සුදු අධිරාජ්‍ය සමයේ ඉදිකළ වසර 150 පැරණි පාලම මරු කපොල්ලක් වෙයි

පාලමේ ප්‍රධාන රේල්පිලි කොටස් දිරාපත් වි තැනින් තැන කැඩී තිබියදී

සුදු අධිරාජ්‍ය පාලන සමයේ ඉදිකරන ලද ඇල්පිටිය, ඇත්කදුර වැව රවුම ප්‍රදේශයේ දිරාපත් වු පැරණි පටු පාලම තාවකාලිකව අලුත් වැඩියා කිරීම හේතුවෙන් එය මරු කපොල්ලක් විය හැකි බව ප්‍රදේශවාසීන් මෙන්ම රියදුරෝ ප්‍රකාශ කරති.

දිනකට බරවාහන, පොදු ප්‍රවාහන සේවාවන් මෙන්ම පාසල් බස්රථ, ජංගම වෙළද රථ මෙන්ම කන්ටේනර් රථ සිය ගණනක් මෙම පාලම මතින් ගමන් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු සටහන් හා ලේඛන පිරික්ෂීමේදී සනාථ වේ.

යක්කටුව, මාපලගම මාර්ගයේ ඇත්කදුර වැව රවුම 36/2 පැරණි පටු පාලම වසර 150 කට වඩා පැරණි බවත් රේල්පිලි යොදා ඒ මත කම්බි දැල් අතුරා කොන්ක්‍රිට් දමා ඇති මෙම පාලම වර්තමානයේ ඉතා අබලන් වී තිබෙන බවත් එහි ගිය අපිට දැක ගන්නට හැකි විය. මෙම තත්ත්වය ඉතා භයානක බව පවසන ප්‍රදේශවාසීහු එයින් කොටසක් කඩා වැටීම පිළිබදවද අදාල බලධාරින් දැනුවත් කිරිමෙන් එය අලුත් වැඩියා කිරීම ආරම්භ කල බවද පවසයි.

ඒ අනුව මෙම පාලම යක්කටුව මංසන්ධියෙන් සහ ඇත්කදුර මංසන්ධියෙන් වාහන ඇතුල් කිරිමට නොහැකි වන සේ වසා දින 03 කදී අලුත්වැඩියා කලත් එය තාවකාලික පිලියමක් පමණක් බවත් දිරාපත් වූ කණු එසේම තිබියදී කොන්ක්‍රිට් තට්ටුවක් පමණක් යෙදීම සාර්ථක විසදුමක් නොවන බවත් ප්‍රදේශවාසීන්ගේ හා රියදුරන්ගේ මතය වි තිබේ.

එහෙත් පාලම දෙපස ඇල ඉවුරු පාලමේ පැරණි රේල්පිලි වැසී යන ලෙස තිබුණත් ඒවා සුලුවෙන් හෝ සුද්ධ පවිත්‍ර කිරිමට මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරිහු කටයුතු කර නැති අයුරු දැකිය හැකිය. කොන්ක්‍රිට් තට්ටුව, පාලම මත ඇතිරිම සිදු කර ඇත්තේ කඩිනමින් සවිවන විශේෂ රසායනික දව්‍යයක් යොදා බවද මාර්ග සංවර්ධන නිලධාරිහු ප්‍රකාශ කරති.

එහෙත් මෙම පාලමේ ප්‍රධාන රේල්පිලි කොටස් දිරාපත් වි තැනින් තැන කැඩී තිබියදීත් කම්බි දැල් දිරාපත් වි එල්ලී තිබියදීත් ඊට මතුපිටින් කොන්ක්‍රිට් ආස්ත්‍රරයක් යොදා තාවකාලික පිලියමක් යෙදුවද පැය 72 ක් තුළ වාහන ගමනාගමනයට නැවත විවෘත කිරිම සාර්ථකද යන්න ප්‍රදේශවාසීන්ගේ සැකයට හේතු වී තිබේ.

සාමාන්‍යයෙන් අප රටේ කොන්ක්‍රිට් මිශ්‍රණයක් ශක්තිමත් ලෙස සවිවීමට අවම දින 21 ක් ගත වන බව ප්‍රකාශ කරන විශේෂඥ ඉංජිනේරුවෝ මාර්ග සංවර්ධන අධිකාරියේ මාපලගම විධායක ඉංජිනේරු අංශය පැය 72 කින් සවිවන කොන්ක්‍රිට් ආස්තරයක් පැරණි පටුපාලමට යෙදීම නොපෙනෙන අනතුරක අවධානමක් විය හැකි බවද ප්‍රදේශවාසින් මෙන්ම රියදුරන්ගේ මතය වි තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බලා දැවැන්ත අනතුරක් සිදු වීමට මත්තෙන් පාලමට සාර්ථක විසදුමක් ලබාදෙන ලෙස රියදුරන් මෙන්ම ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.

පාලමේ තත්ත්වය සම්බන්ධයෙන් වූ ඡායාරූප කීපයක් ඉහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *