“අනාගත සාගින්නට පිළියම” // සුළු පරිමාණ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමයි

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙති.

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන් ආරක්ෂා කරන ගොවිතැන් ක්‍රමයක් වෙත ප්‍රවිශ්ඨ යැයි මෙවර 2020 ලෝක ආහාර දිනය (ඔක්තෝබර් 16 – ලෝක ආහාර දිනය)  වෙනුවෙන් මාද්‍ය නිවේදනයක් නිකුත් කරමින්  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙති.

වෙළෙදපොළ මත යැපෙමින් පවතින ලෝකයක ආහාර දිනය සැමරීමට තරම් නොවන බව පෙනේ. සෑම රටක ම කෘෂිකර්මාන්තයට අදාළ ගැටලු උග්‍ර වෙමින් පවතී. ඒ අතර තුළ 2020 නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහන වෙත පිරිනමා ඇත. ඒ ඔවුන් විසින් සාගින්න මැඩපැවැත්වීමට ගන්නා උත්සාහය නිසා බව සඳහන් වේ. එය එසේ වුව ද සංඛ්‍යා දත්ත අනුව තහවුරු වන්නේ සාගින්න තවදුරටත් සංකීර්ණ වී ඇති බව ය. එසේ ඔවුන් සම්මාන හිමි කර ගන්නේ ලෝකවාසී ප්‍රජාව සාගින්නෙන් මුදාලිය හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට ගොඩනගා ඇති සියලු ව්‍යුහයන් අසමත් වී ඇති මොහොතක ය.

ලොව පුරා තිබෙන දුප්පත්කම හා සාගින්න වර්ධනය වන්නේ පවතින වත්මන් ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් නිසා බව ඔවුන් තවදුරටත් නොපිළිගනිති. එම නිසා ම පිළිතුරු ලෙස ඉදිරිපත් වන බොහෝ දෑ වලින් සිදුවන්නේ පවතින ක්‍රමය එලෙස ම තවදුරටත් තහවුරු වීම ය.

1960  දශකයෙන් ආරම්භ කළ කාර්මික කෘෂිකර්මාන්තය තුළින් ලොව පුරා 70% ක් පමණ නිෂ්පාදනයේ යෙදී සිටින සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන් බැහැර කොට ඇත. කොවිඞ් වසංගතයත් සමඟ තවදුරටත් සුළු නිෂ්පාදකයන් වෙත කෙරෙන බලපෑම් ඉහළ යමින් පවතින අතර, කෘෂි සමාගම් හි වෙළෙඳාම ශක්තිමත් විය. රාජ්‍ය ඔවුන් මත දැඩි විශ්වාසයක් තබා ඇති අතර සමස්ත ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ වගකීම ඔවුනට පවරයි.

ලංකාව මුහුණ දී තිබෙන තත්ත්වය ඉතා භයානක ය. අපේ සමස්ත කෘෂිකර්මාන්තය ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතී. එමෙන් ම රටවල් අතර නිෂ්පාදන හුවමාරුව හා බෙදා ගැනීමටත් හැකි වී නොමැත. අමුද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා වීම් තුළ එයට විකල්ප ව ගොඩනැගිය යුතු කෘෂිකර්ම ප්‍රවේශයක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් මේ වෙනතෙක් ආරම්භ වී නොමැත. අපනයන ඉලක්ක කොටගත් වානිජ කෘෂිකර්මාන්තය විසඳුම බව රජයේ පිළිගැනීමයි. ඒ නිසා ම බහුතරයක් වූ සුළු පරිමාණ ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන්, ධීවරයන් ඇතුළු බොහෝ පිරිසකගේ මුලික අයිතීන් උදුරා ගැනීමේ සැලසුම් වේගවත් ව ක්‍රියාත්මක වේ.

සෞභාග්‍යා දැක්ම නමින් ඉදිරිපත් වූ කෘෂිකර්ම වැඩපිළිවෙළට පටහැනි කටයුතු ක්‍රියාත්මක වන අතර ඵක්‍ක්‍ ගිවිසුම බොහෝ විට ඉදිරි දින කිහිපයේ අත්සන් තැබෙනු ඇත. චීනය, ඉන්දියාව, ප්‍රමුඛ කලාපීය බලවතුන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කෙරෙනු ලැබෙන අතර සුපිරි වෙළෙඳසැල් ජාලය ශක්තිමත් වනු ඇත. වනාන්තර හා රක්ෂිත ඉඩම් නීති වෙනස් කරමින් ඒවා අපනයනය ඉලක්ක කරගත් වානිජ වගාවන් සඳහා පවරනු ලබන අතර ඉඩම් නීති වෙනස් කරමින් ඉඩම් වෙළෙඳපොළ ට තිබෙන බාධා ඉවත් කරනු ඇත. පොහොර නොමිලේ ලබා දීමෙන් පටු දේශපාලන වුවමනාවන් ඉටුකරගනු ඇත. රට ට කිසිසේත් නොගැළපෙන ඩ්‍රෝන තාක්ෂණය වැනි අධිතාක්ෂණික මෙවලම් භාවිත ගොවිතැන් ක්‍රම පිළිබඳ ව උපදෙස් රජය පිළිගනිමින් ඒවා ක්‍රියාත්මක කරන විට ගොවියා තම ගොවිබිම්වල ම කම්කරුවන් බවට පත් වීම නියත ය. ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතිවිශාල ධනයක හිමිකරුවන් වන අතර ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි මුල්‍ය ආයතන විසින් ලබාදෙන ණය හා උපදෙස් තවදුරටත් පිළිගනිමින් ගොවියාත්, ගොවිතැනත්, ඔවුන් සතු ස්වාභාවික සම්පත් සියල්ලත් ඔවුන් ට අහිමි කරනු ඇත. ලෝක වෙළෙඳ සංවිධානය මුලික ව ගොඩනගා ඇති එකඟතාවන් හා ගිවිසුම් මඟින් ලොව පුරා සමාගම්වල වුවමනාවන් ඉටුකිරීම සඳහා සාමාජික රටවලට කර තිබෙන යෝජනා පිළිගැනීමට සිදුවනු ඇත.

අප මුහුණ දී ඇති යතාර්ථය මෙයයි. දැන් අවශ්‍ය වන්නේ කෘෂිකාර්මික විප්ලවයකි. එහි පළමු පියවර වන්නේ මෙතුවක් සිදුකරමින් ඇති වැඩපිළිවෙළ අසමත් එකක් බව පිළිගැනීමයි. එය පිළිගැනීමෙන් අලුත් මාවත් විවර කර ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා ගත යුතු පියවර කිහිපයක් මෙසේ අවධාරණය කරමු.

සෑම ගොවි බිමක් ම බෝග විවිධත්වයක් කරා ගමන් කර විය හැකි කඩිනම් වැඩපිළිවෙළක් හඳුන්වා දීම,සියලු කෘෂි අමුද්‍රව්‍ය ලංකාව තුළ නිෂ්පාදනය කිරීම,නිෂ්පාදන මිල කිරීම,බෙදා හැරීම හා අලෙවිය සඳහා සමූපකාර ශක්තිමත් කිරීම,කෘෂිකර්මාන්තයට අදාළ ව තීරණ ගැනීම, පාලනය හා මෙහෙයවීමේ අයිතිය ගොවීන්ට ලබා දීම,නිෂ්පාදන වලට අගය එකතු කිරීම හා වැඩිදියුණු කිරීම ගොවීන් විසින් ම සිදු කිරීමට දිරිගැන්වීම,MCC  නිදහස් වෙළෙඳ ගිවිසුම්, ඉඩම් නීති වෙනස් කිරීම් ආදී කටයුතු මගින් කිසිසේත්ම සුලු පරිමාණ නිෂ්පාදනයේ යෙදී සිටින්නන්ගේ ජීවිකාවන් හා අයිතීන් අහිමි නොකිරීම,මහා පරිමාණ කෘෂිකර්මාන්තය වෙනුවට කුඩා පරිමාණ ගොවි බිම් යොදා ගනිමින් ඇති වී තිබෙන අර්බුද වලට විසඳුම් සෙවීම සඳහා බහුපාර්ශවීය නියෝජනයක් සහිත සභාවක් ගොඩනැගීම,දේශීය දියර කිරි අවශ්‍යතාව සැපිරීමටත්, පාරිසරික ගොවිතැන ව්‍යාප්තිය වේගවත් කිරීමටත් දිනකට අක්කර 30 ක් වගා කළ හැකි පොහොර ලබා ගැනීම වෙනුවෙන් වියදම් රහිත ස්වාභාවික ගොවිතැන (Zero Budget Natural farming) ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වහා ම පියවර ගැනීම,සමස්තය පරිවර්තනය කිරීම සඳහා රටට ගැළපෙන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීම ආදිය වේ. මෙයට අමතරව,ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය දැඩි ව අවධාරණය කරන්නේ මෙවැනි පරිවර්තනයක් ඇති කර ගැනීම සඳහා මේ මොහොතේ ගොවීන් මූලික වූ සැබෑ ගොවි ව්‍යාපාරයක අවශ්‍යතාව ප්‍රමුඛ වන බවයි. ඒ වෙනුවෙන් සියලු දෙනාගේ සක්‍රීය මැදිහත් වීම් සහිත බහුජන ක්‍රියාකාරිත්වයකට එකතු වන ලෙස ආරාධනා කර සිටින බවද මෙම මාධ්‍ය නිවේදනයේ සදහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *