ඇමැති අමරවීරට බලපිටියෙන් කනේ පහරක්

ශ්‍රීලනිපය අලියා ගිලපු දිවුල වගේ

ප‍්‍රාදේශීය සභාවලට මුදල් දෙන්නෙ නැහැ කියල මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා. එය තුට්ටුදෙකේ තුච්ච කතාවක් බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් පී. ද සිල්වා මහතා ඊයේ (21) බළපිටියේදී ප්‍රකාශ කළේය.

අමරවීරගේ මේ අමරණීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී කතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල කැලලක් බවත් එය පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බළපිටිය ප‍්‍රාදේශීය සභාව පිහිටුවීමට දායක වූවන් ඇගයීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී තව දුරටත් අදහස් දැක්වූ මොහාන් පී ද සිල්වා මහතා මෙසේද කීය.

ලංකාවේ යම් දිස්ත‍්‍රික්කයක සියලූ පළාත් පාලන ආයතන පොදු ජන පෙරමුණ ජය ගත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ විතරයි. අපි සමගි සම්පන්නව කටයුතු කල නිසා ඒ ජයග‍්‍රහණය හිමි කරගන්න හැකි වුණා. ඉදරියටත් ඒ සමගිය ආරක්ෂා කරගෙන ඉදිරියටම යනවා. ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණ වලදී ජයග‍්‍රහණය කර තිබෙන්නේ ආණ්ඩු බලය තිබෙන පක්ෂයි. එහෙත් මෙවර බහුතර පළාත් පාලන ප්‍රමාණයක් ජයගත් පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ රටේ බහුතරයක් ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ කියන එකත් ජනතාව ආණ්ඩුව ගැන කලකිරී සිටින බවත් මේ මගින් තහවුරු වෙනවා. ඒ අනුව ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් බවත් මෙයින් පැහැදිලියි.

ආණ්ඩුවට සම්බන්ධ නැති පොදු ජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන වලට කෙනහෙළිකම් වලට ලක්වෙන්න වේවි. අද ලංකාවේ ආණ්ඩුවට සම්බන්ධ නැති එකම දේශපාලන පක්ෂය පොදු ජන පෙරමුණ පමණයි. ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුව සමග හොරෙන් සම්බන්ධයි. මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා මුදල්දෙන්නෙ නැහැ කියල. මේ ආණ්ඩුව යටතේ ඉන්න වෙන්නේ බොහොම ටික කාලයයි. කියන අය කොහොම කිව්වත් ඒවා පසෙකලා අපි ඉදිරියටම යනවා. අපට සහය දෙන බහුතරයක් ඉන්නෙ පළාත්සභා වලයි. ඒ අය අවශ්‍ය සහය ලබා දෙනවා. ඒ නිසා කිසිදෙයකට බිය විය යුතු නැතැ.

මැයි 08 දිනෙන් ආරම්භ වන පාර්ලිමේන්තු කාලය විශාල දේශපාලන පෙරලියක් වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට ඊට පෙර රැස්වන ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව, ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගන්න පුළුවන්. එසේ නොවුණහොත් ශ්‍රිලනිපය තවතවත් දියවී යා හැකියි. දැනටමත් ශ්‍රිලනිපයට අලියා ගිලපු දිවුල් ගෙඩියට වෙච්ච දේ වෙලා තිබෙනවා. මේ තත්ත්වයට යහ පාලන ආණ්ඩුවට එකතු වූ ශ්‍රිලනිපයේ අය වග කියන්න ඕනෑ යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස්, බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජය මධුසංක යන මහත්වරුන්ද මෙහිදී කතා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *