මිලියන 3,000ක් වැය කරලා ප්‍රතිරූපය නංවා ගැනීමේ වැඩපිළිවෙළකුත් ආරම්භ කරලා තියෙන්නේ. ඒ අතරේ අපේ පැත්තේ හිටපු අලි ගිහින් පින්තූරත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහතාට කියන්න තියෙන්නේ අපේ විපක්‍ෂ නායකකම ගැන කලබල වෙන්න එපා. අපේ කණ්ඩායමේ 100ට වැඩි පිරිස මහින්ද රාජපක්‍ෂ මහතාව ඒකමතිකව පත් කරලා ඉවරයි. හැබැයි ඔබගේ පක්‍ෂ නායකත්වය හා සාමාජිකත්වය ආරක්‍ෂා කර ගන්න. අපේ පැත්තේ කට්ටිය එන්නේ මොන අරමුණටද, කාගේ ආරාධනාවකටද කියලා තේරුම් ගන්න කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහතාට කියන්න තියෙන්නේ.

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත බේරුගොඩ,
මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන තමයි බොහෝ විට අහන්න ලැබෙන්නේ. විවිධ අය විවිධ විදියට ප්‍රජාතන්ත්‍රවාදය අර්ථකථනය කරනවා. මේ අර්ථකථන දිහා බැලුවාම තමන්ට වාසිදායක විදියට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථකථනය කරන බව පේනවා. සමහරු කියනවා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, විකෘති ප්‍රජාතන්ත්‍රවාදය කියනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජීවය තියෙන වස්තුවක් වුණා නම් සියදිවි නසා ගත්තා නම් හොඳයි කියලා. අපි නම් දකින්නේ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්‍ෂා විය යුතු බවයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය මේ දිනවල බරපතළ විදියට අවභාවිතයට ලක් වෙනවා.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ බහුතරය දිනාගත්ත කෙනාටයි විපක්‍ෂ නායකකම ලැබෙන්න ඕනේ. හැබැයි ඒ විපක්‍ෂ නායක නම යෝජනා කරද්දී ප්‍රජාතන්ත්‍රවාදය ගැන බරපතළ විදියට කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්න පෙනී සිටිය ආණ්ඩු පක්‍ෂය, කටයුතු කරන හැටි රටම දැක්කා. රනිල් වික්‍රමසිංහ මහතා මොකුත් කියන්නේ නැහැ. එතුමා වෙනම ටීම් එකක් දාලා තමයි මහින්ද රාජපක්‍ෂ මහතාට තියෙන නුසුදුසුකම් ගැන කියවන්නේ. ඉදිරියේදී රටේ ජනතාව තීරණය කරයි මේ රටේ විපක්ෂ නායක කවුද? අගමැති කවුද කියන දේ.

හිටපු අමාත්‍ය විජිතමුණි සොයිසා එදා අප්පච්චි මළා කියලා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් වෙන් වුණා. ඊට පස්සේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට එකතු වෙලා මන්ත්‍රිකම්, ඇමැතිකම් අරගෙන එ.ජා.ප.යට ගියා. දැන් අප්පච්චි විතරක් නෙවෙයි, බාප්පත් මළා. දැන් අනෙක් පැත්තට ගියා කියයි. තව ටික දවසකින් කියයි බාප්පා මළාට රුක්අත්තන පෙට්ටියක වළ දැම්මා කියලා. ඒ වගේම නැවත පණ ආවා කියලත් කියයි. උත්ථාන වුණා කියලත් කියයි. එතුමා ගියේ ඇමැතිකම් ගන්න. වරප්‍රසාද ගන්න. එතුමාට තියෙන්නේ ඇමැතිකම් නැති වීමේ දුක. අපේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුක්විඳින ජනතාව ගැන දුකක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *