අවුරුදු 18 තරුණයා දිනකට කසිප්පු බෝතල් 80 නිෂ්පාදනය කරලා

ඉදුරුව ප්‍රදේශයේ වයස අවුරුදු දහ අටක (18) තරුණයකු කාලයක් තිස්සේ සිට සිය නිවෙස තුළ ඉතා සූක්ෂමව පවත්වාගෙන ගිය භූගත කසිප්පු නිෂ්පානයක් සැකකරුවෙකු සමග කසිප්පු හා කසිප්පු නිශ්පාදයට යොදා ගන්නා උපකරණ තොගයක් කොස්ගොඩ පොලීසිය මගින් ඊයේ (09) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉදුරුව, ගෝනගලපුර, ගල්තුඩුවේ පදිංචි පොස්තේරු ලියනරාලලාගේ ජයනාත් මදුසංක කුරේ (18) නැමැති අයයි. සැකකරු අද (10) බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කසිප්පු නිශ්පාදනාගාරයේ තිබී පෙරන ලද කසිප්පු මිලි ලීටර් විසි දහසක් (20,000), ගෝඩා මිලි ලීටර් ලක්ෂ හතරක්ද (4,00000), සහ කසිප්පු පෙරීමට යොදා ගන්නා තඹ දගර, බැරල්, ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර්, ප්ලාස්ටික් කෑන්, යූරියා හා සීනි ඇතුළු උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඳුරුව, ගෝනගල, ගල්තුඩුව ප්‍රදේශයේ කුඩා ගෙවත්තක් සහිත නිවෙසක වැසිකිළියක් ආකාරයට සකස් කරන ලද කාමරයක කොන්ක්‍රීට් දමා සකස් කර ගත් භූගත ස්ථානයක කසිප්පු පෙරීම කරගෙන ගොස් තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි.

දිනකට කසිප්පු බෝතල් අසූවක් (80) නිෂ්පාදනය කරන බවත්, එක බෝතලයක් රුපියල් දහස (1000/-) බැගින් විකුණන බවත්  සැකකරු පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ. ඉදුරුව, ගෝනගල, හඹුරුගල, ගල්තුඩුව, මිරිස්වත්ත, වතුරවෙල ආදී ප්‍රදේශ රැසකටම කසිප්පු බෙදා හැර ඇත්තේ මොහු බවටද තොරතුරු ලැබී ඇතැයි කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කොස්ගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක සුනිල් ගමගේ මහතා විසින් යොදවන ලද පෞද්ගලික ඔත්තුකරුවකු මගින් ලබාගත් තොරතුරු මත මෙම ස්ථානය වටලා සැකකරු සමග කසිප්පු හා උපකරණ තොගය අත් අඩංගුවට ගෙන තිබේ. කොස්ගොඩ පොලීසිය මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රදේශයේ වැටලීම් කලත් මෙම ස්ථානය සොයා ගැනීමට නොහැකි වූ බව කොස්ගොඩ පොලීසියේ එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

සැකකරුගේ නිවෙසට යාබදව මෙම ස්ථානය වැසිකිළියක් ආකාරයට කාමරය සකස් කර තිබුණත් පිටතින් ඇතුඵ වීමට දොරටුවක් නොතිබූ බවත් එයට නිවෙස ඇතුළෙන් ඇතුඵ වීමට තිබූ දොරටුව අල්මාරියක් තබා වසා දමා තිබුණ බවත් පොලීසිය කියයි. සැකකරු විසින් කසිප්පු දුගඳ වහනය වීම වැළක්වීමට නිතර නිතර සුවඳ දුම් කුඩු  ඇල්ලීමද සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී  තහවුරු වී තිබේ.  

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති නාලක ජයවීර, උප පොලිස් පරීක්ෂක සුනිල් ගමගේ, පොලිස් කොස්තාපල්වරුන් වන මධුසංක (92433), ලක්මාල් (24624), නුවන් (24651) යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *