සදාහරිත “කොට්ටව” වැසි වනාන්තරයට යමුද..හරිම සුන්දරයි!!

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වසම තුල පිහිටි මෙම වනාන්තරය හෙක්ටෙයාර 435ක ප්‍රමාණයකින් යුක්ත වේ.

කොට්ටව වනාන්තරය දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුල නගරයට ආසන්නව පිහිටා ඇත. මෙය ගාල්ල උඩුගම මාර්ගයේ කි.මී. 13ක් ගමන් කලවිට හමුවන දැකුම්කලු තෙත් කලාපීය සදාහරිත වැසි  වනාන්තරයකි. යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වසම තුල පිහිටි මෙම වනාන්තරය හෙක්ටෙයාර 435ක ප්‍රමාණයකින් යුක්ත වේ.

ලංකාව තුල සංරක්ෂණ වනාන්තර ලෙස දැනට හඳුනාගෙන ඇති වනාන්තර වලින් එකක් වන මෙම වනාන්තරය අධ්‍යාපනික, පර්යේෂණ හා ජෛව ව්ද්‍යාත්මක වැදගත් කම අතින් ඉතා ඉහල ස්ථානයක් ගනී. “ජාතික සංරක්ෂණ විමසුමට” අනුව ඉහල ප්‍රමුඛත්වයක් දී සංරක්ෂණ කළයුතු වනාන්තරයක් ලෙස නම් කර ඇත. අධ්‍යාපණික හා පර්යේෂණ කටයුතු සඳහාම වෙන් කල හෙක්ටෙයාර 10 ක ස්වාභාවික වන උද්‍යානයක් මෙම වනාන්තරය තුල ඇත.

මෙම වනාන්තරයට යාබදව තොරතුරු මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යනු ලැබේ. එමගින් දේශීය / විදේශීය සංචාරකයින්ට හා පාසැල් සිසුන්ට වනාන්තරය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මෙන්ම වන විද්‍යාත්මක තොරතුරු ලබා දීමද සිදු කරනු ලබයි. මහජනතාව සඳහා අවශ්‍ය පැල මිලදී ගැනීම සඳහා පැල තවානක්ද එම ස්ථානයේ පවත්වාගෙන යනු ලැබේ. මෙම වනාන්තරය තුල නාග ආරණ්‍යය හා මලුවේගොඩ ආරණ්‍යය සේනාසනද පිහිටා ඇත.

මෙම රක්ෂිතය තුලින් තුන්දොල, දුනුකෙයියා දොල, හල්දොල, උඩුමුල්ල දොල ගලා බසින අතර පොල් අතු මෝදර ගඟේ ජලපෝෂක ප්‍රදේශය ලෙසද ක්‍රියා කරයි. මෙම වනාන්තරය තුල පිහිටි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන ජල පොකුණු ද ප්‍රදේශ වාසීන් හා සංචාරකයින් වෙත මහඟු සේවයක් ලබා දෙයි. වන උද්‍යානය හැර ඉතිරි වනාන්තර කොටස් 1968 දී රාජ්‍ය දැව සංස්ථාව විසින් දැව ඉවත් කිරීම සිදු කර ඇති අතර මහජනතාවගේ බලපෑම් මත අනවසර ක්‍රියාමගින් ද වනාන්තරයට හානි පැමිණ ඇත.

මිහිදුම් තිර පට විකසිත වී ඇත.හිරු කිරණ තවමත් සිප ගන්නේ තුරු මුදුන් අගිසි ය. ළපටිම ළපටි පත්‍ර ලා කොළ පැහැයෙන් දිස්න දෙන්නේ ඒ පත්‍ර අඟ රැඳි පිණි බිඳුවල බර ද දරා ගනිමිනි. ලහිරු අරුණාලෝකය කෙමෙන් කෙමෙන් මිහිමතට වැටෙන්නට පටන් ගත්තා පමණකි. සනීපවත් මඳ සුළඟ ඇගේ හිරි ගඬු පුප්පවමින් හමා ගියේ තුරුලතා වලට නොරිදෙන පරිද්දෙනි. වස්සාන සමය නිසාම ගස් කොළන් මලින් පලින් හා පත්‍රවලින් බර ය. සශ්‍රීක ය. තබන අඩිය මඳක් පොළවේ එබෙන තරමට පොළොව තෙතමනයෙන් යුතුය.

තවමත් කුරුලු කූජන ආරම්භ වුයේ නැත. ඉඳහිට ඇසෙන පොල් කිච්චාගේ ළයාන්විත ගී නාදයත් ඊට සිහින් රාවයෙන් පිළිතුරු බඳින ශෝකී සුමිහිරි ගී හඬත් ඇරෙන්නට කුරුලු ලොව සාමාජිකයන් තවමත් කලබලයෙන් තොරය. දහවල තම නිදන තැන සොයනා වවුල්ලු ඉඳහිට මඟවැරදී නැවත කලබලයෙන් පියඹා යති. අරුණලෝකය උස ම තුරු අගින් එබී තැනින් තැන තම අණසකට යට කරගන්නට යත්න දරයි.

සිහිල් සීගතුව දරාගෙන ම තුරුවියන යටින් මම චිරි චිරි හඬින් පෑගෙන මඬවල සනීප පහස විඳිමින් වනය ඇතුළට ඇවිද යන්නෙමි. මහපොළාව මා පය පහස දරා ගන්නේ අසීමිත සෙනෙහසකින් යුතුව බැව් දෙපතුළට දැනේ. සිත පුරා පැවැති කලබලය, නොසන්සුන් බව මහවනය පවරා ගත්තාක් වැනිය. නිහඬ ශාන්ත බවකින් කය වෙළී යයි. සිත නිවන ගත සුවපත් කරවන්නාවු මේ වනාන්තරය සත්තකින්ම සුන්දරය.

ආදරයෙන් එකිනෙකට වෙළී වියනක් ව හිරු කිරණ මිහිතලය මතට වැටීම වළක්වන තුරු ලතාවෝ වනයට එක්කරන සිසිලස නිසාම කොට්ටව වනයට වැදෙන කිසිවකුට කාලවේලාව ගතවනු දැනෙන්නේ නැත. කොට්ටව වන පෙතට ඇතුළුවන ඔබට මඳ දුරක් ගිය ඉනික්බිති විවිධ දිශාවන්ට විහිදුණු කුඩා මංපෙත් කිහිපයක් හමු වේ.

නිල පැහැයෙන් බබළන වෘක්ෂලතා වියන ඔස්සේ ඈතට දිව යන,කැලයේ අසිරියම නරඹන්නට පැමිණෙන්නන් වෙනුවෙන් එහි එක් මඟක් වෙන් වී ඇත. තව මඟක් වෙන් වනුයේ තේ වගාවක් වෙතය.මේ ආදි වශයෙන් වනාන්තරයට ගමන් කළ හැකි ස්ථාන රැසකි.

ස්වභාවික ජල තටාකය සුන්දරය.සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට පාත්‍රවන ස්ථානය මෙයයි. දෙස් විදෙස් සංචාරකයන් බහුල වශයෙන් කොට්ටව කැලය වෙත එන්නේ මේ තටාකයේ ගිලී දිය නැම සඳහාය.

වනාන්තරයේ සුන්දරත්වය ආහා කරන්නාවු අපට කැලයේ කුරුල්ලන් පි‍්‍රයකරන ඔබට කුරුලු පාරාදීසයකි. ටිකෙන් ටික ඉර මුදුන් වෙද්දී කලබලයෙන් සරන කුරුල්ලන්ගේ නෙක නාද රටා වලින් මුළු වනයම පිරෙයි. තියුණු නාද, සිහින් ගීතවත් නාද, සුසුම් ලෑම්, කෙදිරි ගෑම් පමණක් නොව තම පෙම්බරිය වෙනුවෙන් ගී ගයන කුරුල්ලන්ගේ අපුරු ළයාන්විත ගී මේ වනයට ආගන්තුක නොවේ.

මේ දිනවල ලංකාවට සංචාරය පිණිස පැමිණ සිටින නිල් බිඟුහරයා මෙහි බහුලවම දක්නට ලැබේ. ඊට අමතරව අළු කෑදැත්තන්, කොට්ටෛීරුවන්, අළු ගිරවුන්, පිළිහුඩු වර්ග හතරම, කළු කොණ්ඩයා, සැළලිහිණියා, බටගොයා උලමා, බකමුණා, හබන් කුකුළා මෙන්ම වලි කුකුළා ද කොට්ටව වනයට ආගන්තුක නොවේ.මේ සියල්ලෝම අප ඔබ එහි එන තුරා බලා සිටිනාක් මෙන්ය.

මේ වන වඳුලේ තැනින් තැන ගලා බසින කුඩා දිය දහරා හි විවිධ මත්ස්‍ය වර්ග ද වාසය කරති. දණ්ඩියා, බුලත් හපයා, හඳයා ඇතුළු මත්ස්‍ය වර්ග කිහිපයක් ම මෙහි නිත්‍ය වාසීන්ය.ගැමි සුවඳ මුසු වු ඒ දිය කඩති අප ගම රට අතීත දක්වා ඇදවාගෙන යයි. පහතරට තෙත් කලාපීය සදාහරිත බව රැකෙන්නේ විවිධ උඩවැඩියා, මීමන ආදී ශෘක විසින් වියන ලද උඩුවියන හේතුවෙනි. ඒවා කැලයට එක්කරන අලංකාරය සිතා ගැනීමට නොහැකිය. නෙක තුරුලතා කොට්ටව වනයට එක්කරන මිහිරියාව, සදාහරිත බව අම්ලය.

හිරු බැස යන්නට සුදානම්ව රාස්සිගේ අව්ව තුරු වියන යටින් තැනින් තැන වැටෙන්නට විණි. එතරම් වේලාවක් කොට්ටව කැලයේ ගත කළා දැයි සිතේ. ජල තටාකයෙන් සිහිල් වූ ගත තවමත් නැවුම්ය.මේ සොදුරු වන අරණ තුල සිත සමාධිගත කරවන්නට ඔබටත් මෙහි පහසු විදින්නට යා හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *