ශ්‍රීලනිපයේ සභාපතිකම ඉල්ලා ගොනුකළ පෙත්සම ඉවතට

පක්ෂ ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධුරය හොබවන තැනැත්තා සභාපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය දැරූ අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක හා මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තරකරුවන් කරමින් නඩුව පවරා තිබිණි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි බවට තීන්දුවක් ඉල්ලා එම පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු පැවරූ අභියාචන පෙත්සම සිවිල් අභියාචන මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය මීට ඉහතදී ලබා දුන් නියෝගය යළි තහවුරු කරමින් සිවිල් අභියාචන මහාධිකරණය ද සිය තීන්දුව ලබා දී ඇත. මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක හා ඩී. එන්. සමරකෝන් මහත්වරුන් මෙම නියෝගය නිකුත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීම නීතිවිරෝධී බව ද, නායකත්වය මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිමිවිය යුතු බව ද පවසමින් බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත හා නාගරික මන්ත්‍රී අසංක නන්දන ශ්‍රීනාත් මහත්වරුන් මෙම නඩුව 2016 වසරේදී කොළඹ දිසා අධිකරණයේ පැවරීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පක්ෂ නායකත්වය නම් කරමින් නිකුත් කළ ලිපියක් නීති විරෝධී බව ද පැමිණිල්ල මඟින් කරුණු දැක්වීය.අදාළ පෙත්සමට මූලික විරෝධතාවක් මතුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පක්ෂ ව්‍යවස්ථාව ප්‍රකාරව පක්ෂ සභාපතීත්වය හා නායකත්වය වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැරීම නීත්‍යානුකූල බවය.

පක්ෂ ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධුරය හොබවන තැනැත්තා නිරායාසයෙන්ම නායකත්වයට නම් කර ඇති බවය.වක්‍රාකාරව මෙම නඩුවේ සහන ජනපතිවරයාට එරෙහිව ඉල්ලා ඇති බවත්, ජනපති මුක්තිය ප්‍රකාරව මෙවන් නඩුවක් පැවරිය නොහැකි බවත් වි‍රෝධතා මතුකළේය.

නඩුවේ වගඋත්තරකරුවකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නම්කර ඇති හෙයින් දිසා අධිකරණයක නඩුව පවරා පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව ද මූලික විරෝධතා එක්කළේය.විත්තියේ මූලික විරෝධතාව පිළිගත් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා නඩුව විභාග නොකරම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

දිසා අධිකරණය ලබා දුන් එම තීන්දුවට එරෙහිව පැමිණිලිකරුවන් බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් දිසා අධිකරණ තීන්දුව අහෝසි කර පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.අදාළ ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවන් දෙපළ විත්තියේ කරුණු කැඳවීමකින් තොරව මෙසේ පෙත්සම නිශ්ප්‍රභ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *