ගාලු කොටුවේ තිබූ ලංකාවේ පැරණිතම තැපැල් ගොනගිල්ල කඩා වැටේ

1820 දි ආරම්භ කළ තැපැල් මහත්තයා ඉවරයි

ගාලු කොටුවේ පැරණි ගොඩනැගිල්ලක් කඩාවැටේ.මේ අවදානම ගැන අප කීවේ වසර ගණනාවකට පෙරයි.ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් ඊයේ (07) රාත්‍රි සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. රාත්‍රි කාලයේ කඩා වැටීම නිසා කිසිවෙකුටත් හානියක් නොවු අතර දිවා කල කඩා වැටුණේ නම් ජීවිත හානි සිදුවීමට ඉඩ තිබු බව කොටුව පදිංචිකරුවෝ අප සමඟ පැවසුහ.සවුත්ලන්ඩ්ස් විදුහලේ සිසුවියෝද විදේශිකයෝද ගාල්ල කොටුව පදිංචිව සිටින පරිසද ගාල්ල අධිකරණයට පැමිණෙන ජනතාවද ඇතුලු විශාල පිරිසක් දිනපතා මේ අසළින් ගමන් කරන් නිසා මහා විනාශයක් සිදුවන්ට තිබිණි.ලන්දේසි සමයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල අබලන්විමත් සමග එහි  පවත්වාගෙන ගිය තැපැල් කාර්යාලය මේ වනවිට වෙනත් ස්ථානයක පවත්වා ගෙන යනු ලබයි.මෙයට පෙර අවස්ථා කිහිපයකදිද මෙහි බිත්ති සහ වහලේ කොටස් කඩා අප මෙයට පෙරද බලධාරින්ට දන්වා තිබිණි.

සත්තකින්ම ගාලු කොටුව විවිධ අවස්ථාවල විවිධ පුවත් මවන ලෝක උරැම ස්මාරකයකි. පසුගිය වර්ෂයේ ඒ ගැන අවධානය යොමු වූයේ කොටුව ඉදිරිපස ඇති ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නිසා ලෝක උරුම තත්ත්වයට තර්ජනයක් වන බවටය.මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් විම මත එය සුරක්ෂිත වුහ. මෙම අවදානම පිළිබඳව ගාලු කොටුව තුළ පිහිටි පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් වන පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අබලන්වීම ගැන අල මෙයට පෙරද පැවසුවද බලධාරිහු ගනන් ගත්තේ නැත..

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මෙම ගොඩනැගිල්ල 1991දී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් සැලැසුම් කළේ තැපැල් කෞතුකාගාරයක් වශයෙනි. සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඇතුළු කාර්යාල සංකීර්ණයක් බවට පත්කිරීමටය. ජනාධිපතිවරයා 1993 දී ඝාතනයට ලක්වූ අතර එම සැලසුම ක්‍රියාවට නැංවූයේ නැත.

දිගුකාලයක් තිස්සේ අත්හැර දැමීම නිසා මෙම පෞරණික ගොඩනැගිල්ල දිරාපත් වෙමින් නටබුන් බවට පත්වෙමින් පවතී. එහි වහලය දිරාපත්වී ඇති අතර බිත්ති ගරාවැටෙමින් පවතී. ගාලු කොටුවේ සමහර අබලන් ගොඩනැගිලි පසුගිය කාලයේ අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගත්තද මෙම ගොඩනැගිල්ල බේරාගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බවක් නොපෙනේ.

“මේ පරණ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම ගැන තැපැල් දෙපාර්තමේන්තුවට අපි කිහිප වරක් දැනුම් දුන්නා. සාකච්ඡාවලදී ඒ ගැන සඳහන් කළා. මේක පුරාවිද්‍යා ආරක්ෂිත ගොඩනැගිල්ලක් නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තමයි සංරක්ෂණය කළයුතු වන්නේ. ගාලු උරුමය පදනමට සංරක්ෂණ කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා සම්බන්ධීකරණය කිරීම තමයි අපට කළහැක්කේ. මේ සඳහා සංරක්ෂණ සැලසුමක් සකස්කර තිබෙනවා. මෙහි බිත්ති වැස්සට තෙමෙන බව අපි දැනුම් දුන්නා. ඒක ගැනත් තැපැල් දෙපාර්තමේන්තුව සැලකිලිමත් වුණේ නැහැ. දැන් තෙමෙන බිත්තිවලට තාවකාලික ඉටිකොළ ආවරණය යෙදීමට කටයුතු කෙරෙනවා. මෙයට හොඳ ආවරණයක් සකස් කිරීමට රුපියල් මිලියන 8ක් පමණ වැයවෙනවා. ඒ සඳහා අනුග්‍රාහකයෙක් සොයාගත යුතුයි. ඊට පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අලුත්වැඩියා කළ යුතුයි. නමුත් සංස්කෘතියට නිසි වටිනාකමක් නොදක්වන බාලකයන් රටපාලනය ඛ නිසා මෙම ව්‍යවසනය සිදුවිය

ගාල්ල තැපැල් කාර්යාලය ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ ආරම්භ වූ පැරණිම තැපැල් කාර්යාල පහෙන් එකකි. එය 1820දී ආරම්භ කෙරිණි. කොළඹ සහ ගාල්ල අතර තැපැල් අශ්වකොච්චි සේවය ආරම්භ කළේ 1832 ජුලි 2දාය. ඒ සඳහා අශ්වයන් දෙදෙනෙකු බැඳි රියක් යොදාගැනුණි. ගාලුකොටුවේ පල්ලිය හරස් වීදියේ පිහිටි ඕලන්ද ගොඩනැගිල්ලට එය රැගෙන ආවේ 1872දීය. මුහුදුබඩ පළාත්වල ඕලන්ද පාලනය පැවති 1668දී මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව සඳහන්ය. එය මුලින්ම යොදාගත්තේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ නිල නිවාසය වශයෙනි. 1744දී එය බලකොටුවේ ප්‍රධාන ලිපිකරුගේ නිල නිවාසය විය. වර්ෂ 1760දී මෙම ගොඩනැගිල්ල පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ වෙළෙඳ කාර්යාලය වශයෙන් යොදා ගැනුණි. එවකට පොත් තබන්නන් 18 දෙනෙක් සහ ලිපිකරුවන් 18 දෙනෙක් මෙහි සේවය කළ බව ඕලන්ද වාර්තාවල සඳහන්ය.

වර්ෂ 1857 දී බ්‍රිතාන්‍ය පාලන කාලයේදී මෙය ගාල්ලේ ටෙලිග්‍රාන් කාර්යාලය විය. ඊට කලකට පසු එය ගාල්ල මහ තැපැල් හල බවට පත්විය. තනි මහලේ ගොඩනැගිල්ලක් වන මෙය ඉදිරිපස විවෘත ආලින්දයකින් යුක්තය. ආලින්දයේ පියස්ස දරා සිටින්නේ රවුම් ආකාරයේ කුලුනු සමූහයකිනි. එය කබොක්ගල්වලින් තනා බදාම කපරාරු කරන ලද්දකි. අපේ බොහෝ අතීත උරුමයන් විනාශ වී යන්නේ බලධාරීන්ගේ නොසලකිලිමත්කමෙනි. ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන තෙක් තාවකාලික විසඳුමක් හෝ යෙදුවානම් මේ ගොඩනැගිල්ල මෙතරම් අබලන් වන්නේ නැත. මෙය අද ඊයේ තිබූ නොසැලකිල්ලක් නොවේ. පසුගිය සියවස මුලදී ආනන්ද කේ. කුමාරස්වාමි “පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කරගැනීම ගැන අදහස් කිහිපයක්” නම් ලියවිල්ල බලධාරීන්ගේ අවධානයට යොමු කරන්නේ එවකට පුරාණ වලව්, විහාර දේවාල ආදියේ ගොඩනැගිලිවලට අත්ව තිබූ විනාශකාරී ක්‍රියා නැවැත්වීමටය.

මේ අතර ගාලුකොටු පවුරේ ස්ථාන තුනක් ගිලාබැසීමට පටන්ගෙන ඇති බවද ගිය සතියේ වාර්තා විය. ශ්‍රී සුධර්මාලය විහාරය ඉදිරිපිට ප්‍රදීපාගාරය අසල හා හමුදා කඳවුර අසල එම ගිලාබැසීම් ඇති ස්ථානයි.ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අත්පත් කරගත් පෘතුග්‍ීසිහු 1588දී ගාලු කොටුව ඉදිකළහ.

17 වැනි සියවසේදී පැමිණි ලන්දේසීන් විසින් එය වඩාත් ශක්තිමත් කොට ඉදිකරන ලදී. අද අපට දක්නට ලැබෙන්නේ ලන්දේසී ඉදිකළ එම බලකොටුවයි. 1974 දී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කළ ගාලු කොටුව 1988 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි.

ඒ අනුව ගාල්ල කොටුව තුළ පිහිටි සියලුම පැරණි පෞද්ගලික නිවාස හා රජයේ ගොඩනැගිලි පුරාවිද්‍යා ස්මාරක වේ. මෙම පැරණි ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පවතින අතර කලින් කලට අලුත්වැඩියා කළ යුතුවේ. එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ගාල්ල මහ නගර සභාව යන ආයතනවලින් පූර්ව අවසරය ලබාගත යුතුය.මේ කිසිදු බලධාරියෙක් තම යුතුකම ඉටු කර නොමැත.

මේ නිසා අබලන්ව පැවති ලන්දේසී රෝහල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කර සාප්පු සංකීර්ණයක් බවට පත්කෙරිණි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී එම ගොඩනැගිල්ල රෝහල, වෛද්‍යවරයාගේ නිල නිවාසය වශයෙන් භාවිත කෙරිණි. 1920න් පසුව දිසාපතිවරයාගේ කාර්යාලය ලෙස මේ ගොඩනැගිල්ල යොදා ගැනිණි.

පැරණි නිව් ඔරියන්ටල් හෝටලය පිහිටා තිබූ ගොඩනැගිල්ල සංරක්ෂණය කර ජාතික කෞතුකාගාරය වශයෙන් යොදාගෙන තිබේ. අද සමූද්‍ර කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන්නේ ද පැරණි ඕලන්ද බඩු ගබඩාවයි. එය පුරාවිද්‍යා සංරක්ෂණයට ලක්කර කෞතුකාගාරය වශයෙන් යොදාගෙන තිබේ. ඕලන්ද යුගයේ ලුණු, ගම්මිරිස් නැව්වලට අවශ්‍ය භාණ්ඩ, රෙදිපිළි, කුරුඳු එහි ගබඩා කර තිබුණි. මෙහි තිබූ ගේට්ටු කොපමණ විශාල ද යත් දිරාගිය ගේට්ටු පලුවක් ඉවත් කිරීමට කම්කරැවන් 15ක් අවශ්‍ය විය. 1988දී එම ගේට්ටු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කර නැවත සවිකෙරුණි.

දැන් කළ යුතු දෙයකි නැත. සියලුල සිදුව අවසන්ය. කළ යුතුව තිබුනේ, තාවකාලිකව නොතෙමෙන අයුරින් පිළියම් යොදා මෙය පසුව සංරක්ෂණය කර ප්‍රයෝජනවත් කාර්යයකට යොදා ගැනීමය. රජයේ කාර්යාල කෝටි ගණනින් කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන රටක රජයට අයත් ඓතිහාසික ගොඩනැගිල්ලක් නටබුන් වීමට ඉඩ හැරීම ඛේදවාචකයකි. මෙන් මෙම සුන්දර කතාන්දරය මෙසේ විනාශ යට පත් විය. පැරනි දේ අගයන පාලකයෝ නැත රටක රටක් ජාතියක් ආගමක් උරුමයක් හෝ කරුමයට ද අපට අහිමිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *