“පුල්ලි ගොනා පුරුදුකාරයා”මම ජෙමා කරත්තකාරයා” කැරකෙන ලෝකේ කරත්ත රස්සාව

නවීන වාහන අතරේ පරිසර හිතකාමී කරත්ත වාහනය තවමත් ජීවිකාව කරගත් මිනිසුන්

පුල්ලි ගොනා පුරුදුකාරයා…මම ජෙමා කරත්තකාරයා…මේකයි මගෙ බරබාගේ.. පැයට සැතපුමයි වේගේ..ඹහෙලා හඳට යන්න හදනවා..වේගෙන් යන කාර් ලොරි තිබේ.මගේ පනම් හතර මට ලැබේ…මේකයි මගෙ බරබාගේ.. පැයට සැතපුමයි වේගේ..ඹහෙලා හඳට යන්න හදනවා..

අද මෙන් යාන වාහන ප්‍රවාහන පහසුකමි නොතිබුණු ඈත අතීතයේ  පැරැන්නන් වෙළ හෙළදාමේ ගියේද, වැඩිමතක් තම ගමන් බිමන් සඳහා උපයෝගි කර ගත්තේද ගොන් කරත්තයයි. නමුත් එදාමෙන්ම අදටත්, කිසිදු ආඩම්බරයක් නැතිව සාධාරණ අඩුම අඩුමිලකට කුළි රථ සේවාවක් පවත්වාගෙන යන ප්‍රවාහන සේවාවකි කරත් රස්සාව. කරත්ත සේවාව තුළ දැකිය හැක්කේ වෙනත් වාහනවල  ප්‍රවාහනය කරන්නට නොහැකිය කියන දේ පවා ප්‍රවාහනය කර දීමයි. ගමන හෙමින්ය. නමුත් ආරක්ෂාව උපරිම බවයි රටපුරා කරත්ත රස්සාව සිදු කරන කරත්ත රියදුරෝ අප සමඟ පැවසුහ. ලංකාවේ ගමක් නගරයක අඩුම තරමින් කරත්ත කරුවෝ එකේ සිට පහ දක්වා නැතිනම් පහේ සිට දහයකට ආසන්න පිරිසක් නිහඩව තම කරත්ත රස්සාවෙන් ජීවත්වේ.

දුර ලඝ යන මෙතරම් දුරක් ගෙවා යෑමේදි කාන්සිය නිවා ගැනිම සඳහා මේ කවි කිවේය.

කණ්ඩලේ දෙන්නා දෙපොලේ                  දක්වනවා

කටු කැලේ ගාලේ නොහිලා වද                    දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ                             දනවා

පවු කල ගොනෝ ඇදපන් හපුතල්                   යනවා

වයිර ගොනා දන ගහලා අදින                          කොට

මයිල ගොනා පැන්නයි පස්සට                       හොරට

මොනවා කරන්නද පුරුවේ කල                         පවට

පවු කල ගොනෝ ඇදපන් ගාල                       ගාවට

කලුගල් තලාලයි පාරට                           දමන්නේ

එම ගල් පෑගිලයි ගොන් කුර                ගෙවෙන්නේ

ගොනා නෙවෙයි හරකයි බර                     අදින්නේ

කිරිගල් පොත්ත කන්දයි මේ                   නගින්නේ

දුප්පත් කමට ගොන් බැද                       දක්වනවා

කන්නත් නැතිව රෑ දාවල්                 වෙහෙසෙනවා

ගොන්ටත් නොයෙක් වද දීලා               ගෙනියනවා

දැන්වත් දුකට දෙවියෝ පිහිටක්                 වෙනවා

අද නොදකින නමුදු නොයෙක් වර්ගයේ ගොන් බැඳි “කරත්ත” හෙවත් “කරෙත්ත” මෑතක් වනතුරු ම මඟතොටේදී දැකගත හැකිවිය. අදටද ලංකාවේ සමහර නගරවල කරත්ත රස්සාව කරන පිරිස් දැකිය හැකිය. ගොන් කරත්ත කිහිප වර්ගයකි. තනි ගොන් කරත්තය හෙවත් බරබාගය, බර කරත්තය, තිරික්කලය, බක්කි කරත්තය, ගමන් කරත්තය, මීගමු කරත්තය, ගාලු තිරික්කලය, රේස් කරත්තය හෙවත් තරක් කරත්තය වඩාත් ප්‍රචලිත වු කරත්ත විශේෂයි.තොරම්බල් කරත්තය,අලිකරත්තය,අත්කරත්තය,භූමිතෙල් කරත්තය ආදි වශයෙනි.

කරත්තයේ පුරාණය රෝ දය සොයා ගැනීම මානව සමාජයේ නිෂ්පාදන ක්‍රමවේදය නව මාවතකට යොමු කළ සන්ධිස්‌ථානයක්‌ විය. රෝදය රථයක්‌ කරා සංවර්ධනය වීමත්, විශේෂයෙන්ම සත්ත්ව ශ්‍රමය භාවිතයෙන් ගොඩබිම ප්‍රවාහනය සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳ මානවයාගේ සංකල්පනීය විශිෂ්ටත්වයේ සංකලනයක්‌ ලෙස ඉතිහාසයේ යම් අවධියක ‘කරත්තය’ භාවිතයට පැමිණ ඇත. මානව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, සංස්‌කෘතික හා වාග් විද්‍යාත්මක දෘෂ්ඨියක පිහිටා “කරත්තයක නැගී” ඉතිහාසයේ සිට අද දක්‌වා ඒමයි.

ඈත කාලයේ මිනිසුන් වහලුන් ලෙස යොදාගත් බොහෝ යුරෝපීය අතීත රාජධානි ආශ්‍රිතව දැවැන්ත ගල්, කුළුණු, එක්‌ ස්‌ථානයක සිට තවත් ස්‌ථානයකට ප්‍රවාහනය සඳහා සිය දහස්‌ ගණන් මිනිසුන් විසින් අදිනු ලැබූ කරත්ත භාවිත වූ බවට සාක්‍ෂි හමුවී තිබේ. වහල් සමාජයේ සිට පශ්චාත් වැඩවසම් සමාජ ක්‍රමය දක්‌වා, නූතන යුගයේ ආරම්භය දක්‌වාම කරත්තය සමස්‌ත සමාජ ක්‍රමය හා තදින් බැඳී තිබූ ප්‍රවාහන මාධ්‍ය විය. තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ ගැල් වල සිය වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව බෞද්ධ පොත් පත් වල ද සාහිත්‍යයේ සඳහන් වේ.

බෞද්ධ සාහිත්‍යයේම ගැල් සියයක්‌ එකට ඈඳා සැකසූ ගැල් වැලක්‌ නන්දිවිසාල  නම් ශක්‌තිමත් ගවයකු විසින් ඇදගෙන ගිය බව දැක්‌වෙන කතාපුවත්ක් පිළිබඳව සඳහන්වේ. බුදුන් වදාළ ධම්මපදයේ යමක වග්ගයේ දෙවන ගාථාව, අකුසල කර්ම විපාකය අදාළ පුද්ගලයා පසුපස ලුහුබැඳ එන බව දැක්‌වීමට චක්‌කංච වහතෝ පදං ලෙස ගැල උපමා ගත කරයි. කරත්තය කෙතරම් ප්‍රබල ලෙස ඉතා ඈත යුගයේදී පවා ජන ජීවිතයට සම්බන්ධ වී පැවතියේද යන්න වටහා ගැනීමට තවත් උදාහරණයක්‌ ලෙස  මැටි කරත්තය  නාට්‍යය පෙන්වා දිය හැකිය. මැටි කරත්තය ලෙස සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ශුද්‍රක නම් රජකු විසින් මෘච්ජ කටිකා ලෙස ක්‍රි.පූ. හය වන සියවසේදී පමණ රචනා කළ සංස්‌කෘත නාට්‍යයකැයි පිළිගැනේ.

ලංකාවේ තවලම නිසාව තවලම නම් ගමක් ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටියේ ය. එම කතාන්දරයද සුන්දර කතාන්දරයකි.තවලම් යන්නෝකතන්දරයද සුන්දර ය.

කෙසේ නමුත්, ශ්‍රී ලාංකීය වැඩවසම් සමාජය  පරීක්‍ෂා කිරීමේදී කරත්තයේ ඊට ඇති සම්බන්ධය දෘෂ්ඨී කෝණ කිහිපයක්‌ ඔස්‌සේ විග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවේ භවිතා වූ, දැනුදු ඉතා අල්ප වශයෙන් භාවිතා වන කරත්ත වර්ග ගණනාවක්‌ හඳුනා ගත හැක. නිර්ණායක ගණනාවක්‌ ඔස්‌සේ ඒවා වර්ගීකරණය කළ හැකි වුවද පොදුවේ සලකා බැලුවහොත් අත්කරත්තය, බර බාගය, බර කරත්තය, බක්‌කි කරත්තය, තිරික්‌කලය, රේස්‌ කරත්තය, අශ්ව කරත්තය, අලි කරත්තය, භූමිතෙල් කරත්තය, බණ කරත්තය ප්‍රධාන වශයෙන් දැක ගත හැක. රික්‌සෝව, එය ඇදගෙන යන්නා මිනිසා ලෙස භාවිතා වන කරත්ත විශේෂයකි.

( ලංකාවේ භාවිතා කරන ලද  සියලුම කරත්තවල ඡායාරූප  අප මේ විශේෂාංගයෙන් ඔබට ඉදිරිපත් කරයි)

එය මෑතක්‌ වනතුරුම කොළඹ නගරයේ ද දැක ගත හැකි වූ කෙටි දුර ගමන් සඳහා භාවිතා වූ ප්‍රවාහන මාධ්‍යයකි.

ඉන්දියාවේ බොහෝ නගරවල ද බංගලිදේශය වැනි සෙසු ආසියානු රටවලද අද ද රික්‌ෂෝ ජනප්‍රියය. පුටුවක්‌ වැනි කොටසකට රෝද දෙකක්‌ (පා පැදි රෝද තරමේ) සවිකර සකසා ගත් මගී අසුන ඊට ගැට ගැසූ දිග ලී දෙකක්‌ හෝ කඹ දෙපොටක්‌ ආධාරයෙන් ඇදගෙන දිවීම සාමාන්‍ය රික්‌ෂෝව වුවද, අද එය අදිනු ලබන්නාට පැදීම සඳහා බයිසිකලයක මට්‌ටමට එය නවීකරණය වී තිබේ. දුම්රියෙන් බැස නවාතැනට, නිවසට යැමට රික්‌ෂෝවක්‌ නවතා ගැනීම එකල මධ්‍යම පංතියේ ජනප්‍රිය භාවිතාවක්‌ව තිබිණි. රික්‌ෂෝ අදිනු ලැබූවෝ දිළින්දෝ වූහ. එහෙයින් රික්‌ෂෝව වටා ගොඩනැගුනු නිෂ්පාදන – පාරිභෝගික සබඳතාව අභිභවා ගිය පංතික සබඳතාවක්‌ ද අප සමාජවේ දැකිය හැකි විය.

ශ්‍රී ලංකාවේ, කරත්ත මිනිසුන් ප්‍රවාහනයට මෙන්ම බඩු ප්‍රවාහනයට ද සමානව දායක කරගෙන තිබේ.එය අදද හෙටද ඈත අඅතීතයේද සිදු කෙරිණි. ග්‍රාමීය ප්‍රභූ නිවෙස්‌ ආශ්‍රිතව බක්‌කි කරත්ත දැක ගත හැකි වූ අතර සාමාන්‍ය ජනයා සඳහා බර බාග, බර කරත්ත භාවිත වී තිබේ. තිරික්‌කලය පිළිබඳ මතවාද කිහිපයක්‌ ඇති අතර තිරික්‌කලය තනි පුද්ගලයෙකුට (ප්‍රභූ සමාජයේ) ගමන් බිමන් සඳහා නිපද වූ රථයක්‌ ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. ඉහළ වංශවත්, ප්‍රභූ නිවෙස්‌ ආශ්‍රිතව ගමන් බිමන් සඳහා අශ්ව කරත්ත භාවිතා වී ඇත. වි

මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ  ගම්පෙරලිය නව කතාවේ කයිසාරුවත්තේ මොහන්දිරම් සතුවද අශ්ව කරත්තයක් තිබු බව එහි සඳහන්වේ.

විශේෂයෙන්ම යටත් විජිත යුගයේ ආණ්‌ඩුකාරවරු, ඒජන්තවරු අශ්ව කරත්තවල යැම් ඊම් කළහ. ශ්‍රී ලාංකික රදළයෝද අසුන් එකා,දෙන්නා හෝ සිවුදෙනා විසින් අදිනු ලැබූ අශ්ව කරත්ත තම ගමන් බිමන් සඳහා භාවිතා කළහ. සිංහල අවුරුදු සමය ළඟාවත්ම, දැනුදු වුව ද සම්ප්‍රදායික වළං නිෂ්පාදන ශිල්පීන්ගේ නිෂ්පාදන පටවා ගත් වළං කරත්ත එම ගම්බිම්වල සිට දින කිහිපයක්‌ නගර කරා ගමනේ යෙදෙනු දැක ගත හැකිය.

තවලම, බර බාගය හා බර කරත්තය ප්‍රධාන වශයෙන් බඩු ප්‍රවාහනයට යොදා ගැනිණි. වංශවත් පුද්ගලයන් අලි කරත්ත භාවිතා කර ඇත්තේ වී, පොල් වැනි දෑ විශාල වශයෙන් පටවා ගෙන ඒම සඳහාය. අදිනු ලබන සතා කුමන සතකු වුවද කරත්තය එහි මූලික ආකෘතියෙන් බැහැර වී නැත. රේස්‌ කරත්තය එතරම් සුලභ නොවූ කරත්ත විශේෂයකි. විශේෂයෙන්ම සාම්ප්‍රදායික උත්සව අවස්‌ථාවල ග්‍රාමීය සමාජයේ පුරුෂ පාර්ශ්වයේ ශක්‌තිය, පෞරුෂය ප්‍රදර්ශනය සඳහා කරත්ත තරග පැවැත්වූ අතර රේස්‌ කරත්තය ඉතා සැහැල්ලු උපකරණයකි. ශ්‍රී ලංකාවේ ඇතැම් කොළඹ, ගාල්ල, යාපනය, ගම්පහ නාගරික ප්‍රදේශවල දැනුදු භූමිතෙල් කරත්ත දැක ගත හැකිවේ. කරත්ත වර්ග අතරින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වර්ග දෙකක්‌ වේ.

ඉන් පළමු වැන්න බණ කරත්තයයි. විශේෂයෙන්ම දකුණු පළාතේ, ධර්ම දේශනා සඳහා රාත්‍රි කාලයේ භික්‍ෂූන් වහන්සේ ගමකට වැඩමවීම සඳහා ඉතා හුරුබුහුටි ආකාරයෙන් තනා ඇති බණ කරත්තය රෝද හතරකින් යුක්‌තය. එය මිනිසුන් විසින් තල්ලුකරගෙන යනු ලැබිණි. අනික වේල් කරත්තයයි. ගාල්ලේ ද, යාපනයේ නල්ලූර් කෝවිල මෙන්ම මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල ඉතා විශාල වේල් කරත්ත සහිත හින්දු පූජනීය ස්‌ථාන වේ. හින්දු ආගමේ විශේෂ උත්සව අවස්‌ථාවලදී දේවරූප, ආභරණ තැන්පත් කර පූජා පවත්වමින් කොළඹ වීථි ඔස්‌සේ දැනදු පවා වේල් කරත්ත පෙරහැරින් ගෙන යනු ලබයි. මිනිසුන්ට අමතරව දැන් දැන් වේල් කරත්තය පවා ඇදීමට ට්‍රැක්‌ටර් භාවිතා කරනු දක්‌නට ලැබේ. මේ අනුව කරත්ත වර්ගය අනුව පාංතික, සංස්‌කෘතික, ප්‍රවාහන මගීන්ද භාණ්‌ඩ ආදි  විවිධත්වයන් දැක ගත හැකිය.

නූතන ඉතිහාසයේ කලා මාධ්‍යයන් තුළ කරත්තය ඉතා ප්‍රබලව නිරූපණය වේ. කරත්ත කවි එහි අතීත මූලයන් ගම්‍යමාන කරයි. “කරත්ත කාරයා” නිර්මාණය කරන්නේ කරත්තය විසිනි. කරත්ත කවිය, කරත්ත කරු හා කේන්ද්‍රීයව සමස්‌ත සමාජය පිළිබඳවම ජන විඥානය කැටිකොට ඉදිරිපත් කරන ආකාරය අපූරුය.

මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෘතිය, කරත්ත කරු හා එහි යන්ත්‍රය වන ගොනා කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ අගනා පද්‍ය සිත්තමකි. 1982 වසරේ කේ. වී. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ වතුර කරත්තය විවිධ ක්‍ෂේත්‍රවල නිර්මාණ කරුවන් මත මේ අපූරු වාහනය කළ බලපෑමට එක්‌ සාක්‍ෂියකි. බර බාගේ, පාරු පාලමෙන් මෙගොඩට, හනික යමං පුල්ලි ගොනෝ වැනි ගීතවල ජනප්‍රියත්වය පිටුපස කරත්තයේ බලපෑම ඇති අතර, ජන ජීවිතයේ විවිධ අවස්‌ථා සමඟ එහි අතර අවි යෝජනීය සබඳතාව ද විදහා දක්‌වන්නට සමත්වේ. ගැමිසුන්දරත්වය ද එක්වු විට කරත්තයේ නැගී යළිත් ගමනක් යන්නට හැකිදැයි සිතේ නන්දා පියල් බලදාස පරගොඩ පන්සල්ගියේ කරත්වල නැගිලාය ගම්පෙරලිය නවකතාවේ සඳහන් වේ.අදටද මේ විහාරය ගම්හා පාරවල් ඒආකාරයෙන්ම දැකිය හැකිය.

දෙරණ මාධ්‍ය ජාලයේ දිලිප් ජයවීර මහතා කුඩා කළ හා තරුණ කල සිටි අඟළුගහ මහගෙදර අසලින් කරත්ත ඇදෙන හඩ එතුමා පාසල් කාලයේද සරසවි කාලයේද දැකින්නට ඇත.  දෙනියාය, අකුරැස්ස,ගාල්ල,මාතර දක්වා මේ කරත්තයෝ ගමන් කළහ.

කරත්තය තව බොහෝ දේ සමාජයට නවතම කතිකාවක් ඇතිකරන්නට සමිත්ව තිබේ. භාෂාත්මකව, කරත්තය පදනම් කරගත් ප්‍රස්‌ථා පිරුළු රාශියක්‌ ඇති බව සිහිපත් කළ යුතුවේ.

මේ මොන බර කරත්තයක්‌ද,කරත්තෙ බැන්ද ගොනා වගේ, කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ,තවලමේ සිට අවලමේ ගියා වගේ. සාමාන්‍ය ගැමියෙකු අමතා තවකෙකු ඕයි  ලෙස කිවහොත්  තමුසෙ ඉස්‌සෙල්ලා කරත්තෙන් බැහැලා කතා කරනවා  යෑයි අනෙකා කියයි. ඒ කරත්ත කරුවන්ට විශේෂිත වූ ජනවහර පිළිබඳ කිසියම් ඉඟියකි.

කරත්ත නිපදවීම සඳහා වඩු කාර්මිකයන් හා කම්මල්කරුවන් සමව දායක විය යුතුය. කරත්ත රෝද මට්‌ටම් ගැසීම, ගෙඡ්ජිවැල් සැකසීම ආදී විවිධ අවශ්‍යතා ඒ අතර ප්‍රමුඛය. ගොනු කර ඇඹීම, හන ගැසීම, ලාඩං ගැසීම ආදී සේවා සැපයීමට විශේෂ ප්‍රාගුන්‍යයෙන් යුතු වූ පිරිසක්‌ අදටද අප ගම්මානවල දැකිය හැකිය. හරක් වෙදා කියා අදටද ඒ ඇත්තන්ට අප ගම්වල පිරිස් කියති. ලංකාවෙ පාලම් ඉදිකිරීමට පෙර, බොහෝ ගං තොට ආශ්‍රිතව පාලම්පාරු, ඉදි වී භාවිතා වී තිබේ. ඊට ප්‍රමුඛ හේතුව මෙගොඩ සිට එගොඩටත්, එගොඩ සිට මෙගොඩටත් කරත්ත ප්‍රවාහනයේ අවශ්‍යතාවයි.ලංකාවේ ලංගා ආශ්‍රිතව පුවාහන සංස්කෘතියක් ගොඩනැගිය හැකි වුයේ ඒ අනුවයි.

බොහෝ සිතියම් ආශ්‍රිතව මෑතක්‌ වනතුරුම කරත්ත පාර  ලෙස එක්‌තරා මාර්ග ශ්‍රේණියක්‌ සලකුණු කර තිබෙනු දැක ගත හැකිවිය. පාපැදියෙන් ඇරඹී, වෙනත් යාන්ත්‍රික වාහනවල ආගමනය තෙක්‌ කරත්තයට මානව සමාජය තුළ වූ ස්‌ථානය ලෙහෙසියෙන් බැහැර කළ නොහැක. ජනප්‍රිය සංස්‌කෘතිය තුළ නූතනයේදී පවා කරත්තය හෝ එහි අංගෝපාංග මතුවේ.

දැනටත් හෝටල්වල හා සංචාරක හෝ සමහර ගම් නගරවල ද කරත්ත දැකිය හැකිය. සංචාරක ආකර්ශන ප්‍රවාහන ක්‍රමයක් ලෙස ද කරත්ත අදටද ජනතාවට සේවාවන් සපයයි.  කොළඹින් බැහැර වුවද බොහොමයක්‌ “බූෆේ” පන්නයේ බොජුන් හල් වල කරත්ත රෝදයක්‌ හෝ බිත්තියකට හේත්තු කර තිබෙනු දැක ගත හැක. සංචාරක හෝටල් ඉදිරිපිට නවතා හෝ අධික මිලක්‌ ගෙවා විදේශිකයන්ට භාවිතයට ගත හැකි තිරික්‌කල, බක්‌කි කරත්ත නඩත්තු කරනු දැකිය හැක.

මංගල නගමන් වල මනාළ යුවඝට රැඟ දෙන්නට ද කරත්තය භාවිතා කරයි. මිල ගණන රුපියල් පන්දහසකි. පළාත් පාලන මන්ත්‍රිවරු, පළාත් සභාමන්ත්‍රිවරුද රජයට විරුද්ධව කෙරෙන උද්ඝෝෂණවලදී ද කරත්ත යොදා ගැනීමේ ප්‍රවනතාවක්‌ මෑතකදී ඉස්‌මතු විය. විටෙක ඇතැම් දේශපාලනඥයෝ පාර්ලිමේන්තුව ආගිය අවස්තා ඇත. එහි ඓතිහාසික බලපෑම නිසාම හරි හැටි හඳුනාගත නොහැකි එහෙත් සමාජීය ආර්ථික, සංස්‌කෘතික වැදගත්කමක්‌ කරත්තයේ ඇති බව අප පිළිගන්නා අයුරු ඉන් පෙනී යයි. මේ නිසා අපට ඒ කාලවල දී කරත්ත රස්සාව සරුයි මහත්යා යැයි රටපුරා කරත්ත කරුවෝ කියති.

ශ‍්‍රී ලංකාවේ කරත්තය කවදා ඇතිවුණි දැයි නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකිය. නමුත් මෙම රථයට කරත්තය  යන නම ලැබී ඇත්තේ පෘතුගීසි භාෂාවෙන්ය. කරත්තයේ අංග ද වැදගත්ය. කරත්තයේ යට ලණු වලින් සකස්කර ගත් පැසක් තිබේ. එය ගොනාගේ ආහාර වන පිදුරු හෝ වෙනත් ද්‍රව්‍යක් දමාගෙන යන මල්ලයි. කරත්ත පෙට්ටියක්ද කරත්තයේ තිබේ. මෙය කරත්යේ නඩත්තුව සඳහා ගනු දෙනු කිරීමේ දී අතේ ඉතිරිවන මාරුකාසි ඈත කාලයේ සතය සත පහ ආදි වශයෙන් දැමිම සිදුකර ඇති බව කරත්ත කරුවෝ පවසති.

කරත්ත ගමනකට  ඇතැම් විට දින කිහිපයක් ගත වේ. මෙසේ කරත්ත වලින් දින කිහිපයක් පුරා ගමකින් ගමකට ගමන් කිරීම තවලම ලෙස හඳුන්වයි. බොහෝ විට මෙසේ තවලමේ යන්නේ වෙළඳුන්ය.අප රටේ තත්ත්වය මෙසේ වුව ද අනෙකුත් රටවල කරත්ත වෙනස් ස්වරූපයක් උසුලයි. ඒවායේ ඇති කරත්ත සඳහා යොදා ගනු ලබන සත්වයින් වන්නේ බූරුවන්, පිණිමුවන්, බල්ලන් වැනි සතුන්ය. පෝනියන් බැඳි කරත්ත තවත් ජනප‍්‍රිය කරත්ත විශේෂයකි. නිතර නගර චාරිකාවන් කිරීම සඳහා මේවා යොදා ගනී. පිණිමුවන්,බල්ලන් බැඳි කරත්ත හිම වැටෙන ප‍්‍රදේශවල භාවිතා කරයි.එනම් ඇලස්කාව, සෝවියට් රුසියාව, අයිස්ලන්තය ආදී රටවල වේ. මේවා ස්ලෙජ් රථ  ලෙස නම් කර ඇත. මේවායේ රෝද නොමැත.

අප දන්නා පරිදි, කරත්තවලට ඉංග‍්‍රීසි බසින් කාට් (CART) ලෙස හඳුන්වයි. මෝටර් රථ නිපදවීමට පෙර එංගලන්තයේ මගීන් ගෙන යන ලද්දේ ස්ටෙජ් කෝච් නම් (STAGE COACH) අශ්වයන් 04 කු බැඳි කරත්තයෙකිනි. කරත්තය කෙසේ කවදා ඇති වුණි දැයි ඉතිහාසයේ ද සටහනක් නොමැත. එහෙත් ක‍්‍රි. පූ. 03 වන සියවසට අයත්  මිසරයේ සොහොන් ගෙවල්වල බිත්ති මත ඇඳී චිත‍්‍රවල මෙවැනි කරත්ත පිළිබඳ රූපයන් අදටත් දක්නට ඇත. එකල කරත්ත බහුල ලෙස යොදා ගෙන ඇත්තේ යුද කටයුතු සඳහාත් මිනී ගෙන යාම සඳහාත්ය.පුරාණයේ සිටම පැවත එන රථයක් වන කරත්තය අද වන විට කෞතුක භාණ්ඩයක්ව පවතී. අතීතයේ ගැල් වලින් දුරු කතර ගමන් ගන්නා විට ඇතිවන වෙහෙස නිවා ගැනීමට මිනිසුන් සීපද කීවේය. මේවා කරත්ත කවි ලෙස හඳුන්වයි. කරත්ත කවි අද වන විට භාවිතයේ නැති වුවද සාහිත්‍ය වටිනාකමක් දනවන අංගයක් වී ඇත.

ලංකාවේ ජීවත්වන අපට වැඩ වර්ජන නම් අරුමයක් නෙවෙයි.මේ දිනවල එවා දැකිය හැකිය.  එදිනෙදා ක්‍රියාවක් තරමටම වැඩවර්ජන අද අපට සමීප යි. බොහෝ විට අපත් එබඳු වර්ජනවලට සහභාගී වෙලා විවිධ ඉල්ලීම් ඉල්ලා සිටින්නට ඇති. ලංකාවේ වැඩවර්ජන ඉතිහාසය ගත්තොත්, ඒවායේ වාමාංශික දේශපාලන ඉතිහාසය ගැන ඇරෙන්න ලංකාවේ සිදුවූ ප්‍රථම වැඩ වර්ජනය ගැන කිසිවක්ම දන්නේ නැහැ. ප්‍රථම වැඩවර්ජනය කරත්තකරුවන්ට සිදු වූ අසාධාරණය නිසා ඇතිවිය.1906 වර්ෂය ගැන යි.

මේගැන සොයදී අපට හමුවන්නේ,  1901 දී ගොන් කරත්ත සංඛ්‍යාව 7000ක් පමණ වුව ද වසර නවයක් තුළ එය 23000 දක්වා ඉහළ නැඟ තිබුණා. කොළඹ නගරයේ සියලුම භාණ්ඩ ප්‍රවාහනය කළේ කරත්තවලින් බැවින් කරත්තකරු වාණිජ ලෝකය සමග දැඩි ලෙස සම්බන්ධ වී සිටි අතර, නගරයේ ප්‍රභූ පුද්ගලයන් ගේ හොඳ හිත දිනාගෙන රාජකාරි කිරීමට ද ඔවුන් වග බලා ගත්හ.

ට්‍රෑම් රථ ධාවනය ආරම්භ වීමත් සමග මෝටර් රථවලින් ගමන් කිරීම ද පටන් ගැනුණි. මහා මාර්ගවල වාහන ධාවනය කිරීම විධිමත් ලෙස පවත්වාගෙන යාම අවශ්‍ය කරුණක් විය. මාර්ග පහසුව සලකා කොළඹ නගර සභාව විසින් කරත්ත කරුවන්ට අලුත් නීතියක් පනවන ලදී. කරත්තයක් දක්කාගෙන යන අවස්ථාවේ බෝන් ලීයේ හෝ කරත්තය උඩ වාඩි වී යාම මෙම නීති අනුව තහනම් විය. මෙම නීතියට හසු වන කරත්ත කරුවන්ට දඩ ගෙවන්නට සිදුවන නිසා පොලිස් නිලධාරීන්ට අල්ලස් ගැනීමට අවස්ථාව උදාවන බව කරත්තකරුවන් ප්‍රකාශ කළහ. පන්දහසක් පමණ කරත්තකරුවන් 1906 අගෝස්තු මස දහතුන් වැනි දා මහා වැඩ වර්ජනයක් දියත් කළහ.  මේ සංඛ්‍යාත්මක ගණන පිළිබඳව සටහන් කීරීමේ දී කරත්ත කරුවාගේ බලය හා ප්‍රමාණය නිගමනය කළ හැකිය.

අතීතයේ ගැමියාගේ ජීවිතය සුවඳ වූයේ අව්‍යාජත්වයෙනි. සිරිත් විරිත්, චාරිත්‍රවාරිත්‍රවල පමණක් නොව ගැමියාගේ සමස්ත ජීවිතය පුරාවට ඒ අව්‍යාජකම පිරී ඉතිරී තිබිණ. ඔහු සිය ජීවනෝපාය කළේද අව්‍යාජත්වයෙනි. දහසක් දුක් ගැහැට මැද වුවද ගැමියා ඒ සියල්ල මිහිරක් කොට සැනසෙන්නට පුරුදුව සිටියේය. පුදුමය වූයේ ගැමියාට තම ජීවනෝපාය රැකගන්නට උපකාර කළ තිරිසන් සතා පවා තම ස්වාමියාගේ දුක හොඳින් හැඳිනූ ඒ දුකටම පදම් වෙමින් ජීවත් වීමය. කරත්ත රස්සාව ඊට කදිම නිදර්ශනයකි. සිංහල ජනකවිය තුළ කරත්තකරුවා විඳි දහසක් දුක් තැවුල් අපූරුවට සඳහන්ව තිබේ.

තාලෙට ඇසෙයි ගොනුගේ රහුගෙඩි සද්දේ

හිතට දුකයි ගොනු කර හැප්පෙන සද්දේ

කඳුවල ගොඩලි ඇති පාරේ වන මැද්දේ

පව් කළ ගොනුගෙ නහපොට දෑතට ඇද්දේ

ප්පත් කමට ගොන් බැඳ දක්වනවා

කන්නත් නැතිව රෑ දාවල් වෙහෙසෙනවා

ගොන්ටත් නොයෙක් වදදීලා ගෙනියනවා

දැන්වත් දුකට දෙවියොත් පිහිටක් වෙනවා

ජන කවිය තුළින් එලෙසින් කරත්තකරුවා විඳි දුක කියවෙද්දී ගීත කලාවටද කරත්තකරුවා වස්තු බීජයක් විය. හනික යමං පුල්ලි ගොනෝ  බයිස්කෝප් සිංදුවත් ගායන ශිල්පී සී.ටී. ප්‍රනාන්දුගේ බරබාගේ  ගීතයත් කරත්ත කරුවාත් ඔහුගේ ගමන් සගයා වන ගවයාත් විඳින දුක, වේදනාව පසක් කරදෙයි. නිහාල් නෙල්සන් ගායකයා ගයන්නේ, එපා එපා මස් කන්නට කිරි අම්මාගේ  යනුවෙන් ගීතයෙන් සමාජයට පණිවිඩයක් දෙන්නට උත්සාහ කළේය. සුනිල් එදිරිසිංහයන් ගයන බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ  යන ගීතයද ජනතාව ගව මස් කෑමෙන් වළක්වා ගැනීමට ප්‍රබල බලපෑමක් කරන්නට සමත් විය. ජීවනෝපාය රැකගන්නට ජීවිතය පුරාවට වෙහෙසන ගවයන්ගේ ජීවිතය මස් කඩයකින් කෙළවර වද්දී ස්පාඤ්ඤයේ වැනි රටක ගොන් පොර ක්‍රීඩා තුළින් ගවයන්ගේ ජීවිත ඉරණම තීන්දු වේ.අපේ රටේද අවුරුදු කාලයේදී කරත්ත රේස්ද දැකිය හැකිය.

ගමනාගමනය දියුණු නොවූ අතීතයේ ජනතාව තම ගමන්බිමන් අවශ්‍යතා බොහොමයක් සපුරා ගත්තේ කරත්තවලිනි. වන්දනාගමන් මෙන්ම මඟුල්, අවමඟුල් ගමන් සඳහා යොදාගත්තේද කරත්තයි. එම ගමන්වලදී කරත්තකරුවෝ වන්දනා නඩයේ කාන්සිය මඟහරවා ගැනීම සඳහා කරත්ත කවි ගායනා කළහ. එම ගමන්බිමන්වල තිබූ දුෂ්කරතා නිසාම ජනප්‍රිය කරත්ත කවි රාශියක් අපේ ජන කවි සාහිත්‍යයට එකතු විය.

ගාලු පළාතේ සිට කතරගම සහ තිස්ස බලා වන්දනාකරුවන් කරත්තවලින් හා පයින් පැමිණ ගමේ නුග ගසක් සෙවණේ හෝ අම්බලමක ලැගුම්ගත් බව හම්බන්තොට දිසාපති වශයෙන් සේවය කළ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් නමැති බ්‍රිතාන්‍ය සිවිල් සේවකයා තම දින පොතේ සඳහන් කර තිබේ.

කරත්ත රස්සාව ගැන මේ තරම් දේවල් කීවේ එකී රස්සාව අද පත්ව තිබෙන  ඉරණම ගැන කියන්නටය.

අද කරත්ත රස්සාව තවමත්  ඉඳ හිට දැකිය හැකිය. පැරණි කරත්තකරුවන් වැඩි දෙනෙක් මේ වන විට දිවි ගමන නිමාකර එලොව ගොසින්ය. ඔවුන්ගේ දරුවන් පවා අද කරත්ත රස්සාවට එන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගෙන් බොහෝ දෙනකු කොළඹ සිදාදියේ රස්සාවල් සොයා කොළඹ ඇවිත්ය. ඔවුන් මේ රස්සාවට එන්නේ නැත. තමාගේ මී මුත්තා, සීයා, පියා කරත්ත රස්සාව නිසා විඳි දහසක් ගැහැට විඳින්නට අද පරම්පරාවේ අය කැමති නැත. තවමත් කරත්ත රස්සාවේ නියැළී සිටින සුළුතරය අද එදාටත් වඩා දුක්විඳින බව කිවහොත් එය මුසාවක් නොවේ.

කෙසේ වෙතත් අදටද කරත්ත කරයෝ සුළුවෙන් හෝ දැකිය හැකිය. කරත්තද ගම නගරවල දැකිය හැකිය.මේවාට අපේ කාලයේ තරුණයෝ කියන්නේ රිවස් නැති වාහනය කියාය. කොතරම් තෙල්මිල වැඩිවුව ද අඩුවව ද කරත්තකාරයාට එය අවුලක් නැත.ඉන්ධන වශයෙන් කුනක්කු හා තණකොළ, ඇල්වතුර ආදිය මගින් වාහනයේ අංජිම වු ගවයා සම්පායම් කිරිම පමනින්ම යන්ත්‍රය ක්‍රියාකාරිතව දැකිය හැකිය.

ඉස්සර අපි මාතර, වැලිගම, බද්දේගම, වඳුරඹ ආදී ප්‍රදේශවලට කරත්තවලින් බඩු අරගෙන ගියා. දැන් ගාලු නගරයේ කඩවල් කිහිපයකට පිටි අදින එක විතරයි කරන්නේ. දැන් නම් මේ රස්සාව කරන්නෙත් කීපදෙනයි. ඒකත් බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. එදිනෙදා වියදම සොයා ගන්නෙත් හරි අමාරුවෙන්. දැන් මේ රස්සාව අභාවයට යමින් තියෙන්නේ  නගර ගම්වල  කරත්ත රස්සාව තවමත් සිදුකරන කරත්තකරුවෝ බොහෝ දෙනකුගේ අදහස එවැන්නකි. ඒ අතර තිරික්කල රේස්වලට සහභාගි වී ජයග්‍රහණ ලබාගත් කරත්තකරුවෝද වෙති.

ප්‍රාදේශිය සභා නගර සභා පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිකටින් එකකට කරත්ත ගන්නවා අපි රුපියල් පන්දහස , රුපියල් 10 000 වගේ මුදල් තමයි අය කරන්නේ.හැමදාමත් මේ අය ගමන් බිමන් යන්න කරත්ත භාවිතා කරවනවා නම් අපි ගොඩ තමයි මහත්තයා ගාල්ලේ, කොළඹ, ගම්පහ අපට හමු වු කරත්ත කරුවෝ පැවසුහ.

ඉස්සර අවිස්සාවේල්ල, දෙවුන්දර, ගන්දර, වැලිගම යන ප්‍රදේශවල විතරක් නෙවෙයි රට පුරාම කරත්ත තරඟ තිබුණා. ඒ විතරක් නෙවෙයි මගේ ගොන් බැඳි කරත්තයෙන් ඕනෑතරම් මඟුල් සවාරිත් ගිහින් තියෙනවා. නමුත් හම්බකරගෙන කන සතාව කවමදාවත් මස් කඩයට දුන්නෙ නැති කරත්තකාරයෝ එදා වගේම අදත් ඉන්නවා. අපේ තාත්ටත් කරත්තයක් තිබුණා එයත් මේ විදියටමයි කළේ. ගාල්ලේ කරත්ය ට බඳින රත්තා ද මම ඌට ආදරෙයි ගාල්ල නගරයේ දැනට සිටින  එකම කරත්ත කරුවා කියයි.

අද මෙන් නොව එකළ,ගාල්ල  නගරයේ කරත්ත හැත්තෑ පහක්, සීයක් අතර ප්‍රමාණයක් තිබුණද දැන්නම් කරත්ත පහක්වන් ගාල්ල නගරයේ හා අවට නගරවල  දැකිය නොහැකිය.

ඒ කාලයේ පුන්නක්කු රාත්තලක් ශත පහයි. දැන් පුන්නක්කු කිලෝව රුපියල් සීයක් විතර වෙනවා. පුරුදු රස්සාව හින්දා කරගෙන යනවා මිසක් අපිට දැන් මේ රස්සාවෙන් ජීවිතේ ගැටගහගන්න අමාරුයි. ඒ ඉතිරිව සිටින කරත්තකරුවන් කිහිපදෙනා මුහුණ දෙන තවත් ගැටලුවකි. නගරය මැදින් ඇදෙන භූමිතෙල් කරත්ත දැන් අපේ දසුනින් ඈත්ව තිබුණද අතීතයේ එය පාරම්පරික කර්මාන්තයක්ව තිබිණි. එකල කරත්ත රස්සාවෙන් දිනකට භූමිතෙල් ලීටර් දෙසීයක්, තුන්සීයක් වෙළෙඳාම් කළ හැකිව තිබුණද දැන් තත්ත්වය ඊට සහමුලින් වෙනස්ය.

දැන් භූමිතෙල් වෙළෙඳාම අඩුයි. ඒ නිසා සතියකට දින දෙක තුනක් තමයි වෙළෙඳාමේ යන්නේ. අනිත් දිනවල කුලී වැඩ කරනවා. බොහොම අමාරුවෙන් තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ  මාතර සහ ගාල්ලේ කොළඹ,ගම්පහ,කළුතර,යාපනය තෙල් කරත්තකරුවෝ එසේ මැසිවිලි නඟන්නේ ඒ නිසාය.

අතිතයේ දී  තිරික්කලය, බක්කි කරත්තය වගේම බරබාගයත් ගැමියන්ට නැතිවම බැරි වූ අතර, වගා බෝග සහ සිය අත්කම් නිර්මාණ වෙළඳාම සඳහා නගරයේ කඩපොලට රැගෙන ගියේ ඒවායේ උදව්වෙනි. කරත්තකරුවා ද තමාගේ දිවි රැකදෙන ගවයා රැකබලා ගත්තේ දරුවකුට මෙන් සෙනෙහස පාමිනි. කිසිවකු තම ගවයා මස් කඩයට දක්කන්නට කටයුතු නොකළ අතර, කරත්තයට බඳින්නට බැරිතරමට වියපත් වූ ගවයාට පවා වැඩිහිටියකුට මෙන් සලකමින් ජීවිතාන්තය දක්වා රැකබලාගත්හ. එහෙත් අද කරත්තකරුවා පත්ව සිටින අසීරුතාව නිසා ඔවුහු මෙන්ම ගවයෝද අසරණ තත්ත්වයට පත්වී සිටිති.

මම කරත්ත රස්සාවට  ඇවිත් අවුරුදු 50ක් වෙනවා. එදා මම ගාල්ලෙ ඉඳලා බඩු අරගෙන ගම්බද කඩවලට ඒවා ගෙනත් දුන්නා. බද්දෙගමට, වැලිගමට, විතරක් නෙවෙයි මාතරටත් මම එදා බඩු ඇද්දා. උදේ බඩු පටවලා ගාල්ලෙන් පටන් ගත්තම හැන්දෑ වෙනකොට මාතරට යනවා. ආපහු එළිවෙන ජාමෙට මම ගාල්ලට එනවා. මම කවදාවත් මට හම්බකරල දීපු සතෙක් මුදලට විකුණලා නැහැ. සතා වයසට ගිහින් මැරුණහම වළලනවා. කරත්තෙ බැඳපු හරකට වැඩිය බර එන විදියට බඩු පටවන්නේත් නැහැ. ඒ මගේ හැටි.

මම කරත්ත රස්සාවට බැස්සේ මීට අවුරුදු 43 කට කලින් 1975දී. අපි දිනපතාම උදේ 9.00ට විතර ගාලු නගරයට ගිහින් නියමිත තැන්වල කරත්ත ගහගෙන ඉන්නවා. සමහර මුදලාලිලා තවම අපේ කරත්තවලට බඩු ටිකක් පටවනවා. දවසකට රුපියල් හාර පන්සීයක් හොයා ගන්න දවස් වගේම කීයක්වත් හොයාගන්න බැරි දවස් පවා තියෙනවා. දැන් ගාල්ලෙ බර කරත්ත, තිරික්කලවල අවසාන කාලේ උදාවීගෙන යන්නේ. තව ටික කාලෙකින් අපිත් එක්කම කරත්ත යුගයත් ඉවර වේවි. අවුරුදු තිහ හතළිහක් කරත්ත දැක්කුවට අපට විශ්‍රාම වැටුපක්වත් නැහැ

රටපුරා කරත්ත කාරයෝ පවසනුයේ, රටේම කරත්ත කර්මාන්තය මුහුණ පා තිබෙන ශෝචනීය තත්ත්වයයි.

මම දැනට අවුරුදු 60 ක් කරත්ත රස්සාව කරනවා. මුලින්ම මම ගොනයි කරත්තයයි ගත්තෙ රුපියල් 135ටයි. අපි කරත්තෙන් ගාලු ගිහින් හාල්, පිටි, සීනි, පටවගෙන එනවා. ගාල්ලේ ඉඳලා යක්කලමුල්ලට හාල් ගෝනියක් ගෙනියන්න රුපියලයි. සීනි, පිටිවලටත් එහෙමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *