අද දිනයේ වැඩිම වර්ෂාව නෙළුවට ගිං ගගේ ජලමට්ටම ඉහළට

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ගාල්ල, ගිංගගේ ජල පෝෂක ප්‍රදේශයක් වන නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අද (19) පෙරවරුවේ නොකඩවා ධාරා නිපාත තද වැසි ඇද හැලුන බව නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී චින්තක නලින් කුමාර මහතා ප්‍රකාශ කළේය.

අද (19) පෙ.ව 5.00 සිට 8.00 දක්වා පැය 03 ක කාලය තුල මිලිලීටර් 160 ක වර්ෂාපතනයක් ලැබුණ බවත් සවස් වන තුරු කඩින් කඩ වැසි වැටෙමින් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

මේ වන විට නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 21 ක් ආපදාවට ලක් ව පවුල් 85 ක් අවතැන්ව සිටින බවත් ඔවුන්ට කඩිනමින් සහන සලසමින් සිටින බවත් නෙළුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි.

නෙළුව ප්‍රාදේශීය සභා බල සීමාවට අයත් අප්පිටිය, පිංකන්ද ආදී ප්‍රදේශවල නාය යෑම් වලින් හා ගස් කඩා වැටීමෙන් නිවාස 07 කට හානි සිදුව තිබෙන බවත් එම නිවාස වල බිත්ති පුපුරා ගොස් තිබෙන බවත් නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ගමගේ මහතා සදහන් කළේය. නෙළුවට අයත් බටුවංගල පාර, මාවනාන පාර, දූලි ඇල්ල පාර සම්පූර්ණයෙන්ම යට වි තිබෙන අතර ඒ නිසාම එම මාර්ග ඔස්සේ පිවිසෙන ගම්මාන වල ජනතාවද පීඩාවට පත් ව සිටින බවත් ඒ මහතා සදහන් කළේය.

පැලවත්ත – නෙළුව මාර්ගය හා මොරවක – නෙළුව මාර්ගය ගස් කඩා වැටීමෙන් අවහිර වී තිබෙන බවද  නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ගමගේ මහතා සදහන් කළේය. මේ වන විට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල ආපදා සහන ඒකකය, යුද්ධ හමුදාව, නාවික හමුදාව හා එක්ව නෙළුව ප්‍රාදේශීය සභාව අවතැන් වූ ජනතාවට සහන සලසමින් සිටින බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

අද (19) උදෑසන නෙළුවට ඇද හැලුන වර්ෂාව හේතුවෙන් ගිංගගේ ජල මට්ටම සවස් වන විට ඉහළ යා හැකි බැවින් ගිංගග අවට ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දුන් බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා අද (19) සවස ප්‍රකාශ කළේය.

අද (19) පෙ.ව 5.00 සිට 8.00 දක්වා නෙළුවට ඇද හැලුන වර්ෂාවෙන් නෙළුව, බටුවංගල, මාවනාන, දූලි ඇල්ල මාර්ග හා ප්‍රදේශ ජලයෙන් යට වි තිබුණ අයුරු සහ ගිංගගේ ජල මට්ටම ඉහළ නැග ඇති අයුරු ඉහත ඡායාරූප වල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *