කොළඹ තෙත් බිම්වල තත්ත්වය තවමත් අවධානම්

මල්වතු ඔය ව්‍යාපෘතිය නිසා මහා ව්‍යාවසනයක්

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ ගාල්ල

කොළඹ තෙත් බිම්වල තත්ත්වය තවමත් අවධානම් පවතින බව නව තම සමික්ෂණයකින් හෙළි වී ඇති බව, ශ්‍රී ලංකා දේශගුණ හා වනාන්තර ක්‍රියාකාරී ජාලය සභාපති චතුර වැලිවිටිය මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාවේ NTPC ආයතනය එක්ව කෙලවරපිටිය ඉදිකිරීමට නියමිත මෙගා වොට් 500ක ද්‍රව ස්වාභාවික වායු (LNG) විදුලි බලාගාරයට අදාළ සමූහ ව්‍යාපෘතියේ හා පාර්ශවකරුවන්ගේ ගිවිසුමට අදාළව බලශක්ති හා පුනර්ජනන ශක්ති අමාත්‍යය  රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඉදිරිපත් කල ව්‍යපෘති යෝජානව කැබිනට්ටුව මගින් සම්මත වී ඇති බව අපට දැනගන්නට ලැබුණි.

තවද අංක 47 දරන ජාතික පරිසර පනතේ 24 C පරිච්ඡේදය යටතේ මුතුරාජවෙල ස්වාරක්ෂක කලාපයේ පරිසර සංරක්ෂක කලාපයක් ලෙස ගැසට් කරන ලද අක්කර 100ක භූමි ප්‍රමාණය ගැසට් පත්‍රයෙන් ඉවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

RAMSAR සම්මුතිය යටතේ මුතුරාජවෙල ජෛව විවිධත්ව උණුසුම් කළාපයක් හා RAMSAR කලාපයක් ලෙස නම් කර ඇත. මෙම ස්ථානය මිනිසුන්ගෙ ආක්‍රමණ, කඩොලාන විනාශය, භූමි ගොඩකිරීම වැනි ව්විධ හේතු නිසා අනතුරට භාජනය වී ඇත. මෙලෙස තෙත්බිම් ගොඩකිරීම හා විනාශ කිරීම හේතුවෙන් මූලික ලෙස ජෛව විවිධත්වය විනාශ වේ. විශේෂයෙන් ශාක විවිධත්වය නැතිවීම හා වන ආවරණය ඉවත් වීම දේශගුණික විපර්‍යාසයන්ට දැඩි ලෙස බලපායි. එමගින් ගෝලීය උෂ්ණත්වය තව දුරටත් සීඝ්‍ර ලෙස ඉහළයයි.

දැනට මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම කලාපය පරිසරය සංරක්ෂක කලාපයක් ලෙසට ප්‍රකාශයට පත් කලද ඔවුන් මෙම වැදගත් තෙත් බිම් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇත.

මෙවැනි තත්ත්වයන් සමකයට ආසන්න අප වැනි රටකට දැඩි බලපාන අතර රටේ හා ජනතාවගේ අනාගතය ගැන සිතමින් පවතින තෙත් බිම් සංරක්ෂණය හා ස්වාභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා සුදුසු කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලාධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පවසයි.

දේශගුණික විපර්යාසවලට අත වනන පහළ  

දේශගුණික විපර්යාසවලට අත වනන පහළ  මල්වතු ඔය ව්‍යාපෘතිය නිසා මහා ව්‍යාවසනයක් සිදුවන බව, ශ්‍රී ලංකා දේශගුණ හා වනාන්තර ක්‍රියාකාරී ජාලය සභාපති චතුර වැලිවිටිය මහතා පවසයි.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වසරකට හෙක්ටයාර 8000ක ප්‍රමාණයක වනාන්තර විනාශ වන බව ගණනය කර ඇත. නොයෙකුත් දේශපාලන හා ලාභ පරමාර්ථ මත ව්‍යාපෘති ක්‍රියාත්මක කළද වනාන්තර සම්පත් තිරසාර ලෙස භාවිත නොකිරීම නිස අප රට සුවිසල් අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මල්වතු ඔය නිම්නයේ ගංවතුර පාලනය කරමින් යෝධ වැව හා අකතිමුරුප්පු යන වැව්වල ජල ධාරිතාව වර්ධනය කර ඒ හරහා ඉහත වැව් මගින්  පෝෂණය වන වගා බිම් අස්වන්න ඉහළ නැංවීමයි. මේ සම්බන්ධව පිළියෙල කර ඇති පාරිසරික තක්සේරු ඇගයීම් වාර්තාවේ සිදුවන වන විනාශයට සුදුසු විකල්ප විසඳුම් ඇතුලත් වී නැත.

මෙම ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 4000 ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවේ. මෙහි 60% සිට 70% ක ප්‍රමාණයක් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංඟාධාර වනාන්තර හා ලඳු කැලෑ වලින් සමන්විත වන අතර විශාල ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. මෙහි හෙක්ටයාර 1893ක් නොයිඳුල් වනාන්තර හා හානි වූ වනාන්තර සහ හෙක්ටයාර 735ක් ලඳු කැලෑ වේ. මේ අනූව මුළු හෙක්ටයාර3700ක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා බිළි දෙනු ඇත. මෙලෙස විශාල පරිමාණයෙන් වන ආවරණය ඉවත් වීම ගෝලීය උණුසුම් වීම ඇතුළු දේශගුණික විපර්යාස කෙරෙහි සෘජුවම බලපායි.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීම විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති භූමියේ සිදු කෙරේ. මෙම ක්‍රියාව වන ජීවීන්ගේ වාසස්ථානවලට දැඩි සේ බලපාන අතර විශේෂයෙන් අලින් හා දිවියන්ගේ චර්යා රටාවට බලපායි. අලි මිනිස් ගැටුම් උග්‍ර වීමට මෙය ප්‍රධාන සාධකයක් විය හැකි අතර එම ජනතාවගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයට ලක් වී සිටින දිවියන්ගේ ජීවිත තව දුරටත් අවධානම් තත්වයකට භාජනය වේ.

තවද, මෙම ව්‍යාපෘතිය මගින් වන ජීවී දෙපාර්තුමේන්තුව හරහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට නව පිවිසුමක් තන්තිරිමලේ ප්‍රදේශයෙන් ඉදිකිරීමට යෝජනා වී ඇත. මෙහි අරමුණ වන්නේ මෙම වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංඛ්‍යාව ඉහළ නැංවීමයි. එමඟින් වන ජීවින්ට මෙන්ම පරිසරයට විශාල හානියක් සිදුවන බව පැහැදිලි වේ.

වන සම්පත්වලට දැඩි සේ හානි කරන මෙවැනි ව්‍යාපෘතිවලින් සිදුවන පරිසර හානිය තුරන් කර ස්වභාවික සම්පත් තිරසර ලෙස භාවිතා කිරීම කාලෝචිත වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *