ඹෟෂධ මාපියාව නිසා ඹෟෂධවේදියාට නිරුවත් කර පහරදීලා

දකුණු පළාතේ ශෛල්‍ය හා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් බහුතරයකට ඖෂධ හදුන්වාදෙන නිලධාරියකු බද්දේගම, අගලිය ප්‍රදේශයේ නිවසකට සැලසුම් සහගතව ගෙන්වා අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව බද්දේගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 13 දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර තිබේ. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා බද්දේගම මහේස්ත්‍රාත් හරිත් පල්පොල මහතා විසින් රුපියල් ලක්ෂය (1,00000/-) බැගින් ශරීර ඇපම. සහ අනෙක් සැකකරුවන් 11 දෙනා බද්දේගම පොලීසිය විසින් පොලිස් ඇපමත පසුගිය බ්‍රහස්පතින්දා (27) සහ බදාදා ((26) දිනයන්හි මුදාහැර තිබේ.

සිද්ධියට අදාලව තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මීට අදාල නඩුව 2020 නොවැම්බර් 03 වන දින නැවත කැදවන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ඖෂධ හදුන්වාදීමේ නිරත 13 දෙනෙකි.

බද්දේගම පදිංචි ජී තුෂාර ප්‍රසන්න පෙරේරා වික්‍රමසිංහ (28) නැමැති අය විසින් බද්දේගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම ඖෂධ හදුන්වාදීමේ නිලධාරියාට පහර දීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි නොකරන බවට මෙන්ම රෝහල් ගත නොවන බවට පහර දුන් අයගෙන් ප්‍රධාන පුද්ගලයා විසින් මුද්දරයක් මත අත්සන් යොදා ලිපියක් ලබාගෙන තිබෙන බවද මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

පසුගිය 19 වන දා රාත්‍රි 9.00 ට පමණ මෙම පහර දීම සිදුව තිබෙන බවත් පහර කෑමට ලක්ව ඇත්තේ බටපොල, සාදමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහක තරුණයකු බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. පහර කෑමට ලක් වූ මෙම තරුණයා මේ වන විට ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා එයින් පිටත්ව ගොස් තිබෙන බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. 19 වන දින රාත්‍රි 8.40 ට පමණ බද්දේගම, අගලිය ප්‍රදේශයේ හදුනන මිතුරකු බද්දේගමට පැමිණ සුහඳ සිතින් තමන් අදාල නිවසට කැඳවාගෙන ගිය බවත් එම නිවසේ සැඟව සිටි ඹෟෂධ ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පිරිස සමඟ එක්ව පහර දීම කළ බවත් පහර කෑමට ලක් වූ විසින් බද්දේගම පොලීසියට ප්‍රකාශ කර තිබේ. 

මෙම පහර දීම සිදුකර ඇත්තේ ඹෟෂධ ක්ෂේත්‍රයේම පිරිසක් බවට මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පහර කෑමට ලක් වූ මෙම තරුණයා දකුණු පළාතේ ප්‍රධාන රෝහල්වල ශල්‍ය හා කායිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු සෙසු වෛද්‍යවරුන් සමඟ වෘත්තිය සම්බන්ධකම් පැවැත්විම මෙන්ම ඔහුගේ සේවා කාර්යක්ෂමතාවය මීට හේතු වී තිබේද යන්න තව දුරටත් පොලිස් පරික්ෂණ සිදු කරන බව බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතා අප කල විමසීමක දී ප්‍රකාශ කළේය.

ඹෟෂධ ක්ෂේත්‍රයේම සේවය කරන පිරිසක් විසින් සැලසුම්කර එක් අයකුගේ නිවසකට මෙම තරුණයා ගෙන්වා ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සාමාජ මාධ්‍ය ඔස්සේ එම නිවෙස හිමි අයගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක්   ගොඩ නගා ගෙන ඇයට අයුතු චෝදනා කර තිබෙන බවට අසත්‍ය චෝදනාවක් පහර දීම සිදුකරන ලද පිරිස මේ වන විට ප්‍රකාශ කරමින් සිටින බවද පහර කෑමට ලක් වූ තරුණයා බද්දේගම පොලීසියට ප්‍රකාශ කර තිබේ. කරුණු කෙසේ වුවත් මෙම පහර දීම සැලසුම් සහගතව සිදු කර තිබෙන බව පරීක්ෂණ වලදි තහවුරු වන්නේ යැයි ද බද්දේගම පොලීසිය කියයි.

පහර කෑමට ලක් වූ ඹෟෂධ නිලධාරියාගේ ඇදුම් ඉවත් කර ඔහු ගසක බැඳ මෙලෙස පහර දීම සිදු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පහර දෙන අයුරු පහර දීමට සම්බන්ධ කිහිප දෙනෙකු විසින් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර තිබෙන බවද දැන ගන්නට තිබේ. මෙම නිලධාරියාට අපහස හා පරිභව කිරිමේ චේතනාවෙන්ම එම කටයුතු සිදු කර ඇති බවද මුලික පරික්ෂණවලදී හෙලි වු බව බද්දේගම පොලිසිය  කියයි.

තමන් පෞද්ගලික ඖෂධ ආයතනයක ඖෂධ හදුන්වාදීමේ නිලධාරියකු ලෙස වසර 09 කට අධික කාලයක සිට සේවය කරමින් සිටින බවත් එම ක්ෂේත්‍රයේම වැඩ කරන කණිෂ්ඨ පිරිසක් මෙම පහර දීමට සම්බන්ධ බවත් පහර කෑමට ලක් වූ තරුණයා විසින් බද්දේගම පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.  සැලසුම් කර තමන් සේවා අවශ්‍යතාවයක් යැයි පවසා අදාල නිවසට ගෙන්වා ගෙන පහර දුන් බවද එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ. තමන් අඩ නිරුවත් කර අමානුෂික ලෙස අතින් පයින් පහර දී වීදුරු බෝතල් කඩා ඒවායින් ඇණ තුවාල සිදු කිරිමට පවා උත්සාහ කල බවත් ඒවා වලක්වා ගත් බවත් පැමිණිලි කරු විසින් බද්දේගම පොලීසියට ප්‍රකාශ කර තිබේ.

මේ පහර දීමට පිරිමි පුද්ගලයින් 20 ක පමණ පිරිසක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වී තිබේ. එයින් එක් කාන්තාවක් තමන් පැළද සිටි පවුන් 04 ක් පමණ වන රන් මාලය පැහැර ගත් බවත් තවත් රුපියල් 25,000/- ක් පමණ වු මුදල් පසුම්බියේ තිබූ බවත් පහර කෑමට ලක් වූ තරුණයා විසින් කරන ලද පැමිණිල්ලේ සදහන් වේ. රන් මාලය පැහැර ගැනීමේ අවස්ථා ඇතුළු පහර දීමේ අවස්ථාවන්ගේ වීඩියෝ දර්ශණ හා ඡායාරුප පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැර තිබෙන බවද පොලීසිය කියයි.

තමන්ට පහර දුන් පිරිස, පහර දීමෙන් අනතුරුව තවත් මේ රටේ වැඩ කරන්න හිතන්න එපා,  උඹ ගත්ත කාර් එක විකුණල ඕන රටකට පලයන් යනුවෙන් තර්ජනය කල බවත් පැමිණිල්ලේ සදහන් වේ. මෙහි වැඩි වැඩ කලොත් උඹට වෙන දේ දන්නේ නෑ යනුවෙන් සිද්ධියේ ප්‍රධාන සැකකරු ප්‍රකාශ කල බවත් අවසානයේ සිද්ධිය පොලිසියට පැමිණිලි නොකරන බවට හා රෝහල් ගත නොවන බවට සහතික කර මුද්දරයක් පිට අත්සන් තබා ලිපියක් ලබා ගත් බවත් එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පහර කෑමට ලක් වූ බව කියන බද්දේගම පදිංචි ජී තුෂාර ප්‍රසන්න පෙරේරා වික්‍රමසිංහ (28) නැමැති අය මෙසේ පැවසීය.

පහර දීම සිදුකරන ලද්දේ සැලසුම් සහගතවයි. සැකකරුවන් 13 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇපමත මුදාහැර තිබෙනවා. මේ සියළු දෙනාම ඖෂධ හදුන්වාදීමේ නිරත වන අයයි. පහර දුන්, මම හදුනාගත් තවත් සැකකරුවන් 03 දෙනෙක් ඉන්නවා. ඒ පිලිබදවත් මම බද්දේගම පොලීසියට දැනුම් දුන්නා. නමුත් ඔවුන් අත් අඩංගුවට ගෙන නැහැ. නොහදුනන තවත් සිව් (04) දෙනෙක් ඉන්නවා. පහර දීමේ සිද්ධිය වීඩියෝ ගතකර සමාර ජාලා වෙත මුදාහැර තිබෙන්නේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවායි. ඒ සම්බන්ධයෙන් පවා පියවරකි අරන් නැහැ යනුවෙන්ද ප්‍රකාශ කළේය.

බද්දේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක දර්ශන, පොලිස් කොස්තාපල් වරුන් වන වසන්ත (68179) සහ සඳකැලුම් (89380) ඇතුලු නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *