රෝහල් සේවකයන්ගේ අතිකාල කප්පාදුවට එරෙහිව අදත් විරෝධතා

රෝහල් සෞඛ්‍ය සහයකයන්ගේ අතිකාල කප්පාදුවට එරෙහිව අද දිනයේ දහවල් කෑම පය තුල දිවයිනේ බොහෝ රෝහල් ඉදිරිපිටට රැස්වූ සේවකයන් සිය විරෝධය පලකරන ලදී ගම්පහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන රෝහල් රැසක සේවකයන් මෙලෙස විරෝධතාවය දක්වන ලදී

බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ අතිකාල දීමනා කප්පාදු කළේ යැයි ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණයක් හා පිංකටි ව්‍යාපාරයක් ඊයේ (22) පෙරවරුවේ බළපිටිය මූලික රෝහලේ දී පැවැත්විණි.

කප්පාදු කරන ලද අතිකාල ලබාදෙන ලෙසත් බළපිටිය මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂතුමිය ඉවත් කරන ලෙසත් ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.

බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තුන්සියයකට (300) ආසන්න පිරිසක් සිය රාජකාරි වලින් බැහැරව ඊයේ (22) පෙ.ව 8.00 සිට 10.00 දක්වා මෙසේ විරෝධතාවයේ නිරත වූ බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය අප්‍රේල් මාසයට අදාල අතිකාල කප්පාදු කර ඇති බවත් එය ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය දියත් කල බවත් කණ්ඩම්බි මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය. බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයට සුදුසුකම් නැති බව පවසමින් අපහාසාත්මක අයුරින් කතා කල බළපිටිය රෝහල් අධ්‍යක්ෂතුමිය ඉවත් කරන ලෙසද උද්ඝෝෂණකරුවන් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ මව් සංගමයේ උපදෙස් පරිදි මෙම විරෝධතාවය දියත් කල බවත් දයානි කණ්ඩම්බි මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂණී වර්ණකුලසූරිය මහත්මියගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඊයේ (22) මේ විරෝධතාවය ඇති වන තුරු සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලය, මා සමග ගැටළුවක් තිබුණේ නැහැ. අප්‍රේල් මාසයේ අතිකාල ඉදිරියේදී ගෙවනවා. ප්‍රමාදයක් පමණයි තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම අදාල නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කළා. පසුගිය කාලයේ රජයේ වියදම් අධික වුණා. අදායම් අහිමි වුණා. ඒක නොසිතූ හදිසි තත්ත්වයක් බව අපි දන්නවා නේ.

බළපිටිය රෝහලේ සදුදාත් සිකුරාදාත් විශේෂඥ වෛද්‍ය සායන කිහිපයත් තිබෙනවා. ඒ දිනවලට රෝගීන් 800 ක් විතර එනවා. අත්‍යාවශ්‍ය සේවාවන් අඩාල කරන්නේ නැතුව විරෝධතාවය දියත් කරනන යැයි මම, ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එහිදී ඇති වූ කතාබහක් පිළිබදවයි, ඔවුන් කියන්නේ. මට ඕනෑ වුණේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සේවාව ලබා දෙන්නයි. පසුව අපි දෙපාර්ශවයම මේ තත්ත්වය තේරුම් අරන් තිබෙනබා.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *