කිරිවෙහෙර නාහිමියන් ඝාතන සැලසුමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් දීලා

පොලීසිය කරුණු අනාවරණය කරගැනීමට සමත්වෙයි

කතරගම කිරි වෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට සැලසුම් කර වෙඩි ප්‍රහාර එල්ල කළේ යැයි කතරගම පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 07 දෙනා 2019 ජනවාරි මස 16 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචන මාලා සුසන්තා ගුණසේකර පෙරේරා මහත්මිය ඊයේ  (02) නියෝග කළාය.

පරික්ෂණ අවසන් කර උද්දෘත අධිකරණය හමුවේ ගොනුකරන ලෙසත් පොලිසියේ භාරයට ගෙන තිබෙන නඩුවට අදාල සියළු නඩු භාණ්ඩ හා රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය කතරගම පොලීසියට දැනුම් දුන්නාය.

ඇගිලි සලකුණු රෙජිස්ටාර් ලේකම් කාර්යාලය වෙත යවන ලද අතුල් පතුල් හා ඇගිලි සලකුණු වාර්තාවන් මෙන්ම සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවන්ද කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්තේ වෙඩි තැබීම සදහා භාවිතා කළේ යැයි කියන ගල් කටස් වර්ගයේ ගිනි අවිය හා බෝර 12 තුවක්කුවයි, එයින් නිකුත් වූ උණ්ඩ කොටස්, වෙඩි වදින අවස්ථාවේ නාහිමි ඇද සිටි සිවුර හා ලේ සාම්පල්ය. 1996 අංක 22 දරණ ගිනිඅවි සංශෝධන පනතේ 44 (අ) සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ අපරාධ විධිවිධාන පනතේ 300 වන වගන්තිය යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොලිසිය චෝදනා ගොනු කර ඇත.

සිද්ධියට අදාලව සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා සහ රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ සම්බන්ධ පරික්ෂණ වාර්තා ලබා ගැනිමට කටයුතු කර ඇති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නාය. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතීඥ රංගිකා අමරවිර මහත්මිය, කතරගම පොලිසියේ සැරයන් මනිමෙල්දුර සමන් (28030), පොලිස් කොස්තාපල් අමරසිරි (3646) මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළාය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දීපිකා සමන්මලී මහත්මිය, තම සේවාදායකයින්ට මහාධිකරණයෙන් ඇප ලබා ගැනිම සදහා පොලිස් පරික්ෂණ අවසන් නොවිම ගැටලුවක් බව ප්‍රකාශ කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40), එකම පවුලේ නියුන් සොහොයුරන් දෙදෙනෙකු වන ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24) සහ ජයවික්‍රම කංකානම්ගේ ධනුෂ්ක (24), මාරපතිරගේ කවිශ්ක දිල්ශාන් නොහොත් කුරුලූ (18), ගල්වල ගමගේ අනුරාධ නොහොත් මල්ලි (18), දීපිකා දිල්හානි වීරරත්න (33) සහ ඇයගේ සැමියා වන හේවාවිතානගේ සුගත් නොහොත් (40) රාළහාමි යන සැකකරුවන්ය.

වෙඩි තැබීම සිදුකල බව කියන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නාහිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ දී මීට පෙර හදුනාගැනීමටද සමත් විය. කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමට ගිනි අවි අතැතිව පැමිණි බව කියන මාරපතිරගේ දිල්ෂාන් (18) නොහොත් කුරුලූ නැමැත්තා මෙසේ හදුනා ගෙන තිබේ. මෙසේ හදුනාගනු ලැබූයේ කතරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් දිසානායක (73870) හා සිවිල් ආරක්ෂක කේ ඒ නිශාන්ත යන නිලධාරින් විසිනි.

2018 ජුනි මස 12 වන දින රාත්‍රී 10.40 ට පමණ කිරි වෙහෙර නාහිමියන් ඇතුලූ තවත් හිමිවරුන් කිහිප නමක් වෙනදා මෙන් කිරිවෙහෙර චෛත්‍යය රාජයානන් වහන්සේ වන්දනා මාන කර ආපසු සංඝාවසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැගවි සිටි තුවක්කුකරුවන් එල්ල කර වෙඩි පරපෙළහාරයකදි විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය. කිරි වෙහෙර රජමහා විහාරය ඇතුඑ පංචමහා විහාරයන්හි විහාරාධිපතිත්වය දරණ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොඹවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කතරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරිවෙහෙර විහාරවාසී වීදාපොල සෝභිත හිමියන්ද මෙම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා එදිනම කතරගම රෝහලට ඇතුලත් කරනු ලැබීය.

කතරගම රෝහලට ඇතුලත් කරන ලද හිමිවරුන් දෙපල වැඩිදුර ප්‍රතිකාර සදහා තිස්සමහාරාම හා හම්බන්තොට යන රෝහල්වලට මාරු කර යැවූ බවත් හම්බන්තොට මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති නාහිමියන් ඊට පසු දින ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ගොස් පෞද්ගලික රෝහලකට ඇතුලත්කර ප්‍රතිකාර ලැබූ බවත් කතරගම පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ සදහන් වේ.

පළමුවන සැකකාර අසේල බන්ඩාර නැමැත්තා වසර ගණනාවක් කිරිවෙහෙර මහසෙන් දේවාලයේ කපුවකු ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ඔහු ඉන් ඉවත් කිරීමට කිරිවෙහෙර නාහිමියන් කටයුතු කිරිම නිසා රුපියල් ලක්ෂ 30 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නායක හිමියන් ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බව ඔහුගේ පාපොච්චාරණ වලින් හෙලිවන බවද කතරගම පොලීසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වීය.

ඔහු විහාරාධිපති හිමියන්ට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයින් දෙදෙනාට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී  මනුෂ්‍ය ඝාතනයන්ට තැත් කිරිමේ චෝදනා මතත් සෙසු සැකකරුවන් හා සැකකාරිය මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කරමින් ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මතත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කතරගම පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කතරගම පොලිස් ස්ථානාධිපති අයි කේ එස් යූ කේ ලියනගම මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් මනිමෙල්දුර සමන් (28030) ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *