අපේ අපේක්ෂකයා මහින්ද // බැසිල්,ගෝඨා විකල්පය නොවේ

ජනපති සටනට මහින්ද මහත්තයට බැරිනම් පවුලෙන් පිට අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලටම පමණක් සීමාකිරීම හොඳ වැඩක් නොවන බවද හිටපු ජනපති මහින්ද හැර වෙනත් රාජපක්ෂවරුන්ට කඩේ යාමට තමන් සූදානම් නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් එයට දේශපාලන පළපුරුද්ද ඇති වෙනත් ජ්‍යෙෂ්ඨයන් පෙරමුණේ සිටින බව වෙල්ගම මහතා වැඩිදුරටත් කියයි.

රාජපක්ෂ මහතා පාලන බලයේ සිටින කාලයේදී පවුලේ සාමාජිකයන්ට තැන ලබාදෙමින් ඔවුන් ඉහළින්ම ඔසවා තැබීම හේතුවෙන් බොහෝ අය අමනාපව සිටි බවත් එහෙයින් මෙවරත් ජනාධිපති අපේක්ෂකත්වය එම පවුලටම ලබාදීමෙන් අමනාපකම් වැඩිවන බවත් වෙල්ගම මහතා පවසයි.

පක්ෂය එක පවුලක් වටා ගොඩනැගිය නොහැකි බවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත අවධානය යොමු කළ යුතු බව ද ඔවුන් රාජපක්ෂ සොහොයුරන්ට වඩා දේශපාලනමය වශයෙන් අත්දැකීම් පළපුරුද්ද අතින් ඉදිරියෙන් සිටින බවද කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

වෙල්ගම මහතා වැඩිදුරටත් පවසා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එළඹෙන ජනපතිවරණයේදී තරග කිරීමට හැකියාවක් නොමැති බවයි. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා සහ අමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති නිසාම 19 වැනි ව්‍යවස්ථාවට අනුව මේ පදවිය සඳහා තරගවැදීමේ සුදුසුකම් නොමැති බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *