යක්ෂයන් මෙල්ල කරන ගස සොයාගිය මාධ්‍ය කරුවාගේ සාක්ෂිය!

යක්ෂයන් මෙල්ල කරන අවිය වන්නේ ඊ ගහයි.සමහරු ඊයක වේගයෙන් කටයුතු කරන බැව් ද සදහන් කළ හැකිය.ඒ කෙළින් වැඩ කරන අයයි.විවිධ ගස් අතර ඊ ගහ  යකුන් යක්ෂණියන් කුම් භාණ්ඩයන් පිසාචකයින්,භූතයන් ආදි කොට ඇති පිරිස ද,හොල්මන්ද අන්ද මන්ද කරවන්නට ඊ ගහ උපකාරි වේ.වනාන්තරයේ  දැකිය නොහැකි ගස් අතර, ලිස්සන ගහ,එල්ලුම් ගස, මෝල් ගස,අතරේ ඊ ගස ද සකස් කරන්නේ මිනිසාය.මෙහි දී යකඳුරන් සකස් කරන ගස ඊ ගසයි.

අලි ඇතුන් දමනය කරන්නට මෙල්ල කරන්නට හෙණ්ඩුව භාවිතා කරන අතර දරුවන්ට දඩුවම් දීමේ දි භාවිතා වට ගන්නේ වේවැලයි. ගව පාලනයේ දී කෙවිට භාවිතා කරන්නේ ගවයන් මෙල්ල කරන්නටය. මෙයට නාස් ලණුව ද භාවිතා කරති.පොලිසිය වරද කරුවන්ට සලකන්නේ බැටන් පොල්ලෙනි.වාහනවල වේගය පාලනය කරන්නේ තිරිංඟ හා මාර්ග සංඥාවෝ වේ. පොලිස් නිලධාරින්ද රියදුරු මෙල්ල කරන්නට බැටන් පොල්ල අතට ගනී.

මෙහිදි පාලනය කිරීම,දමනය කිරීම ආදිය අතරේ ගත් කළ ගස් අතර පොළවේ පැල නොවන ගස් අතරේ මිනිසා සකස් කල ගස ඊ ගසයි.යකුන් මෙල්ල කරන්නට පාලනය කරන්නට ගන්නේ ඊ ගහයි.යකඳුරාගේ ආරක්ෂාවටද මෙය වටනේය. ආතුරයන් රංඟ මණ්ඩලයට කැඳවාගෙන නටවන්නේ ද ඊ ගහයි. අපේ ජන්දය අරගෙන පාලකයෝ යක්ඳුරන්සේ ඊ ගස ඇතුව නැතුව ජනතාව පාලනය කරන සෙයක්ද පෙනි යයි.

ඊගහ අතරේගත් කළ අපේ දේශීය නර්තන සම්ප්‍රදාය තුල රංග භාණ්ඩ භාවිතයට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.ඉන් පහතරට නර්තන සම්ප්‍රදාය තුල රංග භාණ්ඩ භාවිතය ඉතා බහුල ලෙස භාවිතයට ගන්නා නර්තන සම්ප්‍රදායක් ලෙස ඊ ගහ හැදින්විය හැක.තත් සම්ප්‍රදාය  මාතර,බෙන්තර හා රයිගම ලෙස වෙන්ව පවතී.ඒ තුල පවත්නා චාරිත්‍ර,රංගවස්ත්‍රාභරණ,රංග භාණ්ඩ භාවිතය,පුද පූජා ක්‍රම වෙනස් කම් දකින්නට ලැබේ.ඒ හේතුව තුළ වර්තමානයේ නර්තන ඉගෙනුම සඳහා ආධුනික ශිල්පීන් පත් වන්නේ,ගැටලු රැසකටය.මෙහි දී වැදගත් වන ඊ ගහ බලි තොයිල් කර්මාන්තයේ දී භාවිතයට ගැනේ.

පහතරට නර්තන සම්ප්‍රදාය තුළ තුලනාත්මක විමර්ශනය තුලදී පාරම්පරික ශිල්පීන් සමඟ නර්තන සම්ප්‍රදාය තුල  මෙකී රංග භාණ්ඩය භාවිතය ඉතා බහුල ලෙස භාවිතයට ගෙ තිබේ.ඒ අනුව සූනියම,සන්නියකුම,රටයකුම මහසොහොන් සමයම ආදී ශාන්ති කර්මයන් තුළ මෙකී රංග භාණ්ඩය භාවිතයට ගනී.ඒ ඒ ශාන්තිකර්මයන් තුල උපත් කතා,කවි බොහොමයකි.

ඊ ගහ ගැන වගතුග පිළිබඳව අපට අදහස් දැක් වු මන්ත්‍රාචාර්ය භූතවිද්‍යා කලාගුරු සාහිතවේ දීසාදරිස්  රණසිංහ මලල්ගොඩ  ගුරුන්නාසේ මෙසේ පැවසීය.

ඊ ගහ උපත තුල මෙකී රංග භාණ්ඩය හෙවත් ඊ ගහ තොවිලයක දී සකසා ගන්නේ වෙසමුණි රජුගේ නයනායුධය සංකේතවත් කිරීම සඳහාය.යකුන්ගේ නායකයා වෙසමුණි රජු වශයෙන් සැලකේ.ඔහු යකුන්ට බැට දෙන්නේ එකී නයනායුධයෙනි.

හෙල යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අති විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත. ඔහුගේ දරුණු දඩුවම් ක්‍රම 32ක් ඇතිබව කියවේ.වද 32 ලෙස කියවෙන්නේ එයයි(දෙතිස් වද).යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී,ශීග්‍රපති,ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.

වෙසමුණිගේ බිරිද කෞවේරි. ඔවුන්ට 1.වර්ණකවි(මණිග්‍රීව ) 2. නලකුබර (මයුරාජ ) නමින් පුතුන්දෙදෙනෙක් සහ 3.මීනාක්ෂි නමින් දුවක්ද සිටියාය.කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.

කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම,ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව,රාවණා ලංකා රාජ්‍යයත්,එහි පිහිටි “ආලකමන්දාවත්”, කුවේරගේ අහස්යානය වූ “පුෂ්පිකයත්” තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන ” පුෂ්පිකය” ද සියතට ගන්නට සමත් විය. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.

කවුද මේ වෙසමුණි / කුවේර / වෛයිශවණ සීවලි යන්ත්‍රය වටේට දෙවිවර් හතර දෙනෙක් ඉන්නවා. එ අය තමා 1.ධෘතරාශ්ඨ 2.විරුඩ 3.විරුපාක්ශ 4.වෛශවණ මේ අයගෙන් වෛශවණ තමා වෙසමුණි කියන්නේ.ශක්‍රයාගේ විශ්වාසවන්තම සේවකයෙක්.ඔහුගේ රාජකාරිය වන්නේ ශක්‍රයා ආරක්ශා කිරිමයි.එ නිසා ඔහුට යකුන් පාලනය කිරීමේ බලය ලැබී ඇත. ශක්‍රයා විනෝද වීමට උයන් කෙළියට යන විට යුගන්දර පර්වතයට උතුරු දිග්භාගයේ පූර්ණ ආරක්‍ෂක කටයුතු භාර වන්නේ ඔහුට ය. සක්‌ රජු තම දිව්‍ය සභාව කැඳවා සාකච්ඡා පවත්වන විට ද වෙසමුණි මෙම උතුරු ප්‍රදේශයේ ආරක්‍ෂකයා විය යුතුය. එහෙත් එහි අපූරුවක්‌ ද වේ. එනම් ඔහු උතුර ආරක්‍ෂා කළ යුත්තේ දකුණු දෙසට මුහුණලා ගෙනය.

වෙසමුණි මහා බලවතෙකි. ඔහුගෙන් වරම් නොගෙන සිතුමතේ ක්‍රියා කිරීමට සෙසු යක්‍ෂයන්ට නොහැකියි. යක්‌ තොවිල් පවිල්වලදී ද, වෙසමුණි ගැන සඳහන් වන්නේ යක්‍ෂයනට පමණක්‌ නොව ප්‍රේත පිසාච කුම්භාණ්‌ඩ ආදී භූතයන් සැමට නායකයා බැවිනි. වෙසමුණි අණ දුන් විට සෙසු යක්‍ෂයන් එම රාජකාරිය හරියටම ඉටු කළ යුතුය. සිරිසඟබෝ රජු දවස රක්‌තාක්‍ෂී නම් යක්‍ෂයකු පැමිණ මිනිසුන් ලෙඩ කළ බවක්‌ එළු අත්තනගලු වංශයේ සඳහන් ය. එමෙන්ම වරින්වර මිනිස්‌ ලොවට පැමිණ සොහොන් පිටිවල රැඳී සිටීම,ලෙඩ රෝග බෝ කිරීම,හදි හූනියම් කිරීම පමණක්‌ නොව,මළ මිනී ගසා කෑමට ද ඔවුනට හැක. එහෙත් ඒ සඳහා වෙසමුණිගෙන් වරම් ගත යුතුමය. කාලි යක්‍ෂණිය ද මිනිසුන්ට හිංසා කර ඇත්තේ වෙසමුණිගෙන් වරම් ලබා ගෙනය. එහෙත් එයට පිටු පෑ අවස්‌ථා ගැන ද කියවේ. විදුර ජාතකයෙහි සඳහන් වන පරිදි පූර්ණක නම් යක්‍ෂයා එරන්දතී ලබා ගැනීම සඳහා වෙසමුණිගෙන් වරම් ලබා ඇත්තේ අයථා ලෙසය. බලධාරීන් ලවා එවන් දේ අද මෙන් එදා යක්‍ෂයන් අතරත් සිදුව ඇති බවය එයින් පෙනෙනුයේ.

ඔහුට ධන නිධාන 09 ක්‌ තිබුණි. කඡ්ව, මුකුන්ද, නන්ද, මකර, නීලසම්බ, යදිත, වර්ග යදිම, මහා පද්ම ඒ නවයයි. කෙතරම් ධන නිධාන තිබුණ ද කුවේරට මුල් කාලයේ, ස්‌ථිර වාසස්‌ථානයක්‌ නොවීය. පෙර සිටම ඔහුට පරම්පරාගතව ලංකාපුර පැවරී තිබුණද, ඔහුගේ සොහොයුරු රාවණා එම ලංකාපුරය අත්කර ගෙන තිබුණු බැවිනි ඒ. ලංකාපුරය යනු යක්‍ෂ රාක්‍ෂයන් සඳහාම විශ්මකර්ම විසින් නිර්මාණය කරන ලද ධනයෙන් පිරි දූපතකි.වෙසමුණි දෙවියෙකු ලෙස ද පෙනී සිටියෙකි. දිව්‍ය ලෝක හයෙන් පහළම පිහිටි දිව්‍ය ලෝකය පාලනය කිරීමේ බලය ද ඔහුට පැවරී තිබිණි.

කෙතරම් බලයක්‌ ඇතත්, ධනයක්‌ ඇතත් වෙසමුණිගේ ශරීරය නම් විරූපීය. අවලස්‌සනය. ඔහු අංග විකලයකු ලෙස ද දේව කතාවල හැඳින්වේ. වෙසමුණිට පාද 03 ක්‌ ඇති අතර ඉන් එකක්‌ නොණ්‌ඩිය. දත් ඇත්තේ 08 පමණි. ඒවා ප්‍රමාණයෙන් විශාලය. එසේ අවලස්‌සන රූපයක්‌ ඇතත් ශරීරය පුරා රන් මිණි ආභරණ පැළදි බව දේව කතාවල සඳහන් වෙයි.

වෙසමුණිගේ බිරිඳ යක්‍ෂණි, කුවේර, භූඳ්ඡවතී ආදී නම් කිහිපයකින් හැඳින්වේ. වෙසෙමුණිට දාව වෙනත් ස්‌ත්‍රියකගෙන් උපන් විභීෂණ සහ කුම්භකර්ණ යන දෙදෙනා ද බලවතුන් ය. විශේෂයෙන් කැලණිපුරයට අධිපති දෙවියා වශයෙන් සැලකෙන්නේ විභීෂණය. අදත් ඔහුට බැතිමත්තුහු පුද පූජා පවත්වති. එහෙත් කුම්භකර්ණ නම් තද නින්දේමය. ඔහු ඇස්‌ හැර ලොව දෙස බලන්නේ මාස 06 ට වරකි. දැස්‌ හැර බැලූ පමණින් යළිත් නිදියයි.විභීෂණ රජෙකු වුවද මෙම නින්ද්‍රෝපගත සොහොයුරා නැගිට වීමේ කාර්යය කිරීමට ඔහුට වරම් නැත. අප රට බොහෝ දෙනා ද කුම්භකර්ණයන් මෙන් නිදා සිටිනුයේ ඔවුන් අවදි කිරීමට බලයක්‌, කොතැනකවත්, කිසිවෙකුටත් නැති බැවිනි.

ඊ ගස සකස් කරන්නේ මෙසේ ය.පුවක් මල් කිනිත්තක්,බුලත් කොළයක්,පඩුරක් හා රත්මලක් ගෙන දෙරියන් සාගුලක්,දිග පුවක් පටියක හෝ අගලක වට ප්‍රමාණයක් වූ දණ්ඩක් ආධාරයෙන් ඊ ගහ සකස් කර ගනී.       

මෙයින් යකුන් දමනය කර ගැනීමට හැකියාවක් ඇති බව යකැදුරෝ විශ්වාස කරති. යකුන්ට කථා කිරීම හා යකුන් මෙල්ල කර ආතුරයාගේ දොෂ් නිරාවරණය කිරීම සඳහා ඊ ගහ යොදා ගන්නවා.ආවේෂ කරනු ලබන ආතුරයින් තමා වෙත ගෙන්වා ගැනීම,ඔවුන්ගේ ගමන් මඟ පෙන්වාදීම හා ආතුරයා මෙල්ල කිරීම ආදිය සදහා ඊ ගහ භාවිතා කරනවා.

යාගය අවසානයේ දී ආතුරයාගේ ආරක්ෂාව පතා මෙම ඊ ගහ දින තුනක් යන තෙක් තමා වෙත තබා ගන්නා ලෙස යකැදුරෝ ආතුරයින්ට උපදෙස් දෙති.ඒ අනුව මෙකී රංග භාණ්ඩය යකුන් දමනය කරන ඉතා බලගතු රංග භාණ්ඩයක් ලෙස හැදින්විය හැක.දිෂ්ටි මන්ත්‍ර ජප කර,දුම් අල්ලා පේ කරගෙන යාගය ආරම්භ කිරීම පාරම්පරික පහතරට නර්තන ශිල්පීන්ගේ පිලිවෙතකී.

මෙයට අමතරව,ඊ ගහ තොවිල් කාලාවේ දි භාවිතා කරන ආරක්ෂිත අවියකි.එය කලාත්මක උපකරණයක් ද වේ.  එදා ඊ ගහ මගේ ළඟ නොතිබුණා නම් මට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන විට සුළු අඩුපාඩුවක් වත් සිදු වෙන්නේ නැහැ. ඉතා සුළු අතපසුවීමක් වුවත් ඇඳුරාට තමයි ගැටලු ඇතිවෙන්නේ. මේ මන්ත්‍ර ශාස්ත්‍රය හරියට කරන අය දැන් අඩුයි. හරියට පාඩම් දන්නේ නැහැ. මේ වටිනා මන්ත්‍ර ශාස්ත්‍ර ඉදිරියේදී කරන්න කෙනෙකුත් නැති වෙනවා යැයි මන්ත්‍රාචාර්ය භූතවිද්‍යා කලාගුරු සාහිතවේ දී සාදිරිස් රණසිංහ මලල්ගොඩ  ගුරුන්නාසේ කියයි.

ඊගහ හදන්නේ තිශූලයක් පරිදිය.එය අලංකාරයට සකස් කරන්නේද මන්තර ජප කරවමිනි. ළපටි පොල් කොළය,ගොක් කොළය යනුවෙන් හැඳින්වේ. ගොබයේ ඇති කොළ,ගොබ කොළ,ගොප් කොළ,ගොක් කොළ වූ බව පැහැදිලිය

සශ‍්‍රීකත්වය සංකේතවත් කරන පුන්කලස,පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි, ගොක් ගෙඩි,තොවිල් පවිල් ආදියට යොදාගන්නා පහන් පැළ,තවත් තොවිල් භාණ්ඩයක් වූ කිරුළු තොප්පිය,සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක හැඩරුව ගත් ගොක් පහන,වෙසක් පහන,මඟුල් පෝරුව,මුතු කුඩය,අනුරාධපුර,පොළොන්නරු පෙදෙස්වල බෙහෙවින් ප‍්‍රචලිත තනිමාලේ තොරන,තොවිල්වලට යොදාගන්නා පිදවිලි සැරසිලි,ගම්මඩු,දෙවොල් මඩුවලදී දැකිය හැකි බිසෝකප,වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊගහ,ශාන්තිකර්ම සඳහා යොදාගන්නා කුමාර කළය මේ නිර්මාණ අතරට අයත්ය.

මේ හැරුණු විට කුඩා දරු දැරියන් විනෝදය සඳහා සකස් කරන නිර්මාණ ද විශාල ප්‍රමාණයක් ඇත.හුලංපෙත්ත,ගොක් කොළ ඔරලෝසුව,නෙළුම් මල,නයා,පත්තෑයා,ඉස්සා, ගිරවා වැනි නිර්මාණ රැසක් ගොක් කොළ ආශ්‍රිතව සිදු කරනවා.ගැමි ජනයා තොවිල්  පවිල්වලට,පිරිත් මණ්ඩපයට,තොරණට,මඟුලට,මරණෙට ගොක් කොළ සැරසිලි වලට මේ ආකාරයේ නැපැයුම් වලට ගොක් කොළ භාවිතා කරනවා. මෙහි දී ඊ ගහට ද භාවිතා කරන්නේ කලාත්මකව සකස් කර ගත් වු කොක් කොලයි.

අවසානයේ ආතුරයා ආරක්‍ෂ කර නුලක් බැද ඊගහ අතට දි රංචාගොඩ පදය නටා දෙවියන්ට පින් දි පිංබෙර ගසා ශාන්තිකර්මයේ කටයුතු නිමාවට පත් කරයි. මේ ආදි වශයෙන් ඊගහ කතාන්දරය ඊයක මෙන් දිගු කතාන්දරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *