තෙලිකඩ පොලීසිය නීතිය නමයි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීලා

 මාංචු දමා බිම වැටෙන තුරු අමානුෂික ලෙස පහර දිමේ සිද්ධියක්

පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියකට සම්බන්ධ යැයි කියන සැකකරුවකු වූ හමුදා සෙබලකු වෙනුවට එම නිවසේ සිටි දහසය (16) හැවරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන දෑතට මාංචු දමා බිම වැටෙන තුරු අමානුෂික ලෙස පහර දිමේ සිද්ධියක් ඇල්පිටිය පොලිස් අධිකාරි කොට්ඨාශයට අයත් තෙලිකඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම පිරිමි දරුවාට පහර දීමෙන් අනතුරුව සැකකාර හමුදා සෙබලාට අයත් නිවසේ වීදුරු කබඩ් එකක අගුළු කඩා එහි තිබෙන්නේ මොනවාදැයි පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර යුද්ධ හමුදා සමූහ ඡායාරුපයක් හා වටිනා ලියකියවිලි රැසක් පොලිසිය විසින් බලෙන් රැගෙන ගොස් ඇති බව පවසමින් එම නිවසේ නිවැසියන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. මෙම සැකකාර හමුදා සෙබලා වන්නේ පහර කෑමට ලක් වූ දරුවාගේ මාමා බවද සිද්ධියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

දරුවාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවාගේ මව්පියන් විසින් ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක්ද කර තිබෙන අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන බව ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

පසුගිය 05 වන දින සවස 4.15 ට පමණ තෙලිකඩ, ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ නිවසකට සුදු වෑන් රථයකින් තෙලිකඩ පොලිසියේ නිලධාරින් අට (08) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ නිවසේ සිටි දහසය (16) හැවිරිදි පාසල් සිසුවාගේ බෙල්ලෙන් ඇදගෙන ගොස් දෑතට මාංචු දමා බිම වැටෙන තුරු අතින් පයින් පහර දුන් බව දරුවාගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. මෙසේ පොලිසියේ පහර කෑමට ලක්ව අත්අඩංගුවට පත්ව ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙවර අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමේ සූදානමින් සිටි 16 හැවිරිදි පිරිමි දරුවෙකි. එම සිසුවාගෙන් අප කල විමසීමේ දී ඔහු පැවසුවේ පසුගිය 05 වන සදුදා දින තමා පාසල් ගොස් පැමිණ තමාගේ නිවසේ සිට කෙටිම අතුරු පාරෙන් මාමලගෙ ගෙදරට යන්න ගිය බවත් සවස 4.15 ට පමණ පොලීසියෙන් කීප දෙනෙක් යන්නේ කොහේදැයි තමාගෙන් විමසා පහර දුන් බවත්ය.

එම සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේද කීය.

අපේ ගෙදර සිට මාමලාගේ ගෙදරට යන පාර තිබෙන්නේ මාමලාගේ ගේ පිටුපසින්. මම එතනින් ගොස් මාමලාගේ ගෙදරට යන්න කලින් ගෙදර ආසන්නයේ පිටුපස හිටපු පොලිසියේ දෙන්නෙක් ඇවිත් මගෙන් ඇහුවා උඹේ නම මොකද්ද කියල. මම නම කිව්වාම උඹ කොහෙද යන්නෙ කියලා ඇහුවා. මම ඒකටත් උත්තර දුන්නම මගේ කමීසයේ කොලර් එකෙන් අල්ලගෙන අපේ ගේ පිටුපස දොරෙන් ගේ ඇතුලට ඇදගෙන ආවා. උස මහත බඩ තියෙන සිවිල් ඇදුමින් සැරසුන මේ පුද්ගලයා තෙලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බව මම පස්සෙ පොලීසියේදී දැනගත්තා.

අපේ ගේ ඇතුලේදී මම අල්ලගෙන හිටපු සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරියා අනිත් අයට කිව්වා හෑන්ඩ් කප් ගේන්න කියලා. අනේ මගේ එක අතකට මාංචුවක් දාල එලියට ඇදගෙන ගිහිල්ල මට අතින් පයින් පහර දීල වාහනය ලගට ගෙනියන්න කලින් අත් දෙකටම මාංජු දැම්මා. ඊට පස්සේ කදු ගැටයක පිහිටි මාමලගෙ ගෙදර ඉදල පහලට අරගෙන යන කොට අර නිලධාරියා මගේ පස්ස පැත්තට පයින් ගැහුවා. එවිට මම බිම වැටුනා. මම දෑත් එකතු කරල වැදල කිවුව ගහන්න එපා කියල. ගෙදර හිටපු නැන්ද කිව්ව, අනේ සර් ගහන්න එපා ඔය ළමය ඉස්කෝලේ යන ළමයෙක් කියල. මේ සැරේ විභාගෙ ගන්නව කියලත් නැන්දා කිව්වා. පොලිස් නිලධාරියා ඒවා තඹ දොයිතුවකට ඒව ගනන් නොගෙන මං ඇදගෙන ගිහින් වාහනයට දැම්මා. පස්සෙ පොලිසියේ දෙවැනියා මගෙන් ඇහුවා, අරූගේ මොනවද ගෙදර තියෙන්නෙ කියලා. මම කිව්වා දන්නෑ කියලා. පොලිසියෙන් ගේ ඇතුලට ගිහිල්ල මාමගේ වීදුරු කබඞ් එකේ ලොක් එක කඩල ඒකෙ තිබිච්ච පොටෝ එක්ක තවත් ලියකියවිලි වගයක් පොලිසිය අරගෙන වාහනයට දා ගත්තා. මම ඒව ඔක්කොම බලාගෙන හිටියා. එහෙම පොලිසියේ මහත්තරු මාමාගේ විදුරු කබඩ් එකේ තිබිච්ච බඩු ගත්තේ වාහනේ තිබිච්ච උල් ආයුධ වලින් වීදුරු කබඩ් එකේ ලොක් එක කඩල.

ඊට පස්සේ වාහනෙන් මම පොලිසියට ගෙනිහිං කූඩු කලා.  සවස 4.40 ඉදල රාත්‍රී 8.00 පමණ වෙනකන් මම කූඩුවේ හිටියා. ඒ ඉන්න අතරතුර අපේ අම්මා, මගේ සහෝදරයෝ තුන්දෙනා හා එකම සහෝදරිය, වයස අවුරුදු 13, 12, 07 මල්ලිලා තුන්දෙනා අවුරුදු තුනහමාරේ එකම නංගි එක්ක මගේ අම්ම අඩ, අඩා පොලිසියට ආවා. කිසිම වරදක් කරල නැති ඇයි මගේ දරුවට තඩි ගහල ඇදගෙන ඇවිත් කූඩුවට දැම්මේ කියල අම්මා පොලීසියෙන් ඇහුවා.

පවුලේ වැඩිමලා විදියට මම කූඩුවෙ අඩ අඩා ඉන්න කොට, පොලිසියේ දෙවන මහත්මයා, අපරාධ අංශයේ ස්ථානාධිපති මගේ අම්මටත් තිත්ත කුණුහරුපෙන් බැනල මේකි කූඩුවට දාපන් කියල තවත් නිලධාරිනියකට නියෝග කලා. අම්ම කිව්ව මගේ දරුවොත් එක්කම මමත් කූඩු කරන්න කියලා. මම අම්මට පේන්න ඇඩුවෙ නෑ. මොකද මගේ අම්ම හෘද රෝගියෙක් නිසා.

පස්සේ ගුවන් හමුදාවෙ ඉන්න මගේ මාම, පොලිසියට ඇවිල්ල මගේ තාත්තත් හමුදා සෙබලෙක් කියල විස්තරේ කිව්වා. ඊට පෙර මාධ්‍යයෙනුත් පාසල් ශිෂ්‍යයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවද කියල පොලිසියෙන් අහපු නිසා මට ඇප දුන්නා. පොලිස් පොතේ ලියල අත්සන් කරල මම ගෙදර ආව. එදින පොලිසිය මෙම නිවසට ගොස් ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර පහර දී පුද්ගලයකුට තුවාල සිදු කිරිමේ සිද්දියකට සම්බන්ධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගැනිමට බව පොලිසිය කියනවා. අපේ තාත්තත්, මාමත් හමුදාවේ වැඩ කරන්නේ.

මේ තෙලිකඩ පොලිස් ස්ථානාධිපති නිමල් ගමගේ මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

පහර දීමකට අදාල ඔය කියන සිද්ධියට සම්බන්ධ හමුදා සොල්දාදුවෙකු අත් අඩංගුවට ගැනිමට අපේ පොලිසිය නිලධාරින් පිරිසක් එම නිවසට ගොස් තිබෙනවා. ඒ ගිය අවස්ථාවේ පාසල් සිසුවකු බව නොදැන කෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි දී සුඑ වරදක් එම පොලිස් නිලධාරින්ගෙන් සිදු වි තිබෙන බව තමන්ට දැන ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා.

ඇල්පිටිය පොලිස් අධිකාරි සමන් පුස්වැල්ල මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

ඔය කියන ආකාරයේ සිද්ධියක් තවම මට වාර්තා වෙලා නැහැ. එහෙම සිද්ධියක් තිබෙනවානම් ඒ පිළිබදව අපක්ෂපාතිව පුර්ණ පරික්ෂණයක් සිදු කිරිමට තමන් කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *