මාධ්‍ය කියන්නේ මුර බල්ලෙක් // රජය කියන්නේ පහන් කනුවක්

මාධ්‍ය නිදහසින් රජයට පහර දුන්නත් // සුදු වෑන් එන්නේ නැහැ

ඔබට නිදහසේ ඔබේ දේශපාලන මතය දරන්න පුළුවන්. දේශපාලන චණ්ඩින් ඔබේ දොරට තට්ටු කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අද මාධ්‍ය නිදහස තිබෙනවා.කෙසේ නමුත් මාධ්‍ය නිදහස අපිට හිතකර විදියට වැඩ කරලා නැහැ.

ආණ්ඩුවට හිතකර වුවත් අහිතකර වුවත් ස්වාධීන මාධ්‍යය යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රධාන ප්‍රතිෂ්ඨාවයි. බී.බී.සී පුවත් සේවයේ සුප්‍රකට මාධ්‍යවේදී පැක්ස්මන් මෙසේ කියනවා.මාධ්‍ය කියන්නේ මුර බල්ලෙක්. රජය කියන්නේ පහන් කනුවක්. මුර බල්ලගේ වැඬේ පහන් කනුවට මුත්‍ර කිරීමයි.රජයේ ඇමැතිවරයෙක් විදියට මේ මුර බල්ලා මුත්‍ර කරන බව මා කිව යුතුයි.

එහෙත් මාධ්‍යය වගකිව යුතු විදියට හැසිරුණේ නැතිනම් පහන් කනුව ‘මුත්‍රා කිරීම තහනම්’ යනුවෙන් විශාල පුවරුවක් එල්ලා ගනීවි. ඒ වගේම මුර බල්ලා ඉත් ඉක්මනින් ඔහුගේ ඇඟේම මුත්‍රා කරගනීවි. මුර බල්ලා වෙනුවට ඔඩොක්කු කුක්කෙක් තමයි ඊට පස්සේ” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා වූ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ පැවැති 18 වැනි ‘ඩඞ්ලි සේනානායක’ සමරු දේශනය අවසානයේ ස්තූති කතාව කරමින් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඒ බව සඳහන් කළේය. එම දේශනයෙන් කොටසක් ලංකාදීප පුවතින් උපුටා ගැනීමකි

  ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය වී තිබෙනවා. පිටුපසින් ඇවිත් පිහියෙන් අනින්නේ නැති, දේශපාලන අරගල නොමැති, දේශපාලන ප්‍රයෝග නොමැති සහ ජනතාවගේ මුදල් මංකොල්ල නොකන, දූෂණය නැති දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.

අරක්කු සහ බත් පැකට් දෙමින් දහස් ගණනක් ජනතාව අගනුවරට ගමන් කරවීම දේශපාලන ප්‍රකාශයක් නෙමෙයි.  එය දේශපාලන ප්‍රයෝගයක්. එය තවදුරටත් ජනතාව මත බර පැටවීමක්. මිලියන ගණන් මුදල් නාස්ති කරමින් බෙල්ජියමෙන් පළාත් සභාවට පුටු ආනයනය කිරීම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පලාදීයතාව වැඩි කරන්නේ නැහැ.

එය දූෂණයේ දුගද හමන මහජන මුදල් නාස්තියක්. එලෙස පුටු ආනයනය කිරීම නැවැත්වීමට කඩිනම් පියවර ගැනීම සම්බන්ධයෙන් මම මහ ඇමැතිවරයා ස්තූතිවන්ත වෙනවා.

අද වනවිට දේශපාලනඥයන්ගේ තත්ත්වය අන්තයටම වැටිලා. මිනිස්සුන්ට දේශපාලනඥයා කියන වචන පවා අමිහිරි වී තිබෙනවා. එය හරියට වස දාපු කිරි පැකට් එකකින් උගුරක් බොනවා වගේ. මිනිස්සු මේ බොරු සහ ප්‍රයෝග හඳුනාගෙන තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක් මෙසේ කීවා.

ඔබට එක්තරා කාලයකදී මිනිස්සු ඔක්කොම රවට්ටන්න පුළුවන්. සමහර මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න පුළුවන්. හැබැයි හැමදාම හැමෝම රවට්ටන්න බැහැ.යහපාලනය ස්ථාපිත කරන බවට පොරොන්දු වෙමින් මේ ආණ්ඩුව බලයට පැමිණියා. වසර තුනක් ගෙවී ගොස් තිබෙනවා. අපි මොනවාද ළඟා කරගෙන තියෙන්නේ. එක් පවුලක සාමාජිකයන් කිහිපදෙනකුට පමණක් සීමා වූ බලය යහපාලන, පාලන ක්‍රමවේදයකට හැරවීම සුළු පටු කරුණක් නෙමෙයි.

දේශපාලන අනුග්‍රහය මත පැවැති ක්‍රමවේදයක් තුළ යහපාලනය ස්ථාපිත කිරීම, දූෂණය තුරන් කිරීම අභියෝගාත්මක කරුණක් බව කිව යුතුමයි.

වත්මන් ආණ්ඩුවටත් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. දේශපාලන තීරණ සියල්ල අවුල් වෙලා. ඉදිරියට යෑමට නොහැකිව අපි හිරවෙලා. ඊට අමතරව වෙනස්ම මතවාද දෙකක් තිබෙන රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ඒ තුළින් අවුල වියවුලක් කර ඉච්ඡාභංගත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ තත්ත්වය තුළ ඇතැම් පිරිස් අධිපතිවාදී පාලනයක් ඉල්ලා සිටිනවා. රටට හිට්ලර් කෙනෙක් අවශ්‍ය බව කියනවා. ඒවා ඇසීමත් කනගාටුව සහ කලකිරීම ඇති කරවනවා. අපේ ප්‍රශ්නවලට විසඳුම හිට්ලර් නෙමෙයි

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කියන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයට උපත දීමට දැඩි විලිරුදාවක් දැරිය යුත-ු වෙනවා.  යහපාලනයේ මූලධර්ම පල දරන මහා වෘක්ෂයක් බවට පත්වීමට කාලයක් ගත වෙනවා. එම මහා වෘක්ෂය වැඩෙනවා බැලීමට ජනතාවට ඉවසීම ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මේ පරිපාලනය පසුගිය වසර තුනක කාලයේදී බොහෝ දේ කර තිබෙනවා. ජනතාවට තොරතුරුවලට තිබෙන අයිතිය ස්ථාපිත කර තිබෙනවා. සෑම දරුවකුටම ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. පාසල් දරුවන්ට වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දී තිබෙනවා. මිනිස්සුන්ට දැරිය හැකි මිලකට ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව උදා කර තිබෙනවා. ගිලන් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් බොහෝ ජීවිත ආරක්ෂා කර තිබෙනවා.

අපි ස්වාධීන අධිකරණ, පොලිස්, මැතිවරණ ආදී කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. දේශපාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කර තිබෙනවා. නිවාස නොමැතිව සිටි ජනතාවට සහ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට නිවාස සපයා තිබෙනවා.

අපි නිදහස උදා කර තිබෙනවා. එය තමයි වඩාත්ම වැදගත් කරුණ. දඬුවම් ලැබීමකින් තොරව විරුද්ධ වෙන්න විපක්ෂ ක්‍රියාකාරකම්වල යෙදෙන්න නිදහස උදා කර තිබෙනවා. නිදහසේ උද්ඝෝෂණ කරන්න අවස්ථාව උදා කර තිබෙනවා. නිදහසේ ඔබේ ආගම අදහන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *