තරුණයන් 11 පැහැරගත් කරන්නාගොඩට…දසනායකට එරෙහි නඩුව අත්හිටුවයි!!

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල පාසල් සිසුන් 05 දෙනෙකු ඇතුළු තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.මෙම නඩුවට අදාළ බොහෝ කරුණු මේ වනවිටත් අනාවරණය තිබෙන අතර තරුණයන් ඝාතනය කළ බවටද මේ වනවිට අත්අඩංගුවට ගත් නාවික හමුදා සාමාජිකයන් පිළිගෙන තිබේ.

වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දේශපාලන බලපෑම් මත නඩු පවරනු ලැබ ඇතැයි යන කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන් විසින් උක්ත ජනාධිපති කොමිසමට පළමු පැමිණිල්ල වශයෙන් පසුගිය 22 වැනිදා කරන ලද පැමිණිල්ලක් මත පසුගිය 23 වැනිදාම ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසමේ දැඩි අවධානය යොමු කර එලෙස නියෝග කර ඇතැයි වාර්තා වේ.

2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සඳහා පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම පාසල් සිසුන් ඇතුළු තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප්‍රසන්න වික්‍රමසුරිය, ඇන්ටන් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කේ. ගාමිණි, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්ද නොහොත් “අන්නාචි”, නන්දප්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන විත්තිකරුවන් 14 දෙනා ය.

මෙම නඩුවේ, අතුරුදහන් වූ තරුණයෙකුගේ මව සහ ඥාති සොහොයුරියක විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු 2019 ජනවාරි 09 වන දින මහේස්ත්‍රාත් නිල මැදිරියේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනා ගනු ලැබිණි. කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ එදින නඩුව කැඳවූ අවස්ථාවේ නඩුවේ මෙතෙක් සිටි සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ, නාවික හමුදාවේ සුළු නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් කටයුතු කළ බල නැවියෙකු වන ඉඹුලාන ලියනගේ උපුල් චමින්ද නොහොත් “අන්නච්චි” නැමැත්තා සහ සංජය ප්‍රසාද් දිලංක සේනාරත්න යන අය වන අතර ඔවුන් නඩුවේ ප්‍රධාන සැකකරු වන ඩී.කේ.පී දසනායකගේ අණට අදාළ කප්පම් මුදල් එකතු කළ අය බව හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී ත්‍යාගරාජා පරමේෂ්වරී සහ ත්‍යාගරාජා ජෙයා යන අය විසින් හඳුනා ගෙන තිබිණි.

“අන්නච්චි” යන අය විසින් ත්‍රීකුණාමලයේ, තඹලගමුව ප්‍රදේශයේදී බලහත්කාරයෙන් ත්‍යාගරාජා ජෙගන් නමැති ළමයාගේ මව වන ත්‍යාගරාජා පරමේශ්වරී නමැත්තියගෙන් ලක්ෂ 05ක මුදලක් යතුරුපැදියකින් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති ජෝන් රීට් නමැති ළමයාගේ මව වන සන්සුන් සහාරා නැමැත්තියගෙන්ද “අන්නච්චි” යන අය ලක්ෂ 05ක මුදලක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳ හඳුනාගැනීමේ පෙරට්ටුව ඉදිරි දිනයකදී පැවැත්විමටත් නියමිතව තිබිනි.

සිද්ධියේ 11 වැනි සැකකරු වන නාවික හමුදාවේ සුළු නිලධාරීයෙකු වන සංජීව ප්‍රසාද් දිලංක සේනාරත්න නැමැත්තා “අන්නච්චි” යන අය කප්පම් ලබා ගැනීමට යෑමේදී ඔහු සමඟ යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති බවද එහිදි අනාවරණය වී තිබිණි.

එම සිද්ධියේ සැකකාර ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් “නේවි සම්පත්” යන අයට සැඟව සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත.

ඊට අදාළ සාක්ෂිද ලැබී තිබූ අතර නේවි සම්පත් නැමැත්තා කලක් විදේශගතව සිට ඇත්තේද කරන්නාගොඩ මහතාගේ උදව්වෙන් බවත් පසුව ඔහු සැඟව සිට ඇත්තේද කන්නාගොඩ මහතාට අයත් නිවසක බවද අනාවරණය වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *