දැඩි නියඟයෙන් තේවතු හිමියන් සහ එළවළු ගොවියන් කබලෙන් ලිපට

රජය කඩිනම් පියවර ගන්නවා රත්නපුර දිස්ත්‍රික් පා.ම. ප්‍රේමලාල් ජයසේකර කියයි!!

මාස එකහමාරක  පමණ සිට  මේ දක්වා පවතින අඛණ්ඩ නියං තත්ත්වය හේතුවෙන් රත්නපුරේ තේ ගොවියන්  තේ වගාවන් නැංවීම සඳහා බැංකුවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව සහ ජීවත්වීමට නොහැකි වී  කබලෙන් ලිපට වැටී ඇති බව රත්නපුර දිස්ත්‍රික් එ.ජ.නි.ස., පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසන ලද්දේ තේ වගාවේදී ගොවි මහතුන්  මුහුණපාන අභියෝග පිළිබඳ නිවිතිගල නගරයේ අද දින (2020.02.26) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා  පවසා සිටියේ තේ කර්මාන්තය හරහා රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන අතර  එය රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට විශාල දායකත්වයක් සපයා දෙන බවයි.  එම නිසා මෙම අසීරු අවස්ථාවේ තේ වගා කරුවන්  තේ කර්මාන්තයෙන් ඈත්වීමට ඉඩනොදී ඔවුන් ආරක්ෂා කර ගත යුතු බවද අවධාරණය කළේය.  ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල ඇඹිලිපිටිය, ගොඩකවෙල, පල්ලෙබැද්ද ආශ්‍රිතව විශාල වශයෙන් ජනතාව එළවළු වගාවට යොමුවී සිටින බව පැවසූ මන්ත්‍රීවරයා අද වන විට එම වගාවද නියඟයේ දැඩි බලපෑමට ලක්ව සිටින බව පෙන්වා දුන්නේය. එසේම එම නිසා වගාවන් පිළිස්සී ගොස් ඇති බවත් එබැවින්  එම ප්‍රදේශවල එළවළු නිෂ්පාදනය පහත වැටී ඇති අතර එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නේය.  එම දෙපිරිසම රටේ ආර්ථික හා දෛනික ජන ජීවිතයට සෘජුව බලපැම් කරන අය බවද එම නිසා මෙම තේ ගොවීන් හා එළවළු ගොවීන් සඳහා නියං ආධාර හැකි ඉක්මනින් ලබා දෙන ලෙසත්, බැංකු ණය වාරික ගෙවීමට වැඩිපුර සහන කාල සීමාවක් ලබා දෙන ලෙස ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හැටියට අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමන්ගෙන්  ලිඛිතව හා වාචිකව ඉල්ලීමක්  කර ඇති බව ද මෙහිදී පැවසීය.  මෙම සංවේදී කාරණාව සඳහා රජයක් හැටියට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග  හැකි ඉක්මනින් ගන්නා බවත් ගොවි මහතුන් හමුවේ  ප්‍රකාශ කර සිටියේය.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *