ඇමතිකම් වෙනුවෙන් පැනපු පැනිල්ලට ඔලිම්පික් පදක්කම් ගන්න තිබුනා

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

පසුගිය අවුරුදු 25 ක පමණ කාලයක තුල හිටපු ඇමතිවරු පිළිබදව සොයා බැලීමක් කලොත් එයින් 20 ක් පමණ කව්රු ජනාධිපති වුණත් ඇමතිවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. මේ පනින පැනිල්ලට ඔවුන් ඔල්ම්පික් යැව්වොත් රන් පදක්කම්, රිදී පදක්කම් දහයක් පහලොවක් දිනා ගන්න තිබුණා යැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (29) මාතර, කිරින්දේ දී ප්‍රකාශ කළේය.

2008, යුද්ධය යන වෙලාවේ අයවැය පැරදීමේ අවදානමක් තිබුණ බවත් පොල් ඇමති, සීනි ඇමති වගේ පොඩි ඇමතිකම් ටිකක් නිර්මාණය කර මන්ත්‍රීවරුන් එහා පැත්තෙන් රජයට එක්කර ගත් බවත් අවධාරණය කල ඩලස් අලහප්පෙරුම මහතා, සීනි දැක්කම කූබි ඇඔලයෝ එනව වගේ මන්ත්‍රීවරුන් පැමිණි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, කිරින්දේදී පැවති ජන හමුවක් අමතමින් එසේ ප්‍රකාශ කල ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

ලබන අගොස්තු 02 දින රාත්‍රී 12.00 ට පෙර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරන්න ඕනෑ. 03 සහ 04 දිනයන් හදුන්වන්නේ නොනගතය ලෙසින්. 03 සහ 04 දෙදින මැතිවරණ නීතිරීති උල්ලඝනය නොකර කටයුතු කරන ලෙස පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවර මැතිවරණය ලාංකාවේ දීර්ඝතම මැතිවරණය ලෙස ඉතිහාස ගත වෙනවා. නාම යෝජනා බාර දී මේ වන විට සති 18 ක් ගත වෙලා.

මේ වන විට ඔබ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින්, රැස්වීම් පත්‍රිකා ආදියෙන්, විවිධ පුද්ගලයින් මාර්ගයෙන් රටේ දේශපාලනය පිළිබද දැනුවත් වී තිබෙනවා. අළුත් දෙයක් ඔබට කියන්න ඉතුරු වෙලා නැහැ. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ දැවැන්තම ජයග්‍රහණය ලබන මෙම මැතිවරණයේදී 2/3 ක ජයග්‍රහණයක් අපේ වේදිකාවෙන් ඉල්ලා සිටිනවා. මේ පවත්වන්නේ මනාප ක්‍රමය යටතේ පවත්වන අවසන් මැතිවරණයයි. එකම පක්ෂයේ අය තුලත් මතභේද නිර්මාණය වන මේ වෛරකාරී මැතිවරණ ක්‍රමය අවසන් කල යුතු වෙනවා. ඒ සදහා 2/3 ක පාර්ලිමේන්තු බලයක් අවශ්‍යය වෙනවා. මේ 2/3 බලය ඉල්ලන්නේ අපිට නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ශක්තිමත් කරන්නයි. කප්පම් විදියට ඇමතිකම් දීල මන්ත්‍රීවරුන් එහෙන් මෙහෙන් ගන්න අවශ්‍යය නොවන ආකාරයේ බලයක් එතුමාට ලබාදිය යුතුයි.

මේ වෙනුවෙන් ඔබ, එජාප ජවිපෙ පාක්ෂිකයින් හමු වී සාකච්ඡා කරන්න. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය නොදුන් විශාල පිරිසක් මේ අවස්ථාවේ ගෝඨාභය ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න තීන්දු කර තිබෙනවා. මගේ හිතවත් ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් කිව්වා, ගෝඨාභය ජනාධිපතිතුමා විශ්වාස කල හැකි සැමට නීතියේ සමාන අයිතිවාසිකම් ලබා දීමට උත්සාහ දරණ අයෙක් කියල.  

පසුගිය වසර 25 ක පමණ කාලයක තුල හිටපු ඇමතිවරු පිළිබදව සොයා බැලීමක් කරන්න. මෙයින් 20 ක් පමණ කව්රු ජනාධිපති වුණත් ඇමතිවරු විදියට ඉදල තිබෙනවා. ඇමතිවරුන් මේ පනින පැනිල්ලට ඔල්ම්පික් යැව්වොත් රන් පදක්කම් රිදී පදක්කම් දහයක් පහලොවක් දිනා ගන්න පුළුවන්. 2008 දි යුද්ධය යන වෙලාවේ අයවැය පැරදීමේ අවදානමක් තිබුණ. විමල් වීරවංශ ඇමතිතුමා එහෙම ජවිපෙන් එළියට ඇවිත් ආණ්ඩුවට සහය දුන්නේ ඒ වෙලාවේ. එදා ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා ජනාධිපතිතුමාට කිව්වා, සර් පොඩි පොඩි ඇමතිකම් ටිකක් දෙන්න, එවිට අපේ පැත්තට මන්ත්‍රීවරුන් ටිකක් ගන්න පුළුවන් කියල කිව්වා. ඒ වෙලාවේ තමයි, ඔය පොල් ඇමති, සීනි ඇමති වගේ ඇමතිකම් ටිකක් නිර්මාණය වුණේ. මේ ඇමතිකම් පෙන්නුවම මන්ත්‍රීවරුන් එහා පැත්තේ සිට මේ පැත්තට ආවේ සීනි දැක්කම කූබි, ඇඔලයෝ එනව වගේ.

අපේ රටේ පුරවැසියෝ නීතිගරුක කරන්න කලින් දේශපාලනඥයින් නීති ගරුක කරන්න ඕනෑ. චන්ද්‍රිකා මැතිණියගේ කාලේ 1995 දී එක් මන්ත්‍රීවරයෙකුට අරක්කු බාර් පර්මිට් 03 ක් හා බියර් පර්මිට් 05 ක් දුන්නා. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මට අරක්කු සහ බියර් පර්මිට් අවශ්‍ය නැහැ කියල කියන්න මට පුළුවන් වුණා. අද වන විට ලංකාවේ අරක්කු බාර් එකක් හෝ බියර් තැබෑරුමක් නැති ලංකාවේ එකම ආසනය කඹුරුපිටියයි.

මමයි, කංචන ඇමතිතුමයි මේ දේශපාලන ව්‍යාපාරය කරන්නේ දෙන්නෙක් හැටියට නොව, එක් කෙනෙක් විදියටයි. මේ වෛරකාරී මැතිවරණ ක්‍රමය යටතේ වුණත් ගැටුමක් ඇති කර ගන්නේ නැතුව දේශපාලනයේ නිරත වන ආකාරය අපි පෙන්නුම් කරල තිබෙනවා. අපි මේ උඩු ගං බලා පීනන දේශපාලන ගමන ආරම්භ කරද්දි බොහෝ අය කිව්වේ ගග සැරයි, ගිලිල මැරෙයි කියල. සමහර අය කිඹුලා කාවි කියලත් කිව්වා. නමුත් අපි මේ වන විට ඉවුරට ලගා වෙමින් සිටිනවා. දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්දන සිරිබද්දන, කඹුරුපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අතුල වීරසිංහ යන මහත්වරුන්ද මෙහිදී කතා කලහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *