කම්බිකොටුවේ දේශපාලනය..වංචා දූෂණ හොර මැර දේශපාලනයට තිත තබන ගම්පහ මෙහෙයුම ?

කම්බිකොටුවේ දේශපාලනය—–වංචා දූෂණ හොර මැර දේශපාලනයට තිත තබන ගම්පහ මෙහෙයුම ?

අසුවෙි දශකය වූ කලී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තිරස්චීන ම කාල පරාසයයි. භීෂණය රජකල ඒ කාලයේ ධර්ම ද්වීපයේ උඩු සුළගට මුසුව තිබුණේ මළමිනී කුණු ගඳ පමණි. මිනිසෙකුට ගෞරවාන්විතව මිය යාමට තිබු අයිතිය පවා ජවිපෙ මැර කණ්ඩායම් හෝ ප්‍රා කොළ කොටි ආදී එජාප රාජ්‍ය ත්‍රස්තවාදීහු හෝ විසින් පැහැර ගෙන තිබිණ .

මරණයකට හේතුවක් අවශ්‍ය නො වී ය. ඕනෑම කළුවර රාත්‍රියක සිත් පිත් නැති මරුවා කුමන හෝ ඉසව්වකින් මතු වන්නට ඉඩ තිබිණ. තරුණ දූ පුතුන් සිටි දෙමාපියෝ සිටියේ ගිනිගත් සිත් ඇතිවය.

1982 සැප්තැම්බර් දෙවැනි දා දොම්පේ අහස්කුසට රතෙයියාව මෝදු වීගෙන එද්දීම කම්බි කොටුවට ද මාරයාගේ හෝරාව පැමිණියේ ය. නාදුනන තුවක්කු කරුවෝ කම්බි කොටුවේ රාලහාමිට එළියට එන ලෙස අණ කළහ. උන්ගේ අණ පිළිපැදීම හැර, කළහැකි අන් කිසිවක් රාළහාමිට ඉතිරිව තිබුණේ නැත. සිය පවුලේ ළබැදියන් දෙස අපුමාණ සෙනෙහසින් බැලූ රාළහාමි ඔවුන් පසු පස යන්නට විය. තමන්ගේ ම වත්තේ අඳුරු කෙළවරකට රැගෙන ගිය කම්බිකොටුවෙ රාළහාමිට ඒ කුරිරු තුවක්කුකරුවෝ අනුකම්පා විරහිතව වෙඩි තැබූහ. රාළහාමිගේ ආදරණීය බිරිගේ විලාපය වියලි සුළගේ සැගවී ගියේය.

පියාගේ ඝාතනය පිළිබද හද රිදවන මේ කතාව කියමින් සිටි කම්බිකොටුවේ රාළහාමිගේ පුතුයෙකු වූ දොම්පේ ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මහතා මොහොතක් නිහඬ ව සිටියේ ය. අප ඒ නිහඩතාවයට බාධා නොකෙළෙමු.

අනතුරුව සිය දේශපාලන ආගමනය, අත්දැකීම් හා ජනතා සේවය පිළිබද කතාවට මුල පුරමින් ඔහු යළිත් කටහඩ අවදි කළේය.

ඒකාලේ හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියයි. දොම්පේ ආසනයට බොහෝ කාලයකින් දේශපාලන තනතුරක් ලබා නොදුන් නිසාත් 2004 මහ මැතිවරණය ප්‍රතිඵලයේ වර්ධනයත් අවධාරණයට ලක් කරලා විශේෂයෙන්ම දොම්පේ ජනතාවට කරන සැලකිල්ලක් වශයෙනුත් බස්නාහිර පළාත් සභාවේ සමුපකාර, මහා මාර්ග, විදුලිය සහ ජලය, වෙළඳ සහ ආහාර අමාත්‍යධුරය මට ලබා දුන්නා. ඒ ගෙවුණු අවුරුදු තුන හමාර තුල මම සුවිශේෂී සේවාවක් මගේ ආසනේ ජනතාවට සිද්ධ කළා. ඒ කාලෙම තමයි සුනාමි ව්‍යසනයත් ආවේ. ඒ නිසා මට විශාල වැඩ කොටසක් පැවරුණා. ඒත් මට පැවැරුණු හැම වගකීමක්ම, හැම යුතුකමක්ම මම උපරිම මට්ටමෙන් ඉටු කලා.

ඔය අතරෙ 2004 මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට පත් වුණ අමරසිංහ මහතා ඉල්ලා අස්වුණා. පෙබරවාරියෙ ශ්‍රීපති සූරියආරච්චි මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඊ ලඟට මාර්තු මාසේ අනුර බණ්ඩාරනායක මැතිතුමා ජීවිතෙන් සමුගත්තා. අප්‍රේල් 6 වෙනිදා ජෙයරාජ් ජෙයරාජ් පුනාන්දුපුල්ලේ ඇමතිතුමා කොටි ත්‍රස්තයින් විසින් මරා දැම්මා. ඔය විදියට ගම්පහ ලයිස්තුවේ පුරප්පාඩු රැසක් ඇති වුණා.

අප්‍රේල් මාසයේ මට පාර්ලිමේන්තු යන්න හැකි වුණා. එතැන් සිට දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස වැඩ කළ අතර 2010 දී බියගම ආසන සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගේ නායකත්වය යටතේ සුවිශේෂී ජයග්‍රහණයක් ලබන්නට අපට හැකි වුණා. ඒ මැතිවරණයේදී දොම්පේ ආසනයේ ඡන්ද ප්‍රතිඵලය 71.9% ක්. ලංකාවෙන්ම තුන්වැනි තැනට පත් වුණා. ඊට ටික කාලෙකට පස්සේ ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති විදියට දිවුරුම් දීලා 2015 තෙක් ම මම ඒ ඇමතිධූරය දරුවා. ඒ කාලය තුළ දොම්පේ සහ බියගම ආසන වලට ලොකු වැඩ කොටසක් කරන්නටත් මට අපුමාණ දේශපාලන අත්දැකීම් ලබා ගන්නටත් පුළුවන් වුණා.

2015 ජනාධිපතිවරණයේ දී විශේෂයෙන් ම බියගම ආසන සංවිධායකවරයා ලෙස ජයග්‍රහණය කරන්නට පුළුවන් වුණාත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පසුබෑමකට ලක් වුණා. ඒත් එක්කම ආව පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී දොම්පේ හා බියගම ජනතාවගේ ආශිර්වාදයෙන් මට තුන්වැනි වරටත් පාර්ලිමේන්තු යන්නට පුළුවන් වෙනවා. මම කෘතවේදී වෙනවා ඒ ආදරණීය ජනතාවට. මොන තානාන්තර දැරුවත්, මගේ ඉන්නේ ගමේ ජනතාව සමගයි. මට වගකීම් පවරලා තිබුණු බියගම ආසනයෙ කාලයක් තිස්සේ අපට ජය ගන්නට බැරිව තිබූ බියගම ප්‍රාදේශීය සභාව 2011 දී ජයග්‍රහණය කරවලා ආනන්ද ගනේපොල එහි සභාපති වරයා ලෙස පත් කලා. ඔහුත්, ඔහුගෙ මන්ත්‍රී මණ්ඩලයත් ඔවුන් ඉතාමත් වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කරනවා. මේ කොරෝනා වසංගත තත්ත්වය තුල ඔහු විශාල වැඩ කොටසක් ඉටු කළා.

මෙලෙස ජනතාව විසින් අප දින වන්නේ මගේ පියාට, කම්බිකොටුවට ඇති ගෞරවය සහ ආදරය නිසා බව අපි දන්නවා. මගේ පියා, මගේ මව, මම සහ මගේ සහෝදරයා මැතිවරණ වලට ඉදිරිපත් වූ වෙලාවල දී දොම්පේ සහ බියගම ජනතාව විශාල ලෙස අපට සහයෝගය දැක්වූවා. අපි අපේ මල්ල තර කරගන්නට කවදාවත් දේශපාලනය කළේ නෑ. හැමදාම අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ.

විජේසේකර මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කරමින් අපි මෙහෙම ඇහුවා ඔබතුමා පාර්ලිමේන්තුවේදී කවදාවත් කතා කරලා නෑ නේද?

ඔව් කතා කරනවා අඩුයි කියලා මට චෝදනා කරනවා තමයි. මම කතා කරන්නේ අයවැයට පමණයි. පළාත් සභාවෙදි වුණත් මං කතා කරන්නේ අවශ්‍ය දෙයට පමණයි. ඇමති වෙලා ඉන්න කාලෙත් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙනවා. එදා ඉදලම අයවැය විවාදයෙදී කෘෂිකර්මය විෂයය ගැන මම කතා කරනවා. මොකද ඒක මම ඉගෙන ගත්ත, මම දන්න විෂය නිසා.

2019 දී මම කතා කතා කළේ නෑ කියන චෝදනාවනෙ ඔය කරන්නෙ. එදා මට දීලා තිබුණෙ විනාඩි දහයයි. ඒකත් තරුණ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මගෙන් ඉල්ලුවාම බොහෝ සද්භාවයෙන් මම ඒක පරිත්‍යාග කලා. සමහරු අපේ අඩුපාඩු දෙගුණ තෙගුණ කරලා පෙන්නනවා. ඒත් අපි කිසි කෙනෙකුට වෛර කරන්නේ නෑ මොකද මේ දේශපාලනය තුළ තියෙන්නෙ මනාප පොරයක්. මගේ පියාගෙ මරණය දේශපාලන ඝාතනයක්. ඒකට හවුල් වුණ අය ගැන අපි දන්නවා. ඒත් අපි ඔවුන්ට අබ මල් රේණුවක තරම්වත් වෛර කරන්න, පළිගන්න යන්නෙ නෑ. ඒ වගේම ජනතා මුදලින් වරප්‍රසාද අරගෙන වැජඹෙන්නේ යන්නෙත් නෑ. අපි අපේ එදිරිවාදීන්ට උත්තර දීලා තියනවා. මගේ පාර්ලිමේන්තු පැමිණීම දුර්වලයි කියලාත් මාධ්‍ය ආයතනයක් චෝදනා කළා. මගේ පැමිණීම සියයට 80% ක්. පාර්ලිමේන්තුව පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළම අපි ඉන්නවා. අවශ්‍ය ඡන්ද විමසීම් වලටත් අපි ඉන්නවා.

ඊළඟට නිල නිවාසය ගැනත් චෝදනාවක් ආවා. 2017 දි මම ඇමතිකමෙන් ඉල්ලා අස් වුණා. සතියක් ඇතුලත අමාත්‍යාංශ වාහන ටික සහ නිල නිවාසයෙ තිබුණු රූපවාහිනිය පවා අරන් ගියා. ඒ වෙලාවෙ මගේ දරුවො දෙන්නා විභාගයට සූදානම් වෙමින් හිටියෙ. මන්ත්‍රීවරයෙක් විදියට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් මට හිමියිනෙ. ඒත් ඒ වෙලාවෙ එතැන නිවාසයක් තිබුණෙ නෑ. ඒ නිසා මම ජනාධිපතිතුමාටත්, පරිපාලන අමාත්‍යාංශයටත් ලිඛිතව දැන්නුවා දරුවන්ගේ විභාගය ඉවර වෙනකල්වත් නිල නිවාසයට කුලී ගෙවමින්, ජල විදුලි බිල්පත් ගෙවමින් ඉන්න දෙන්න කියලා. එහෙමයි ඒකෙ හිටියෙ. කොළඹ ඉන්න අපිට ආසාවක් නෑ. මම නිදා ගන්න රෑ කියට හරි ගමේ ගෙදරට එනවා. මට කමිසේ ගලවල සරමක් ඇඳගෙන මිදුලෙ ඇවිදින්නට ඕන. අරක නිල නිවාසයක් කිව්වට තට්ටු නිවාසයක්. වර්ග අඩි 700 ක. ඒකෙ ජනේලයක් ඇරපු ගමන් එන්නෙ ඩීසල් දුම්. අපි එහෙම ඉඳලා පුරුදු අය නෙවෙයිනෙ. ඒ ඇර රජයේ බදු මුදල් හූරා කමින් අපි ඉදලා නෑ කවදාවත්.

ඊළඟට අපි ඇහුවේ ගම්පහ කසළ ගැටලුව පිළිබඳවයි. ගම්පහ කසළ ගැටළුවට විසදුමක් නෑ නේද?

මේක ගම්පහට විතරක් නෙමේ රටටම පොදුවේ බලපාන ප්‍රශ්නයක්. පළාත් පාලන ආයතන මට්ටමෙන්ම යම් යම් නගර කේන්ද්‍ර කරගෙන, යම් යම් ව්‍යාපෘති කෙරෙනවා. මේක විශාල අර්බුදයක්. හැකි ඉක්මනින් විසඳන්න ඕන පුශ්ණයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට මේ ප්‍රශ්නය විසඳන්නට හැකි වෙයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. බස්නාහිර පළාතේ පෙනහළු දෙක විදියට හඳුන්වන කරදියාන සහ මුතුරාජවෙල වගුරු බිම් දෙකම අයිති වෙන්නේ ගම්පහට. මේවා විනාස නොකර, පරිසරයට අවම හානියක් වන පරිදි කසළ බැහැර කිරීම කළ යුතු වෙනවා.

දොම්පෙට කසල ගෙන එනකොට ඔබ විරුද්ධ වුණේ ඇයි?

පැහැදිලිවම මේ කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානය ගිවිසුම්ගත වෙලා තිබුණේ දොම්පේ ආසනයේ කසල පමණක් ගේන්න. නමුත් වැල්ලම්පිටිය කුණු කන්ද නාය යනකොට, ඉන් බැහැර කළ කසල දාන්න තැනක් නැතුව දොම්පෙට ගේන්න උත්සාහ කළා. ඒවා නොතේරූ කුණු කසළ. මේ අංගනය ඉදි කළේ කොම්පෝස්ට් පෝර හදන්න. නමුත් ඊට විරුද්ධව නොතේරූ කුණු ගේන්න පටන් ගතත නිසා මම ඒකට දැඩි ලෙස විරුද්ධ වුණා. අපි ළගදිත් ඒක බලන්න ගියා. ඒ ගෙනාව කුණු අවපැහැ ගැහිලා ඕජස් ගලමින් තියෙනවා. කොහොමහරි ඒක වළක්වන්න පුලුවන් උන එක නම් ලොකු දෙයක්.

ඔබ වැඩිපුර සද්ද බද්ද නෑ. ඒ කියන්නේ ඔබ ජනතාවගෙන් ඇත්වෙලා නේද?

සද්ද බද්ද නැති වුණාට දේශපාලන වශයෙන් කම්බි කොටුව සක්‍රීයයි. මගේ පියාගේ දේශපාලනය තවම ඉදිරියට ගමන් කරනවා. එතුමා 1954 කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ඉවර කරලා ආව දවසේ ඉඳලා දේශපාලනය පටන් ගත්තෙ. පටන් අරන් බණ්ඩාරනායක මහත්තයාගේ 1956 ජයග්‍රහණයටත් සම්බන්ධ වෙලා 1960 දී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යටතේ වෑකේ ගම් සභාවට තරඟ කරලා, ඒකේ සභාපතිත් වෙලා, 1977 දී පරදින කල් ම හිටියානෙ. 1981 ෆීලික්ස්ගේ පුජා අයිතිය අහිමි වීමත් සමග දොම්පේ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා වෙලා, පැවැති එජාප රජයේ අපමණ බාධා කිරීම් මැද වුවත්,ය සියළු ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරලා විශාල දේශපාලන කාර්යභාරයක නිරතවෙලා හිටියා අපි.

1982 ජනාධිපතිවරණය පැවතුනේ උතුරේත් දකුණේත් කිසිදු භීෂණයක් තිබුණ වෙලාවක නෙමෙයි. එ්ක සාමකාමිව පැවතුණා. කොබ්බෑකඩුව මහත්තයා පැරදුනා. එතුමාගේ ඡන්දයත් හොරෙන් දාලා තිබුණා. 1977 දී ඡන්ද 2600 කින් පැරදුන දොම්පේ ආසනය මගේ පියා ඡන්ද 935 කින් ජයග්‍රහණය කෙරෙව්වා. ඊට පස්සේ 1983 කලකදී ලාම්පු ඡන්දය පැවැත්වුණා. ඒක නම් යුද්ධයක් බවට පත්වුණා. සිරි සිද්ධාර්ථ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ මරණයක් සිද්ධ වුණා. අපේ පෙරේරා මහත්තයාගේ ඡන්දපොළට යාමේ අවසර පත්‍රය යූඇන්පී මැරයන් විසින් උදුරාගත්තා. ඒ තිගැස්මට පෙරේරා මහත්තයා එතනම මිය ගියා.

1985 වෙනකොට මගේ පියා සිරිමාවෝ මැතිනියට දැනුම් දුන්නා දොම්පේ ආසන සංවිධායකධූරයෙන් ඉල්ලා අස් වෙනවා, අනුර බණ්ඩාරනායක නුවරඑළියෙන් දොම්පෙට ගෙනත් දෙන්න කියලා. ඒ ගැන ජනතාවට කිව්වේ මම පාර්ලිමේන්තු ගියොත් පසුත් ගෙල මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවෙයි. මම පාර්ලිමේන්තු ගියොත් පසුපෙළ මන්ත්‍රීවරයෙකු වෙයි, ඒත් අනුර බණ්ඩාරනායක මහත්තයා ගියොත් අගමැති තනතුර ලැබෙයි.

එහෙම වුණොත් දොම්පේ ජනතාවට තමයි ඒකෙ වාසිය ලැබෙන්නේ කියලා. ඒ වගේ හැමදාම තමන්ට ලැබෙන්නට තිබෙන තනතුරු පවා අත් හැරියා ජනතාවගෙ පැත්තෙන් හිතලා. තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට වැඩි යමක් ලබා දෙන්නටයි ඔහු හැමවෙලාවෙම උත්සාහ කළේ. 1985 දි අනුර දොම්පේ ප්‍රධාන සංවිධායක විදියට පත් වෙනවා. ඒ වුණත් ආසනයෙ සියලු වැඩ කටයුතු කළේ මගේ පියා.

1988 පළමු පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වර්ජනය කළා. පළාත් සභා පනතට එරෙහිව උද්ඝෝෂණය කළා. නමුත් අනුර බණ්ඩාරනායකගේ උපදෙස් මත ලිබරල් පක්ෂයෙන් අපේක්ෂක ලැයිස්තුවක් දැම්මා. ඉන් දෙදෙනෙක් ජයග්‍රහණය කළා. එදා ලිබරල් පක්ෂයට ගමේ භාෂාවෙන් කිව්වේ හබරල පක්ෂය කියලා. අතෙන් නෙවෙයි මේ සැරේ අපි එන්නෙ පොතෙන් කියලා එදා ඡන්ද ව්‍යාපාරය කළා.

ගාමිණී ගුණරත්න සහ කේ.පී. වීරරත්න නීතිඥතුමා අපේ ප්‍රගතිශීලී කදවුර වෙනුවෙන් ධනවාදී කඳවුරට එරෙහි විශාල වැඩ කොටසක් කළා. ඒ මැතිවරණයෙන් පස්සේ රටපුරා භීෂණය උග්‍ර වුණා. ඒ යූඇන්පී භීෂණයෙන් වැඩියෙන්ම මර්දනය උනේ දොම්පේ, අත්තනගල්ල, මහර වගේ ආසන වල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ සහ ඔවුන්ගෙ දරුවෝ. ඒ කාලේ පූගොඩ උසාවිය වැඩ කරපු නීතිඥ කුමාරසිරි ජයවර්ධන මහත්තයා අපේ ගෙදර නැවතිලාම හිටියා. යම් කෙනෙක් ඇවිත් කිව්වොත් අනේ මහත්තයෝ අපේ දරුවා අරන් ගියා අහවල් කෑම්ප් එකෙන් නැත්නම් අහවල් පොලිසියෙන් කියලා එතුමාත් අපිත් කිසිම මුදල් අපේක්ෂාවක් නැතුව ඒ කඳවුරට හෝ පොලිසියට ගිහිල්ලා ඒ දරුවෝ බේරගත්තා. එහෙම කරපු නිසා තමයි මගේ පියා කෲර විදියට ඝාතනය කරන්නේ. පැහැදිලිවම කියන්න ඕන මගේ පියා ඝාතනය කළේ රජයේ තුස්තවාදයෙන්.

ඒ වෙන කොටත් අපේ පළාතේ දරුවෝ හැට හතර දෙනෙක් බේරා ගෙන තිබුණා. බටලන්ද සහ වව්ල්කැලේ වධකාගාර පවත්වා ගෙන ගියා. කොහොම වුණත් මිනිස්සු සරණ පතා ගෙන ආවේ කම්බිකොටුවට.

ඊ ළගට ආවේ 1991 පුාදේශිය සභා මැතිවරණය. අනුර බණ්ඩාරනායක මහතා අපේ ගෙදරට ඇවිල්ල පුතා මැතිවරණයට දාන්න දෙන්න කියලා ඉල්ලුවා. ඒත් තාත්තාගේ වියෝව නිසා අම්මාගේ තිබුන මානසිකත්වයත් එක්ක දරුවෝ දේශපාලනයට දෙන්න කැමති උනේ නෑ. එහෙත් අපේ ගෙදරින් කෙනෙක් ඕනමයි කියලා බලකරපු නිසා අම්මා ඉදිරිපත් වුණා. තාත්තාගේ මරණයෙන් පස්සෙ මම ගාල්ලේ හේලීස් එකේ රාජකාරි කරමින් හිටියෙ. මම ආවෙත් අම්මට ඡන්දෙ දෙන්න විතරයි. අම්මා ජයග්‍රහණය කරලා 1997 වෙනකල් දොම්පේ ප්‍රාදේශි සභාවේ හිටියා.

ඊට පස්සේ 1998 පළාත් සභා ඡන්දයට මම නාමයෝජනා බාර දුන්නා. නමුත් නඩු කටයුත්තක් තිබුණු නිසා ඒක අවුරුද්දක් කල් ගියා. අන්තිමට 1999 මැතිවරණයෙන් තමයි මම බස්නාහිර පළාත් සභාවට තේරී පත් වෙන්නේ. ඒ වෙලාවෙත් අපට මුදල් හදල් යහමින් තිබුනේ නැති වුණත් තාත්ත හම්බ කරපු ජනතාව අපි එක්ක හිටියා. එදා මම ජයග්‍රහණය කරලා පුරා වසර පහක් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට සේවය කලා. 2004 මහ මැතිවරණය එනකොට සංවිධායකතුමා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා කිව්ව නිසා මම ඉදිරිපත් වුණා. ජයග්‍රහණය කරන්නට පුළුවන් බවට දැඩි විශ්වාසයක් මට තිබුණත් ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජවිපෙ, පොදු පෙරමුණෙන් සන්ධාන ගත වෙලා හිටියෙ. ඒ වෙලාවෙ රෙජි රණතුංග, ශ්‍රීපති සූරියආරච්චි, ජෙයරාජ් පුනාන්දුපුල්ලේ වැනි දැවැන්තයින් ඉදිරිපත් වෙලා හිටියා. නමුත් තේරී පත් වෙන්නේ දහ දෙනයි. ඒ අභියෝගයට මම මුහුණ දුන්නා. ජනතාව කම්බිකොටුව අමතක කරන්නෙ නැති බව මම විශ්වාස කළා. වසර ගණනාවක් පුරා මම දොම්පේ සහ බියගම ජනතාවට කරපු සේවය නිසා නියත වශයෙන්ම මම දිනන බව දැනගෙන හිටියා. ඒ මැතිවරණයේදී දොම්පේ ජනතාව 80% ක් මට ඡන්දෙ දීලා තිබුණා. ඡන්ද 30900 ක මට ලබා දීලා තිබුණා. අපි කෝටි ගණන් වියදම් කරලා ඡන්ද කරන අය නෙවෙයි. ඉතින් ඔය කාරණා නිසා තමයි මගේ දේශපාලනයත්, ජීවිතයත් එකක් වුණේ.

මම දේශපාලනයේ ඉන්නා තාක් කල් මගේ පියා විසින් අපට ලබා දුන් ජනතාවාදී දේශපාලන දර්ශනය මත යමින් අපේ බියගම සහ දොම්පේ ආදරණීය ජනතාවට උපරිම සේවය කිරීම විතරයි මගේ එකම අරමුණ.

එහෙම කියපු ඩුලිප් විජේසේකර මහත්තයා බොහොම නිර්ව්‍යාජ විදියට හිනා වුණා. ඔහු ජනතාව විශ්වාස කරන තරමටම, ජනතාවත් ඔහුව විශ්වාස කරනු ඇති. ඒ විශ්වාසයේ පරිමාණය විසින් කීර්තිමත් කම්බිකොටුවේ දේශපාලන අනාගතයේ ආයු කාලය තීරණය කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *