වැඩිකළ දුම්රිය ගාස්තුව සාධාරණද ? මගියා කබලෙන් ලිපට

පහසුකම් වැඩි නොකර මේ ලෙසින් ගාස්තු පමණක් වැඩි කිරීම

දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දමන බව දැන් මාස කිහිපයක සිටම මාධ්‍ය මඟින් හෙළි කෙළේය. පසුගිය අයවැයෙන් දුම්රිය ගාස්තු ඉහළ නැංවිය යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත්ව තිබුණි. ‍එසේ වුවත් ගාස්තු චක්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇති වූ ගැටලු නිසා මේ ගාස්තු වැඩි කිරීම මාස කිහිපයක් පස්සට ඇදී ගොස් පසුගිය 1 වැනිදා සිට ගාස්තුව ඉහළ නැංගේය.

ගාස්තු වැඩිවීම 15%කින් සිදු වන බව කිව්වත් ඇතැම් ගාස්තු අවස්ථා 60%ක් පමණ දක්වා ඉහළ නැඟ තිබුණි. උදාහරණ ලෙස රුපියල් 25කට තිබූ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 40ක් දක්වා 60%කින් ඉහළ නැඟීම දැක්විය හැකිය.

එසේම රුපියල් 100ක් වූ ගාස්තුව මේ අනුව වැඩි විය යුත්තේ රුපියල් 115ක් ලෙස වන නමුත් එය රුපියල් 130ක් පමණ දක්වා වැඩි වී තිබුණි. ඒ අතර කොළඹ සිට කිළිනොච්චියට රුපියල් 300ක් වූ ගාස්තුව රුපියල් 345ක් ලෙස 15%කින් වැඩි විය යුතු වූ නමුත් රුපියල් 300 සීමාවේ ම තිබුණි.

පැමිණිලි කරන්න දුරකථන අංකයක්

බැලූ බැල්මට මෙය මහා අණ්ඩර දෙමළයකි. ගාස්තු වැඩි කිරීම පැටලිලි සහගතය. එය මඟී ජනයාට පැහැදිලිව පෙනෙන සත්‍යයයි. මේ නිසා වාර ප්‍රවේශ පත්‍ර මිල දි ගැනීමට ගිය මඟීන් දුම්රිය ස්ථානාධිපතිවරුන් සමඟ උණුසුම් වචනද හුමවාරු කර ගත්හ. දුම්රිය ගාස්තුවේ ඇත්ත තත්වය කුමක්ද?

60%ක් පමණ දක්වා වූ ලෙසින් ගාස්තුව වැඩි වූයේ කෙසේද? මේ සඳහා ඇමැතිවරයා 2018 අගෝස්තු මස 24 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අනුමැතිය ලබා දුන්නේද?

දුම්රිය දෙපාර්තමේන්තුව, ගාස්තු වැඩිවීම සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීමට දුරකතන අංක දෙකක්ද ලබා දුන්නේය. නිවැරැදි ලෙසින් වැඩි කෙළේ නම් පැමිණිලි කිරීමට අංක ලබා දුන්නේ ඇයිද යන්න කෙනකුට මතුවිය හැකි සාධාරණ තර්කයකි. මේ ජරමරය ගැන දුම්රිය මඟීන් මෙන්ම පාඨකයන්ද දැනුවත් කිරීම උදෙසා අපි ඒ පිළිබඳ විමර්ශනයක යෙදුණෙමු.

දුම්රිය දෙපාර්ත‍මේන්තුව ගාස්තු සංශෝධන ක්‍රියාදාමය ආරම්භ කර ඇත්තේ 1926 වසරේ සිටය. එතැන් සිට මේ දක්වා දුම්රිය ගාස්තු අය කෙරෙන්නේ දුර අනුවය. 70 දශකයේ අග භාගය දක්වා ඒ දුර ගණනය කෙළේ සැතපුම්වලිනි. සැම දුම්රිය ස්ථානයකටම සැතපුම් අංකයක්ද හිමිව තිබුණි. සැතපුම් ගණනය කෙරෙන්නේ කොළඹ මරදාන දුම්රිය ස්ථාන‍යේ සිටය. උදාහරණ ලෙසින් රාගම දුම්රිය මංසන්ධියට සැතපුම් ගණන 9 කි. එම නිසා එම දුම්රිය ස්ථානයට හිමි අංකය 1009 වේ. ගම්පහ දුම්රිය ස්ථානයට හිමි වූයේ 1016 වන අතර වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 1023 හිමි විය. ඒ දුර අනුවය. ප්‍රධාන මාර්ගයේ හෙයින් එක් දහස් ගණන්වලින් මෙය ආරම්භ වන අතර මීගමුව මාර්ගයේ නම් ඒ අංකය හිමි වන්නේ 4025. 4029 ආදි වශයෙනි.

කිලෝමීටර භාවිතයට ගැනීමත් සමඟ දුර ගණනය කිරීම ද කිලෝමීරයට අනුව සිදු කෙරිණි.

දුම්රිය ගාස්තු සංශෝධනයකදී (අඩු හෝ වැඩි කිරීමක් විය හැකිය) ඒ ගණනය කිරීම සිදු කෙරෙන්නේ එක්තරා චක්‍රාකාර ක්‍රමයටය. එනම් බොහෝ දුරට වර්තමාන විදුලි බිල්පත් හෝ ජල බිල්පත් හෝ ගණනය කරන අයුරින්ය. එහෙත් ජල හා විදුලි බිල්පත් භාවිතය වැඩි වන විට ඒකකට අය කිරීම සිදු වන නමුත් දුම්රිය ගමනාගමනයේදි දුර වැඩි වන විට ඒකකයට (කිලෝමීටරයට) අය කිරීම අඩු වේ.

මේ ගණනය කිරීම කලාප 5කට බෙදා සිදු කෙරේ.

පළමු කලාපය ලෙස අදාළ ඕනෑම දුම්රිය ස්ථානයක සිට කිලෝමීටර් 10ක් දක්වාය. දෙවන කලාපය ලෙස දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 11 සිට 50 දක්වාය. තුන්වන කලාපය ලෙස කිලෝමීටර් 51 සිට 100 දක්වාය. 4 වන කලාපය ලෙස කිලෝමී‍ටර් 101 සිට 200 දක්වාය. 5 වන කලාපය සිට කිලෝමීටර් 201න් ඔබ්බටත් ගණනය කිරීම් සිදු කෙරේ.

මේ ගුණන වගුව යටතේ පළමු කලාපයට මේ දක්වා එක් කිලෝමීටරයට අය කෙළේ රුපියල් 1.10 කි. දෙවන කලාපයට කිලෝමීරයට රුපියලකි. තුන්වන කලාපයට කිලෝමීරයට ශත 85 කි. හතරවන කලාපයට කිලෝමීරයට ශත 65 කි. පස්වන කලාපයට කිලෝමීරයට ශත 50 කි.

ගාස්තු නැංවීමේ සාම්ප්‍රදායික ක්‍රමය

ඒ අනුව කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 15ක දුරකින් පිහිටි දුම්රිය ස්ථානයකට ගමන් කරන මඟියකුට ගෙවිය යුතු ගාස්තුව වූයේ පළමු කිලෝමීටර් 10ට රුපියල් 1.10 ක් හා දෙවන කිලෝමීටර් 5ට රුපියලක් වන එකතුව ආසන්න ඉහළ රුපියල් 5 ගුණාකාරයට යමිනි. ඒ අගය 11.00+5.00 = 16.00 (වැටයීමේදී රුපියල් 20.00කි)

මේ ගණනය කිරීම එදා සිට අද දක්වාම දුම්රිය දෙපාර්තමේන්තුවේ ගාස්තු සංශෝධනයේදී ක්‍රියාත්මක කෙරෙන අතර මෙවරද ක්‍රියාත්මක කර ඇත්තේ ඒ හරහාය. මෙවර ගාස්තු වැඩි කිරීම ගණනය කිරීමේදි කිලෝමීටරයකට අය කළ රුපියල්1.10 ක මුදල 15%කින් වැඩි කර ඇත. ඒ වැඩි කිරීමේදී රුපියල් ආසන්න ඉහළ ශත 10ට කිලෝමීටරයට අය කිරීම අගයා ඇත.

15% වෙනස් වූ ආකාරය

ඒ අනුව පළමු කිලෝමිටරයට වැඩි කළ 15%ක මුදල(1.10 X 15%) රුපියල් 1.26ක් විය යුතු වන අතර වැඩි කිරීමේදී ආසන්න ඉහළ ශත 10ට අගයා රුපියල් 1.30ක් ලෙසින් ගණනය කර පළමු කිලෝමීටර 10ක පිහිටි දුම්රිය ස්ථානයට ගමන් කරන්නකුට කිලෝමීටර් 10 කිලෝමීටරයට අය කරනු ලබන මුදල (රු. 1.30) ලෙසින් ගාස්තු නිර්ණය වන අතර, රුපියල් 13.00 ගාස්තුව ආසන්න ඉහළ රුපියල් 5 ගුණාකාරයට අගයා රුපියල් 15ක් ලෙසින් ගණනය කර ඇත‍.

උදාහරණයක් ලෙසින් කොළඹ කොටුවේ සිට රාගම දක්වා කිලෝමීටර් 16ක පමණ දුරක් තිබෙන හෙයින් පළමු කිලෝමීටර 10ට රුපියල් 13.00ක්ද දෙවන කිලෝමීටර් 7ට රුපියල් 1.20 ගණනේ රුපියල් 1‍.20 X 6 = 7.20 රුපියල් 20.20ක් වන අතර එය ආසන්න ඉහළ අගයට වැටයීමේදී රුපියල් 20.20 රුපියල් 25ක් ලෙසින් අය කෙරේ.

කොළඹ සිට ගම්පහට ගමන් කරන්නෙකුට ඒ අනුව පළමු කිලෝමීටර් 10ට රුපියල් 13ක් හා ඉතිරි කිලෝමීටර් 19ට රුපියල් 1.20 බැගින් රුපියල් 22.80ක් අය කිරීමෙන් ගම්පහ දක්වා ගාස්තුව රුපියල් 13.00+ 22.80 ක් එනම් 35.80ක් ලෙසින් ගණනය කර ඉහළ ආසන්න රුපියල් 5ට වැටයීමේදී රුපියල් 40.00ක් ලෙසින් ගණනය කෙරේ.

මේ අයුරින් කිලෝ මීටර් 100ක් දුරින් පිහිටි දුම්රිය ස්ථානයකට ගමන් කිරීමේදී පළමු කිලෝමීටර් 10ට රුපියල් 13ක් ද දෙවන කිලෝමීටර් 50ට රුපියල් 1‍20ක් බැගින් රුපියල් 60ක්ද, ඉතිරි කිලෝමීටර් 40ට එක් කිලෝමීටරයට රුපියලක් බැගින් රුපියල් 40ක්ද, එකතු කර ප්‍රවේශ පත්‍රයේ මිල වන්නේ 13.00+60.00+40.00 ලෙසින් රුපියල් 113.00කි. එය ඉහළ ආසන්න අගයට වටයා රුපියල් 115ක් වේ. මේ අයුරින් දෙවන පන්තියේ කිලෝමීටරයක් වෙනුවෙන් රුපියල් 2.30ක්ද 1 වන පංතියේ කිලෝමීටරයක් වෙනුවෙන් රුපියල් 4.20 ක්ද ලෙසින් පළමු කලාපයට ගණනය කිරීම් සිදු කර ඇත.

දුම්රිය ප්‍රවේශපත්‍ර මිල වැඩි වූයේ ඒ අයුරිනි. එහෙත් මඟීන් බලාපොරොත්තු වූයේ තමන්ගෙන් මෙතෙක් අය කළ ප්‍රවේශප ත්‍රයෙන් 15%ක් පමණක් වැඩියෙන් අය කරමින් නව ප්‍රවේශ පත්‍රය ලැබෙනු ඇතිය කියාය. දුර අනුව ගණනය කිරීම යනු ආයතනික වශයෙන් මෙන්ම තාක්ෂණික ලෙස ද විධිමත් ක්‍රමවේදයකි. එසේ වුව මඟියා ‍මේ ක්‍රමයෙන් අන්දුන්කුන්දුන්ය.

මඟියාට දුර අනුව ගණනය කිරීම හෝ කිලෝමීටරයකට අය කිරීම හෝ ආසන්න අගයට වැටයීමෙන් වැඩක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ තමන්ගේ පොකැට්ටුවට වැයවෙන ග‍ණන ගැන දැන ගැනීමටය.

මඟියා 15%ක් වැඩියෙන් ප්‍රවේශ පත්‍රයක මිල වැඩිවීම බලාපොරොත්තුව සිටින වි ට එය 40%ක් 50%ක් 60% වූ විට තරු විසිවූයේ එබැවිනි. එකම පවුලේ ස්වාමියා හා භාර්යාව සේවයේ යෙදි සිටී නම් මේ අවස්ථාවේදී ඔවුන් දැඩි අසීරුතාවකට පත් වනු ඇත.මේ ගාස්තු චක්‍රය කෙසේ වුවත් ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 15%ක් පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

එසේ වුවත් රුපියල් 20.10ක් වන ගාස්තුව රුපියල් 25.00ක් ලෙසින් වැටයීම මෙන්ම රුපියල් 35.20ක් වන ගාස්තුව රුපියල් 40.00ක් ලෙසින් අය කිරීම කෙතරම් යුක්ති සහගතද සාධාරණය යන්න ගැන සිතිය යුතුය.

පහසුකම් වැඩි නොකර මේ ලෙසින් ගාස්තු පමණක් වැඩි කිරීම ගැන මඟී ජනතාව නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. අවම වශයෙන් දුම්රිය ප්‍රමාදය අවම කිරීම හෝ දුම්රියේ අත්‍යවශ්‍ය පහසුකම් පවා නොතිබීම ගැන දුම්රිය බලධාරීන් මීට වඩා සිතිය යුතුය.

අනුග්‍රහය දිනමිණ ජාතික පුවත් පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *