රට පුරා අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක්

මෙරටට ඖෂධ ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන්

හෘද රෝග, පිළිකා, වකුගඩු, ශ්වසන රෝග සහ විටමින් ඌනතා සඳහා අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් රජයේ රෝහල්වල මේ දිනවල පවතින බව වාර්තා වේ.රාජ්‍ය ඔසුසල්වලින් සහ පෞද්ගලික ඖෂධහල්වලින්ද මෙම ඖෂධ මිලදී ගැනීමට නොමැති බව දැන ගන්නට ඇත.

වර්තමානය වනවිට රෝහල්වල ඖෂධ වර්ග කීපයක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාද මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර එසේම වැඩිපුර ඖෂධ ඇති රෝහල්වලින් ඖෂධ හිඟය ඇති රෝහල්වලට තොග ලබා දීමට කටයුතු කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඖෂධ හිඟය ඇති වී ඇත්තේ ඖෂධ සමාගම්වලින් මෙරටට ඖෂධ ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් බවද ඔහු සඳහන් කර ඇත. මේ අතර ඇණවුම් කරන ලද බෙහෙත් ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුමැතිය ලබාදීම ප්‍රමාද කරන බවට මෙරටට ඖෂධ බෙදාහරින නියෝජිතයෝ සඳහන් කරති.

මේ පිළිබඳව විමසීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එම්.එච්.එම්. රූමි මහතා සඳහන් කරන්නේ ඖෂධ නියෝජිතයන් නගන එම චෝදනාව පදනම් විරහිත බවත් ඖෂධ සැපයුම්කරුවන්ගේ ප්‍රමාද වීම් නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවත්ය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වශයෙන් සෑම ඖෂධයක්ම අඩුපාඩුවකින් තොරව ගෙන්වීමට කටයුතු කරන බවත් රජයේ ක්‍රියාපටිපාටියන් නිසි ලෙස අනුගමනය කරමින් ඖෂධ ඇණවුම් සඳහා නිසි ලෙස අනුමැතිය ලබාදෙන අතර කිසිම අයුරකින් එම ඇණවුම් නතර කිරීමට කටයුතු නොකළ බවත් ඔහු සඳහන් කරයි. සෑම දිනයකම ඖෂධ සංස්ථාවේ කමිටුවක් රැස් වී ඖෂධ සම්බන්ධ ගැටලු පිළිබඳව සාකච්ඡා පවත්වා ඒවාට විසඳුම් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *