තෙමගුල ආලෝකමත් කරන මිනිසුන්ගේ අදුරු කථාව

වෙසක් භාණ්ඩ මෙරටට ගෙන්වන්නේ බෞද්ධයන් නොවෙයි

බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිකිරීම සදහා ලෝකවාසී බෞද්ධ ජනතාව විවිධ ආගමික වැඩ සටහන් මෙන්ම ආගමික වතාවත්ද සිදු කරනු ලබයි. ලෝකයේ ප‍්‍රධානතම තේරවාදී බෞද්ධ රටක් ලෙස ශ‍්‍රී ලාංකික බෞද්ධයින්ද බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය සිහිකරමින්, ඈත අතීතයේ සිටම, වෙසක් පුර පසලොස්වක පොහෝ දින විවිධ බෞද්ධ ආගමික වැඩ සටහන් හා බෞද්ධ ආගමික වතාවත් වල නිරත වෙති.

දාන, ශීල, භාවනා, ධර්ම දේශනා, බෝධි පූජා, වැනි ආගමික වතාවත්ද බුදුන් වහන්සේගේ ජීවන තොරතුරු, ධර්ම දේශනා, ජාතක කතා නිරූපනය වන පරිදි තොරණ ඉඳි කිරීම, විවිධ ක‍්‍රමයේ ආලෝක පූජාවන් පැවැත්වීම, වෙසක් පත් යැවීම, දහම් පණිවුඩ රැගෙන එන ගීත ගායනය, ආදිය සිදු කරමින් ශ‍්‍රී ලාංකේය බෞද්ධ ජනතාව තෙමගුල සමරති. මේ අතර විවිධ සංවිධාන හා ආයතන මගින් පවත්වනු ලබන වෙසක් කළාපයන්ද වෙති.

මෙයින් ආලෝක පූජාවන් සදහා මැටි පහන්, ඉටිපන්දම්, හා විදුලි බුබුළුද, ඒවායේ ආවරණයන් ලෙස ඉතා අලංකාරව සහ විවිධ වර්ණයන්ගෙන් සකසන ලද කූඩු හා බකට්ද යොදා ගනිති. වෙසක් පොහොය දින සිට දින කීපයක් මෙසේ ආගමික වැඩ සටහන් හා ආලෝක පූජාවන් පැවැත්වීමද සිදුකරනු ලබයි.

සෑම බෞද්ධ නිවසකම පාහේ වෙසක් කූඩු හා බකට් කීපයක් දැල්වීම සිදු කරයි. එමෙන්ම මිය ගිය ඥාතීන් සිහි කරමින් සුසාන භූමිය සුද්ධ පවිත‍්‍ර කර ඔවුන්ගේ සොහොන් කොත් මත ඉටි පන්දම් හෝ බකට් දැල්වීමටද බෞද්ධ ජනතාව පුරුදුව සිටිති. ඒ නිසාම වෙසක් පොහෝ දින හා ඊට පසු දින ශ‍්‍රී ලංකාවේ සුසාන භූමිද ඉතා අලංකාර සිරියක් ගනී.

තෙමගුල සැමරීම තුල කියා දෙන පාඩමද අතිශය වැදගත්ය. පරාර්ථකාමී, විනය ගරුක, ගුණ ගරුක, රට වැසියන් නිර්මාණයට මේ පාඩම් කදිමය. එය සියළු ලෝක වාසී ජනතාවගේ ජීවිත හැඩ ගස්වා ගැනීමටද මහෝපකාරී වේ. ඒ වෙනුවෙන් ආලෝක පූජාවන් පැවැත්වීම සදහා බකට්, වෙසක් කූඩු නිර්මාණය කරන්නන්ගේ පසුබිම් කතාව තුල නම් බෞද්ධ ගුණාංග ආරක්ෂා වී තිබේද යන්න සැක සහිතය. දේශිය බකට් හා වෙසක් කූඩු නිශ්පාදකයින්ගේ ජීවන හා වෘත්තීමය ගැටළු සොයා බැලීම වෙනුවෙන් මෙම ලිපිය ලියවෙන්නේද එම ගැටළු විසදී තිබීම, බෞද්ධ දර්ශණයේ ගුණාංග ආරක්ෂා වීමටද මහෝපකාරී වන නිසාය.

දැනට වසර සියයකට ආසන්න කාළයක සිටම බළපිටිය, අහුන්ගල්ල ප‍්‍රදේශයන්ට අයත් ජම්බුවත්ත, බේරතුඩුව, අම්පේ, කදිරගොන්න, කෝවිලවත්ත, නෙල්ලිගොඩ, පියගම ආදී ප‍්‍රදේශයන්හි බකට්, වෙසක් කූඩු නිශ්පාදනය සිදු කරනු ලබයි. දැනට වසර 25 කට ආසන්න කාළයක් දක්වා මෙම සෑම ගමකම පවුල් 150 ක්, 100 ක් පමණ බකට්, වෙසක් කූඩු නිශ්පාදනයේ යෙදුනත් මේ වන විට එක් ගමක පවුල් තුන හතරකට වඩා මෙම කර්මාන්තයේ නොයෙදෙන බව මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකි විය. මේ පිළිබදව ඔවුන් ප‍්‍රකාශ කරන්නේ විදේශ රට වලින් ඉතා අඩු මිළ ගණන් යටතේ පොලිතීන්, ඉටි, ප්ලාස්ටික් ආදියෙන් තනන ලද වෙසක් භාණ්ඩ ආනයනය කිරීම හේතුවෙන් සිය නිශ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම තුල සිය කර්මාන්තය කඩා වැටුණ බවයි. වෙළෙද පොළේ ඉතිරි වන සියළු භාණ්ඩ වල පාඩුව නිශ්පාදකයාට විද දරා ගැනීමට සිදුවීමත්, නිශ්පාදකයාට වඩා විශාල ලාභයක් වෙළෙන්දා ලැබීමත් කර්මාන්තයේ පැවැත්මට විශාල වශයෙන් බලපා තිබෙන බව බකට්, වෙසක් කූඩු නිශ්පාදකයෝ ප‍්‍රකාශ කරති. යන්ත‍්‍ර සූත‍්‍ර යොදා නොගෙන ගෘහස්ථව කරන මෙම කර්මාන්තය ආරක්ෂා කර ගත යුතු බවද ඔවුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බකට් නිශ්පාදකයෙකු වන, අහන්ගල්ල, කදිරගොන්නේ පදිංචි, නුවන් දුෂ්‍යන්ත රණසිංහ මහතා. (36)

අපේ පරම්පරාවේ අය මේ කර්මාන්තය පටන් ගත්තේ වසර 80 කට විතර කලින්. අපි දෙසැම්බර් මාසය වන විට නිශ්පාදනය ආරම්භ කරනවා. දැන් අපි නිශ්පාදනය කරන්නේ වසරකට බකට් ලක්ෂ දෙකක (2,00000/-) වගේ ප‍්‍රමාණයක්. ඉස්සර අපේ සීයලා, මුත්තලා ලක්ෂ 5 – 10 ත් අතර ප‍්‍රමාණයක් නිශ්පාදනය කල බව කියනවා. බකට් අලෙවිය සදහා කොළඹ තොග කඩ වලට ලබා දෙනවා. ප‍්‍රදේශයේ කඩ වලටත් නිවසට එන වෙළෙන්දන්ටත් ලබා දෙනවා. දැන් තරගකාරිත්වය වැඩියි. අඩු මිළ ගණන් වලට චීනයෙන් විශාල වශයෙන් වෙසක් බඩු ගෙනෙනවා. අත්‍යාවශ්‍යම භාණ්ඩ කීපයක් විතරක් පිටරටින් ගෙනත් හැම දේම ගේන එක නතර කරනවා නම් හොදයි. මේ නිසා දේශීය නිශ්පාදන වෙළෙද පොළේ අලෙවි වෙනවා අඩුයි. රජයට අපේ දේශීය බකට් කර්මාන්තය ආරක්ෂා කර ගන්න වුවමනාවක් නැති බවයි පෙනෙන්නේ.

බකට් නිශ්පාදනය සදහා තෙල් කඩදාසි සහ සෙලෝපේන් කොළ භාවිතා කරනවා. තෙල් කොළ රීමක් රුපියල් 1800/- විතර වෙනවා. සිල්ළු (ඉටි පන්දම සවි කරන කොටස් 1000 ක් රුපියල් 400/- විතර වෙනවා. කම්බි කිලෝ ගෑම් 10 ක රෝලක් රුපියල් 2400/- යි. කොළ රීමකින් බකට් 2000 ක් හදන්න පුළුවන්. බකට් එකක් හදන්න රුපියල් 2.75 ක විතර නිශ්පාදන වියදමක් යනවා. බකට් එකක් වෙළෙන්දන් ගන්නෙ රුපියල් 3.00 – 3.25  වගේ මිළට. නමුත් විකුණන්නෙ රුපියල් 12.00 – 14.00 ට. මේ කර්මාන්තයෙන් වැඩි ලාභයක් ලබන්නේ වෙළෙන්දා. මේ විකෘර්තිය නිසාත් කර්මාන්තය බිඳ වැටිලා තිබෙනවා.

බකට් නිශ්පාදකයෙකු වන, කොස්ගොඩ, පියගම පදංචි චමින්ද ජයනාත් (45) මහතා.

මීට පෙර චීනයෙන් විතරයි වෙසක් බඩු ගෙනාවේ. ඒ රෙදි කූඩු කාඞ්බෝඞ්, තෙල්කොළ කූඩු කොහෙන්වත් ගෙනාචේ නැහැ. මේ පාර ඉන්දියාව,  සිංගප්පූරුව, වගේ රට වලින් කාඞ්බෝඞ් කූඩුත්  ආනයනය කරල තියෙනවා. සිංගප්පූරුවෙන් ලස්සන කූඩුවක් ගෙනැත් තියෙනවා. ඒවා දැක්කම අපේ කූඩු විකූණගන්න අමාරුයි. මම බකට් නිශ්පාදනය පටන් අරන් වසර 16 ක් පමණ වෙනවා. ඒ කාළේ ලක්ෂ 05 ක් 06 ක් හැදුවා. දැන් ලක්ෂයක් විතර හදනවා. ඒකත් විකුණාගන්න අමාරුයි. ඉතුරු වුණොත් ඊලඟ අවුරුද්ද වෙනකම් බලන් ඉන්න  ඕනෑ. සල්ලි හිර කරලා තියන්න අමාරු නිසා ටිකයි හදන්නේ. මේ කර්මාන්තය මේ යන විදියට තව අවුරුදු දෙක තුනක්වත් තියෙන එකක් නැහැ. අපේ රටේ පාලකයන්ට දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගන්න වුවමනාවක් නැහැ. අමුදව්‍ය වල මිළ විශාල වශයෙන් වැඩි වෙලා. නමුත් මේ වසරේ බකට් මිළ, ගිය වසරේ මිළමයි.

කොළඹ මහා පරිමාණයෙන් වෙසක් භාණ්ඩ ආනයනය කරන කිසිවෙක් බෞද්ධයන් නොවෙයි. ඒ නිසා ඔවුන්ට බෞද්ධ ගුණාංග ආරක්ෂා කිරීමේ වුවමනාවකුත් නැහැ. ආනයනය කරන වෙසක් භාණ්ඩ බොහොමයකින්  බෞද්ධ ගුණාංග විනාශ වෙන බවටත් චෝදනාවක් තිබෙනවා. වෙස් මුහුණු වලට මේ තත්ත්වය තදින්ම බලපාල තිබෙනවා. මීට වසර 15 කට 20 කට පෙර අපේ ගම් වල වෙස් මුහුණු නිශ්පාදනයත් කළා. සම්පූර්ණයෙන්ම කඩදාසි වලිනුයි කළේ. දැන් කව්රුවත් ඒ විදියට වෙස් මුහුණු හදන්නේ නැහැ. පරිසර හිතකාමී වෙස් මුහුණු කර්මාන්තය විනාශ වෙලාම ගියා. පාලකයින්ට වගේ වගක් නැහැ.

අහුන්ගල්ල, කදිරගොන්නේ පදිංචි කේ නාලනී මහත්මිය. (63)

මට දුවෙක් හා පුතෙක් ඉන්නවා. මහත්තයා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මම විවාහ වෙලා මේ ගමට ඇවිත් අවුරුදු 33 ක් වෙනවා. එදා ඉදල සෑම වෙසක් පොහොයකටම බකට් හදනවා. මුල් කාලයේ අපි කර්මාන්තය කළේ සුළුවෙන්. චමින්ද බෝදාහන්දි මල්ලි කර්මාන්තයට සම්බන්ධ වුණාට පස්සේ කර්මාන්තය සරු වුණා. ඔහු අවශ්‍ය බඩු සියල්ල ගෙනවිත් දෙනවා. ජනවාරි මාසේදි අපි මේ කර්මාන්තය පටන් ගන්නවා. ඉස්සර බකට් 1000 ක් හැදුවම රුපියල් 25 ක් ලැබෙනවා. දැන් තෙල් කොළ, සෙලපීන් කොළ, මුද්‍රිත කොළ වලින් බකට් හදනවා. තෙල් කොළ වලින් හදන බකට් 1000 කට රුපියල් 450/- ක් ලැබෙනවා. මුද්‍රිත කොළ වලින් හදන බකට් 1000 කට රුපියල් 550/- ක් හා සෙලපීන් කොළ වලින් හදන බකට් 1000 කට රුපියල් 650/- ක් ලැබෙනවා. ගෙදර වැඩත් කරගෙන දවසකට බකට් 1000 ක් හදා ගන්න පුළුවන්. අපි හදන බකට් චමින්ද කොළඹ ගෙනහින් මුදලාලිලාට දෙනවා. සල්ලි ලැබෙන්නේ පස්සේ. අපිට සල්ලි ලැබෙන විට වගේම වෙසක් එකට බකට් එල්ලල තියෙනවා දැක්කමත් සතුට දැනෙනවා.

බළපිටිය, අම්පේ පදිංචි, ආර්. අයිරින් (53) මහත්මිය.

අවුරුදු 08 ක 10 ක කාලයක ඉදලයි, මම බකට් කර්මාන්තයට සම්බන්ධ වුණේ. මම කරන්නේ කුලියට බකට් හදන එකයි. බකට් නිශ්පාදකයා අමු දව්‍ය සියල්ලම ගෙනත් දෙනවා. බකට් හදන්න පාවිච්චි කරන බකට් බම්බුව, තෙල් කොළ, කාඞ් බෝඞ් පටි, සිල්ළු (ඉටි පන්දම සවි කරන කොටස) ආදී සියළු දේ නිශ්පාදකයා ලබා දෙනවා. බකට් 1000 ක් හැදුවම රුපියල් 450/- ක් ලැබෙනවා. එකකට ශත 45 යි. උදේ 8.00 ට පටන් ගත්තොත් සවස 6.00 විතර වන විට බකට් 1000 ක් හදන්න පුළුවන්. අවුරුද්දේ මාස 4 ක් 5 ක් පමණයි මේ රක්ෂාව තිබෙන්නේ.

බළපිටිය,අම්පේ පදිංචි ආර්. චින්තා ජයලත් (52) මහත්මිය

මම බකට් සැකසීම හා අලෙවිය සදහා පැකට් කිරීම සිදු කරනවා. අමු දව්‍ය සියල්ලම නිශ්පාදකයා විසින් ගෙනැත් දෙනවා. දවසකට රුපියල් 500/- ක් 600/- ක් විතර සොයා ගන්න පුළුවන්. වසරේ මාස 05 ක් 06 ක් විතරයි මේ රස්සාව තියෙන්නේ. දවසකට පැය 12 ක් විතර වැඩ කරනවා. මීට වසර 05 කට 06 කට කලින් ඒ කාළේ හැටියට හොද ආදායමක් ලැබුණා. දැන් නිශ්පාදකයා පාඩුයි කියල අඩු මුදලකුයි දෙන්නේ. බකට් විකිණෙන්නේ නැහැ කියල කියනවා.

වෙසක් කූඩු නිශ්පාදිකාවක් වන, බළපිටිය, අම්පේ පදිංචි ආර් ආරියවතී (57) මහත්මිය.

මට ළමයි හතර දෙනෙක් ඉන්නවා, මහත්තයා මීට වසර කීපයකට කලින් මිය ගියා. වසරේ මාස 03 ක් පමණ මේ රස්සාව කරනවා. ඊට පස්සේ වෙනත් කුලී වැඩ මොනවා හරි කරලයි ජීවත් වෙන්නේ. බකට් නිශ්පාදනය වගේ මාස 05 ක් 06 ක් වැඩ නැහැ. නිශ්පාදකයා අමුදව්‍ය ගෙනැත් දුන්නම මම කූඩු හදන එකයි කරන්නේ. එක කූඩුවකට රුපියල් 13/- ක් ගෙවනවා. කූඩුවක් විකුණන්නේ රුපියල් 130/- කට. දවසකට කූඩු 50 ක් 60 ක් විතර හදන්න පුළුවන්. ගෙදර වැඩත් කරන ගමන් දවසකට රුපියල් 500/- ක් 600/- ක් හොයාගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *