ගුවන් හමුදාව සතියකින් ගම්පහ රෝහලේ කොරෝනා රෝගීන් හදුනා ගැනීමේ ඒකකයක් සාදයි!!

ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ගම්පහ රෝහලට කොරෝනා සැක රෝගීන් හඳුනාගැනීම ප්‍රතිකාර ඒකකයක් සතියකින් සාදා නිම කරයි

කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් එවන් රෝග ලක්ෂණ සහිත රෝගීන් පරීක්ෂා කොට කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම පිනිස නව ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අද (4) ස්ථාපනය කෙරිණි.

කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සහ වෙනත් රෝගීන් පැමිණීමේදී බාහිර රෝගී ප්‍රතිකාර අංශයට යොමු කිරීම මෙම අවස්ථාවේ සුදුසු නොවන බැවින් මෙවන් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.

මේ සදහා මහ රෝහල් සංවර්ධන පදනම මගින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ප්‍රදානය කොට ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු අංශ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් දින කිහිපයක් තුල ඉදිකිරීම සිදු කොට ඇත.

ප්‍රදේශයේ නාහිමි වරුන්ගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඒකකය විවෘත කිරීම සිදු කෙරුනු අතර රෝහල් සංවර්ධන පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ , එහි උපදේශිකා සුජාතා විජේසිංහ, ගුවන් හමුදා ගෲප් කපිතාන් චින්තක මුතුතන්ත්‍රී සහ බල පන්ති ලුතිතන් දමින්ද කොළඹ තන්ත්‍රී යන මහත්ම මහත්මීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයෙහි පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *