මහ මුහුදේ අක්‍රීය වූ කෙන්යානු නෞකව නාවික හමුදාව ගොඩබිමට ගෙනෙයි!!

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

සියළු යන්ත්‍ර සම්පූර්ණයෙන්ම අක්‍රීය වීම හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු නෞකාවක් ආරක්‍ෂා සහිතව ගොඩබිමට රැගෙන ඒමට ඊයේ (24) නාවික හමුදාව කටයුතු කළේය.

පසුගිය ජූලි 21 වන දින කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙන ලද ආපදා සංඥාවකට අනුව ගාල්ල දක්ෂිණ නාවුක හමුදා කදවුරේ මෙහෙයවීම යටතේ මෙම නෞකාව ගොඩ බිමට රැගෙන ඒමට නාවුක හමුදාව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 170 ක (306 Km) දුරකින් ආපදාවට ලක් වූ මෙම නෞකාව තිබී ඇත.

කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි කර තිබූ මෙම නෞකාව, යන්ත්‍ර අක්‍රීය වී ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ බවත් පසුගිය ජුනි 22 වන දින දකුණු කොරියාවේ බූසාන් වරායේ සිට කෙන්යාවේ මොම්බසා වරාය වෙත ගමන් කරමින් සිටියදී මෙසේ ආපදාවට ලක්ව ඇති බවත් නාවුක හමුදාව කියයි. ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බවත් ඒ අනුව ආපදාවට පත් මෙම නෞකාව ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කල බවත් නාවුක හමුදාවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

පසුගිය වසර (2019) තුලදී පමණක් නාවුක හමුදාව සාගරික මුදවාගැනීමේ මෙහෙයුම් 41 ක් මගින් මුහුදේදී ජීවිත 103 ක් බේරා ගැනීමට සමත්ව තිබෙන බව පැවසූ එම ප්‍රකාශකයා මෙම වසරේ (2020) ජුනි දක්වා කලය තුල දී පමණක් මුහුදේදී ආපදාවට පත් වූ නෞකාවන් 34 කට සහය දක්වා තිබෙන බවද වැඩි දුරටත් සදහන් කළේය.

ආපදාවට ලක් වූ කෙන්යානු නෞකාව ගොඩ බිමට රැගෙන එන ආකාරය ඉහත ඡායාරූප වල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *