අම්බලන්ගොඩ දී පෙරහුරු මැතිවරණය පැවැත්වෙයි!!

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විලේගොඩ ග‍්‍රාම නිලධාරී වසමේ අද (07) දින ආදර්ශ ඡන්ද විමසීමක් පැවැත්විණි.

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය හා මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම සිදුකල යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සදහා මෙම ආදර්ශ ඡන්ද විමසිම පැවැත්විණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ යටතේ එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් කොපමණ වේලාවක් ගත වන්නේද යන්න අවබෝධයක් ලබා ගැනීම සහ එහිදී ඇති වන ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීම මෙම ආදර්ශ ඡන්ද විමසීමේ අරමුණ වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළම නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

අද (07) පෙ.ව 10.00 සිට මධ්‍යහන 12.00 දක්වා අම්බලන්ගොඩ, විලේගොඩ පිහිටි ධම්මයුක්තාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේදී මෙම ආදර්ශ ඡන්ද විමසීම පවත්වන ලද අතර ඒ සදහා ඡන්ද දායකයින් 300 දෙනෙකුට ඡන්දය දැමීම සදහා පැමිණෙන ලෙස දැනුම් දි තිබුණි. පැය දෙකක කාලය තුල ඡන්ද 239 ක් ප්‍රකාශ වූ බවත් ඡන්ද විමසිම පූර්ණ සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන ලද බවත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. නීත්‍යානුකූල ඡන්ද විමසීමකදිද අම්බලන්ගොඩ, විලේගොඩ පිහිටි ධම්මයුක්තාරාම විහාරස්ථානය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන බවද අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ගම් ප්‍රදේශය අම්බලන්ගොඩ වන අතර ඔහු ඒ නිසාම මෙම ආදර්ශ ඡන්ද විමසිම සදහා අම්බලන්ගොඩ නගරයට ආසන්නතම ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබුණ බව මැතිවරණ කොමිෂම් සභාවට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරන, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් චන්ද්‍රලාල්, අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලෙකම් සරසි එස් ගුණසේකර, මූලස්ථාන ග්‍රාම නිලධාරී නිමල් එස් කනකරත්න යන නිලධාරීන් ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයේ නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් සහභාගී විය.

ආදර්ශ ඡන්ද විසමීමේ විවිධ අවස්ථාවන් ඉහත ඡායාරූප වල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *