ගිංගග ගලා බසින වක්වැල්ල පාලමේ සිරවී තිබූ දැව කඳන් නාවික හමුදාව ඉවත්කරයි

ගිංගග ගලා බසින ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි ජලය බැස යාමට සැලැස්වීමට ඊයේ (18) සහ අද (19) නාවික හමුදාව කටයුතු කළේය.

ගිංගගේ ජල පෝෂක ප්‍රදේශයට මේ දින වල ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානම් තත්ත්වය මැඩ පැවැත්වීමේ අරමුණින් නාවික හමුදාව මෙම පියවර ගෙන තිබේ.

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙර සූදානමක් ලෙස වක්වැල්ල පාලම තුල සිරවී තිබු විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කර ඇත.

දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් දරා අපද්‍රව්‍ය ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු සලස්වන ලද බව නාවික හමුදාව කියයි.

තවද දැඩි ගංවතුර අවධානම පවතින ප්‍රදේශයන් වන ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, හිනිදුම, උඩුගම, නාගොඩ යන ප්‍රදේශ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ගිරිඋල්ල, රත්නපුර සහ පාලින්ද නුවර යන ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන සැළසීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් 11 ක් යොදවා තිබෙන බවත් හදිසි අවස්ථාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා මේ වන විටත් නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයේ සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් එම ප්‍රදේශ වලට අනුයුක්ත කිරීමටද නාවික හමුදාව පියවර ගෙන තිබෙන බවත් දක්ෂිණ නාවික හමුදා කදවුරේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර සුද්ධ පවිත්‍ර කරන ආකාරය සහ ආපදා සහන කණ්ඩායම් ස්ථාන ගත කරන ආකාරය ඉහත ඡායාරූප වල දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *