අපි සමරණ වෙසක් දිනයේ පුරාණය

රජවරු, සිටුවරුසහ දුගීන් සියල්ලන්

වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.

ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්‍රදායයන් තුල එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳන්වේ. වෙසක් යන වචනයද පාලි “විසාඛ” (Visakha) යන වචනයේම සිංහල ස්වරූපයයි. හින්දු චන්ද්‍ර දින දර්ශණයේ දෙවැනි මාසය හැඳන්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාකා පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනිසියාවේ වෛශාඛ්, ශ්‍රී ලංකාවේ සහ මැලෙසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක – සොනෙ – ලා – ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. කසානෙ යනුද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්‍රී ලංකාව,මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.

හැම අවුරුද්දක ම වෙසක් දිනවල මෙන්ම, සමහරවිට, පොසොන් දිනවල ද සුලබ ව දක්නට ලැබෙන වෙසක් කූඩු කතාන්දරය වෙසක් මෙන් සුන්දරය.

වැවත් දාගැබත් ගමත් පන්සලක් අතර ඇතිවු සංකල්පයක් වශයෙන් ද හැදින ගත හැකියි.අද අපි දකින නොයෙකුත් ආකාරයේ වෙසක් කූඩු හදන, ජනතාව “වෙසක් කූඩුවේ” ඉතිහාසය ගැන දැනිමක් නැත. අදිකාලයේ දී  රටේ තිබුණු ගම්මාන බොහෝදුරට කැලෑබද නොහොත් වනගත ව තමයි දැකිය හැකි වුයේ. හැම ගමකටම වාගේ පන්සලක්, වැවක් දැකිය හැකි විය. කොටින් ම, ගමයි, පන්සලයි,වැවයි, දා ගැබයි කියන මේ චතුරශ්රය ඇතුලෙ තමයි අපේ සිංහල ශිෂ්ඨාචාරය දැකිය හැකි විය.

බෞද්ධයොත් හැම පොහොයකට වෙසක් දාට පෙළ ගැහිල පන්සල් යති. සමහරවිට ගමකින් ගමකට විය හැකිය.සාමන්යයෙන් පන්සල තියෙන්නෙ ගමේ උස ම භූමියක. කොහොමත් වෙසක් දාට හඳ එලියෙන් නැහැවුනු අවට ගස් කොලන් පිරුණු පරිසරය හරිම චමත්කාරජනක යි. ගමේ හැම ගෙදරක ම බාල, මහළු සියළු දෙනාම පෙළ ගැහිල පන්සල් යන දර්ශනය දැකිය හැකිය.

සමහර විට යන්න තියෙන්නෙත් ලෙහෙසි පහසු දුරක් නෙමෙයි,, අද ගේ එලි පෙහෙලි වෙච්ච පාරවල් තිබුණෙ නැහැ. පාරවල් සිමිතව තිබුනේ.මේ විදිහට තමන්ගේ ගම හරහා යනෙනා උදවිය ගේ පහසුවට මෙන්ම ගමන් මහන්සිය නිවීමේ අරමුණින්, ගමේ කොල්ලො කුරුට්ටො රෑන එකතු වෙලා දන්සල් පැවැත්විම සිදුකරයි. මේ දන්සල් වල තිබ්බෙ බොහෝ දුරට පිපාසය සංසිඳුවන බෙලිමල්, ඉරමුසු,කොත්තමල්ලි වගේ පානයන් ලබා දුන්නේය. දන්සල් වලින් තමන්ගේ ගමන් විඩාව නිවාගන්නා අය දීපු පින් වදන් වලින් එදා මිනිස්සු ගොඩක් සතුටු වන්නට ඇති.

අද වාගේ විථි ලාම්පු තිබුනේ නෑ.ගොඩාක් වෙලාවට හුළු අතු එලියෙන් හා වෙසක් හඳ එලියෙන් විතරක් ම පන්සල් යාමටයි හුරු වෙලා තිබුණෙ.අර කලින් කිවුව වගේ තමන්ගෙ නිවෙස් අද්දරින්, ගම හරහා යනෙන අර බැතිමතුන් හෝ පහසුව සඳහා, නොයෙකුත් “එලි” සකස් කරල තිබුණෙ, කෙසෙල් බඩ පහන් වැටවල්, පහන් ආදියෙන්. පහන් කොහොමත් හුලඟට මලානවේ. ඉතිං මේ අපහසුව මගහරව ගන්න තමයි එදා අපෙ ගැමියන් පහන ආවරණය වෙන විදිහට කිසියම් ආවරණයක් යෙදුවේ කියා සඳහන් වේ.

මෙම පහන රඳවා ගැනීමට සැකිල්ලක් භාවිත කලා. එය ලී දඬු හා ගස්වල වැල් වර්ග භාවිතයෙන් නිම වුනා.. අන්තිමේ දී අර සැකිල්ල ලා පැහැති ආවරණයකින් වැහෙන විදිහට සකස් කරගන්නව… අන්න එහෙම හදාපු පහන් කූඩුවක් සෑම නිවෙසකම වාගේ දක්නට ලැබුණෙ, අපේ සිංහලයන්ගේ ජාන වලම තිබුණු පරිත්‍යාගශීලී ගතිය නිසා ය. තම නිවෙස අද්දරින් යනෙන බැතිමතුන්ගේ පහසුව තකා සිදුකරන්නේ ය.

මේ ආකාරයට තමයි  “පහන් කූඩු සංකල්පය” පසුකාලීන ව නොයෙකුත් හැඩයන්ගෙන් නිර්මාණය වෙන්නට අපට කටයුත සිදුකර තියනවා.නොයෙකුත් කාලානුරූප හේතූන් මෙම හැඩයන් කෙරෙහි බලපාන්නට හැකිය.එවැනි වෙසක් කූඩු වර්ග බොහෝමයක් අද වෙනකොට අපිට දැකිය හැකිය. අටපට්ටම්, නෙළුම් මල්, හරි හතරැස් කොටු ආදිය ද, හංස,ඇත් වැනි සත්ත්ව ආකෘති ද වර්තමානයේ දක්නට ලැබේ.

“වෙසක් කූඩු” සංකල්පය කියන්නෙ, සිංහල ශිෂ්ඨාචාරයට ආවේණික වෙච්ච ඉතා වැදගත් උරුමයක්… අපි පරපුරෙන් පරපුරට මේ සංස්කෘතික අංගය කි. වෙසක් කූඩුවේ නියම අර්ථයන්” ඉතාම සරලව සඳහන් කළ හැකිය.බට පතුරු යොදාගෙන වෙසක්‌ කූඩු සෑදුවේ මීට කලකට පමණ ඉහතදීය. අද නම් රෙඩිමේඩ් වෙසක්‌ කූඩු ඕනෑ තරම් වෙළෙඳ පොළේ දැකිය හැකිය. නානා මාදිලියේ වෙසක්‌ කූඩු විකිණීමට කඩවල එල්ලා තිබේ. කිසිදු කරදරයකින් තොරව කඩයෙන් වෙසක්‌ කූඩුවක්‌ මිලදීගෙන වෙසක්‌ දිනයට එල්ලා තැබිය හැක. වෙසක්‌ කූඩු පමණක්‌ නොව විවිධ මාදිලියේ වෙසක්‌ කාඩ් වෙසක්‌ සැරසිලි මේ දිනවල වෙළෙඳ පොළේ දැකිය හැක. බැලූ බැල්මට පෙනෙන්නේ වෙසක්‌ උත්සවයද වාණිජ්‍ය කරණයට ලක්‌ව ඇති බවය.

නූතනයේ අපේ වෙසක්‌ සැරසිලි නවීකරණය වී ඇති බැව් පවසන්නේ අම්පාවිල නාරද නායක හිමියෝ ය. වෙසක්‌ උත්සවය සැමරීම සඳහා අපේ පැරැන්නන් යොදාගත් වෙසක්‌ සැරසිලි අද වෙනස්‌ වෙලාය. සමාජය නවීකරණය වීම, විවෘත ආර්ථිකය, කාර්ය බහුලත්වය ආදී හේතු මේ සඳහා බලපා ඇති බැව් උක්‌වත්තේ චන්දිම හිමියන් පවසන්නාහ.ඒ කොයි හැටි වෙතත් සෑම බොදු නිවසක්‌ම වෙසක්‌ සතියේ වෙසක්‌ කූඩු හා වෙසක්‌ සැරසිලි වලින් ළෙල දෙයි.

අප මේ කියන්නට යන්නේ පෙර රජවරු වෙසක්‌ උත්සවය පැවැත්වූ හැටිය.
වෙසක්‌ උත්සවය ආරම්භවී ඇත්තේ බුද්ධ පරිනිර්වානයෙන් කලක්‌ ගතවූ පසු බවද පැවසේ. දේවානම්පියතිස්‌ස රජතුමා වෙසක්‌ උත්සවය ආරම්භ කළ බවද පැවසේ. එහෙත් ඒ පිළිබඳ ලි ත සාක්‍ෂි නම් නැත. මහා වංශයේ සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමන් වෙසක්‌ පූජා විසිහතක්‌ කළ බවය. ඉන්දියාවේදී තමන් දුටු වෙසක්‌ පෙරහැරක්‌ පිළිබඳ පාහියන් නම් චීන භික්‍ෂුව සිය වාර්තාවේ සඳහන් කොට ඇත්තාහ. බුද්ධරූප නා නා මාදිලියේ රථවල තබාගෙන ගිය ආකාරය එම වාර්තාවේ සඳහන් වන්නේය. මෙම පෙරහැර පවත්වා ඇත්තේ වෙසක්‌ මාසයේ අටවෙනිදාය.භාතිය රජු ක්‍රි.ව. 38-67 වෙසක්‌ උත්සව විසි අටක්‌ කළ බව සඳහන් වේ. බුද්ධ රූප තනා රථයක තබා වීථි සංචාරය කරමින් මෙම වෙසක්‌ උත්සවය පවත්වා තිබේ. එමෙන්ම මෙකී වෙසක්‌ උත්සවයේදී දුගී මගී යාචකයන්ට කෑම බීම දුන් බවද සඳහන් වේ. අද නම් වෙසක්‌ උත්සවයේදී දන්සල් පවත්වන්නේ දුගී මගී යාචකයන්ට දීම සඳහා නම් නොවේ. වර්තමානයේ බොහෝ දන්සල් ප්‍රදර්ශනාත්මක මුහුණුවරක්‌ ගෙන තිබේ.

කෙසේ වුවද එදා මෙන්ම අද ද වෙසක්‌ පොසොන් යන පෝයන්වලදී ලබාදෙන දන්සල් ක්‍රමය ජාතක කතා පරිශීලනය කිරීමෙන් අපට ඇබ්බැහි වූවකි. දන්සල් දීමේ ක්‍රමය පෙර රජ දවස පටන් ආරම්භ වූවකි. මහා විජයබා රජුගේ අඹගමු ලිපියේද නිශ්ශංක මල්ල රජුගේ ලිපි රාශියකද ගිහි පැවිදි සියල්ලන් සඳහා දන්සල් පැවැත්වූ බව සඳහන් වේ. දොර දන්දීම වෙසක්‌ උත්සවය සමග එකට බැඳී තිබේ.එමෙන්ම වසභ රජතුමාද ඔටුනු පළන් වර්ෂයේ සිටම පිළිවෙළින් වෙසක්‌ උත්සව 44 ක්‌ පැවැත්වූ බව සඳහන් වේ. අනුරාධපුර යුගයේ සිටි බොහෝ රජවරු වර්ෂයක්‌ පාසා වෙසක්‌ උත්සව පවත්වා තිබේ. වෝහාරික තිස්‌ස රජු වෙසක්‌ උත්සවයක්‌ පවත්වා ලක්‌දිව සියලු භික්‍ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කොට ඇති බැව් බෞද්ධ පොත්පත්වල සඳහන් වේ.ගෝඨාභය රජතුමාද වෙසක්‌ උත්සවය මහ ඉහළින් පවත්වා භික්‍ෂූන් වහන්සේලා තිස්‌දහසකට සිවුරු පූජා කළේය. එකල වෙසක්‌ උත්සවයේදී චීවර පූජා කිරීම විශේෂ කරුණක්‌ වී තිබිණි. ජෙට්‌ඨතිස්‌ස රජතුමාද වෙසක්‌ උත්සවයේදී භික්‍ෂූන් වහන්සේලාට චීවර පූජාව කළ රජ කෙනෙකි.

මුගලන් රජතුමා වෙසක්‌ උත්සවය චාරිත්‍රානුකූලව කළ බැව් වංශ කතාවල සඳහන් වන්නේය. වෙසක්‌ උත්සවය පැවැත්වීම සඳහා සම්මත නීති මාලාවක්‌ එකල තිබී ඇති බවද පැවසේ. වර්ෂයක්‌ පාසා වෙසක්‌ උත්සවය පැවැත්වීම, වෙසක්‌ උත්සවය ආරම්භ කළ යුතු ආකාරය,ආරම්භ කරන්නේ කුමකින්ද යනු ඒ නීති මාලාව බවද සඳහන් වේ.
මිහින්තලා සෙල් ලිපියේ මඟුල් ජෙටක්‌ යන පදය සඳහන් වන බව පොත්පත්වල සඳහන් වෙනවා. ඇත්තටම එකල බුද්ධාභිෂේක ආදී උත්සව සංවිධානය කිරීමට පිරිසක්‌ පත් කරලා තියෙනවා. මගුල් ජෙට්‌ තමයි එහි ප්‍රධානියා බවට පොත පතේ සඳහන් වන්නේ. මේ අනුව පෙනී යනවා වෙසක්‌ උත්සවය සංවිධානය කිරීමට පිරිසක්‌ සිටි බැව්. ගාලු කඩවත් සතර හා තල්පපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන හිමියන් එසේ පවසන්නාහ.
දෙවන සේන රජතුමා විසින් පවත්වන ලද වෙසක්‌ උත්සවයක්‌ ගැනද මහා වංශයේ සඳහන් වේ. මෙම වෙසක්‌ උත්සවයේදී දුගී මගී යාචකයන්ට ආහාර පාන දුන් බවද සඳහන්ය. පංචතූර්යනාද පවත්වා කොඩි කුඩ සේසත් ඔසවා මහා පරාක්‍රමබාහු රජතුමාද වෙසක්‌ උත්සවයක්‌ පවත්වා ඇත.දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින්ද වෙසක්‌ උත්සවයක්‌ පවත්වා තිබේ. පූජාවලියේ ඒ සඳහා එම විස්‌තරයට අනුව පැරැණි වෙසක්‌ උත්සවයක අසිරිය විස්‌තර කොට ඇත්තේය.හේ ඊතලයක්‌ සේ සමකරවා පස්‌රියනකට රජ තොරණක්‌ හා දස රියනකට පිළි තොරණක්‌ හා සියක්‌ යොදුනකට තුන්මහල් පිළි මාළිගා බැගින් නිමවා මග සුදු වැල්ලෙන් තවරා දෙපස ධජ පුන් කලස්‌ තනා වෙහෙර පවුරු සිසාරා බුද්ධ පූජාවට ආ මේඝ රාජයාගේ ඉන්ද්‍රචාප සහශ්‍රයන් බඳුවූ විචිත්‍ර චිත්‍ර කර්මාන්තයන්ගෙන් හොබනා මහත්වූ තොරණ සහශ්‍රයෙන් හා බුදුන් පුදම්හයි. පූජාවලියේ එක්‌තැනක මේ පැරැණි වෙසක්‌ උත්සවයක හැටි එසේ සඳහන් වන්නේය.පැරැණි වෙසක්‌ උත්සවය පැවැත්වූ ආකාරය ගැන පූජාවලියේ දීර්ඝ වශයෙන් විස්‌තර කොට ඇත්තේය. කොළඹ යුගයේද උසස්‌ අන්දමින් වෙසක්‌ පිංකම් පවත්වා තිබේ. මේ යුගයේදී පැවැති වෙසක්‌ උත්සව වලදී ප්‍රධාන තැනක්‌ ගෙන ඇත්තේ වෙසක්‌ තොරණ හා දන්සල්ය. වර්තමානයේද ප්‍රධාන නගරවල වෙසක්‌ තොරණ දැකගත හැකිය.

පෙර රජ දවස මෙන්ම වර්තමානයේද වෙසක්‌ උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත. බෞද්ධයන්ට අන් සියල්ලටම වඩා වෙසක්‌ උත්සවය වැදගත්ය. සිදුහත් කුමරු ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන කරුණු තුනට සිදුවූයේ වෙසක්‌ පුරපසළොස්‌වකදාය. මෙවර 2600සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා ගම් මට්‌ටමින් විවිධ වැඩසටහන් සංවිධානය කොට තිබේ. ඒ සඳහා බොදු ජනතාව පෙළ ගැසී සිටිති.මෙකී ලිපියේ මුලදී සඳහන් කළ ආකාරයට වර්තමානයේ වෙසක්‌ සැරසිලි නවීකරණය වී තිබේ. එහෙත් වෙසක්‌ සැරසිලි කිරීමේදී බුදු දහමට හානියක්‌ නොවන අයුරින් ඒවා සිදු කිරීමට අප අදිටන් කරගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *