ඉන්දුනීසියාවට ගසාගෙන ගිය ධීවර යාත්‍රා සොයා සමුදුර යාත්‍රාව පිටත්වෙයි

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගිනිමින් ඇති වූ ‘’අම්ෆන්’’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව අද (21) කටයුතු කළේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 30 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ඉන්දුනිසියාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර සුලි කුණාටුවේ බලපෑම පහව යාමත් සමඟ නැවත එම ධිවර යාත්‍රා ගොඩබිම කරා යාත්‍රා කරමින් සිටී බවද නාවික හමුදාව කියයි.

මෙසේ ගොඩ බිම වෙත පැමිණෙමින් තිබෙන බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාව විසින් මෙලෙස නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවට පවරා තිබේ. නාවික හමුදාව විසින් මෙරට ධීවර ප්‍රජාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවත් බෝහෝ අවස්ථාවලදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් විවිධ අනතුරුවලට ලක්වූ ධීවර යාත්‍රා වලට මෙන්ම ධීවර ජනතාවටද සහය ලබාදීම නාවික හමුදාවේ අරමුණ බවත් නාවික හමුදාවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සුලි කුණාටු තත්ත්වය හේතුවෙන් විපතට පත් සියළුම ධීවර යාත්‍රාවන් ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය. බහුදින ධීවර යාත්‍රාවන්ට සහය සහ ඉන්ධන ලබා දීමට යවන ලද නාවික හමුදාවේ අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ඉහත ඡායාරූපයේ දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *